Print this Article


කාමය ඇටසැකිල්ලක් හා ඇටසැකිල්ලක් හා සමානයි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 26

කාමය ඇටසැකිල්ලක් හා ඇටසැකිල්ලක් හා සමානයි

අපේ හිතේ ඇලීමක්, බැඳීමක්, ආශාවක් නැවත නැවත භවයෙන් භවයට ඇලීගෙන අරන් යන තෘෂ්ණාවක් තියෙනවා නම්, මේ තෘෂ්ණාවට කියන්නේ සමුදය කියලා.

මේ තෘෂ්ණාව එකසිය අටවැදෑරුම් වෙනවා. එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව තෝරා ගැනීමේ දී අපි තේරුම් ගනිමු මුලින් ම ඇතිවන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා පිළිබඳව. ඒ කියන්නේ රූපයට දක්වන ආශාව, ශබ්දයට දක්වන ආශාව, ගඳ සුවඳට දක්වන ආශාව, රසයට දක්වන ආශාව, ස්පර්ශයට දක්වන ආශාව පිළිබඳව. ඊළඟට ධම්ම තණ්හා කියලා කියන්නේ සිතින් අල්ලන ආශාව. මේ කියන තණ්හාව කොටස් හයකට බෙදෙනවා. එය අධ්‍යාත්මිකව වැඩෙන තෘෂ්ණාවයි.

ඔය විදිහට ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වෙනවා. ඊළඟට අතීත, වර්තමාන, අනාගත වෙනවා. කාම තෘෂ්ණාව කියන්නේ මොකක් ද? කාම කීයක් තිබෙනවා ද? වස්තු කාම, ක්ලේශ කාම. වස්තූන්ට දක්වන ආශාව තමයි වස්තු කාම කියලා කියන්නේ. මේ වස්තූන්ට දක්වන ආශාව නිසා සිතේ ඇතිවෙන කෙලෙස් ගතිය තමයි ක්ලේශ කාම කියලා කියන්නේ. එහෙනම් ලස්සන රෝස මල් තිබෙන ගහක් තියෙනවා. අපි මේකට ආශා කරනවා. රෝස පඳුරට දක්වන ආශාව, වස්තුවට දක්වන ආශාව ඒ වස්තුව නිසා උපදිනවා. ලෝභ සිතක්, වස්තු කාමයෙන් ක්ලේශ කාමය.

එහෙනම් වස්තු කාමයයි. ක්ලේශ කාමයයි කාම තෘෂ්ණාව කියලයි පැහැදිලිව දැනගතයුතු වන්නේ. කාම තෘෂ්ණාව කියලා කියන්නේ වස්තු කාම ක්ලේශ කාමවලට දක්වන ආශාව. කාමය තේරුම් ගැනීමට නම් කාමයේ ආදීනව හිතන්න ඕන. කාමයන්ගේ ආදීනව මෙසේ සිතිය යුතුයි.

මේ කාමය ඇට සැකිල්ලක් හා සමානයි. ඇට කැබැල්ලක් සුනඛයෙක් වගේ සතෙකුට හම්බ වෙනවා. මොකද වෙන්නේ. ඒ සමඟ උලා කනවනේ මේ ඇටකැබැල්ල. කොච්චර උලාකෑවත් ඒ සුනඛයාට රසයක් ආවා ද? ඒකේ ගුණයක් ආවා ද? පෝෂණයක් ආවාද? නෑ. මහන්සියක්, තෙහෙට්ටුවක්, කාලය අපතේ යාමක් පමණයි. එහෙනම් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයත් සුනඛයෙක් උලාකන මස්නැති ඇටකෑල්ලක් හා සමානයි කියලා. එහි ආදීනව හිතන්න කියනවා.

කාමය මංසපෙසුපමා කාමා මස් වැදැල්ලක් වාගේ. දැන් ඔය කපුටන් වගේ සතුන්ට එක මස් කැබැල්ලක් ලැබුණොත් මොකද වෙන්නෙ. මේ සතුන් ඔක්කොම පොර කකා යනවා. එක සතෙකුටවත් මස් කැබැල්ල කන්නට ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට එක එක සත්තු මරා ගන්නට පුළුවන්. කාමය කියලා කියන්නේ මස් කැබැල්ලක් වාගේ. බහු සාධාරණ දෙයක්. මෙසේ ආදීනව සිතිය යුතුයි.

කාමය ‘තිණුක්කූපමා කාමා’ හුළුඅත්තක් හා සමානයි. හුළු අත්ත කියලා කියන්නේ මොකක් ද? අපි පොල්කොළ එකතු කරලා හදාගන්නවා හුළු අත්ත. මේ හුළු අතු පත්තු කරගෙන යනකොට හුළු අත්ත අනෙක් පැත්තට හැරෙව්වොත් මොකද වෙන්නෙ? ගින්දරින් අපේ අත පිච්චෙනවා. ඒවාගේ තමයි කාමයත්. හුළුඅත්ත වැරැදි විදිහට ගන්නා සේ මේ කාමයෙන් අපට හානියක්මයි ගෙන දෙන්නෙ. මේ ක්‍රමයට කාමයේ ආදීනව සිතමින් නිස්සරණය පුරුදුකරන්න ඕනෙ. එතකොට තමයි තෘෂ්ණාව ප්‍රහාණය කළා වෙන්නේ. ඊළඟට භව තණ්හාව සහ විභව තණ්හා. භව තණ්හාව කියල කියන්නේ සාස්වත දෘෂ්ඨිය. විභව තණ්හාව කියලා කියන්නෙ උච්ඡේද දෘෂ්ටිය. මේ ජීවිතය, මේ ලෝකය සදා කාලිකයි කියලා හිතනවා නම් ඒ වේලාවේ තිබෙන්නේ තෘෂ්ණාවක්. අපි ඒකට කියනවා භව තණ්හාව කියලා. මෙතනින් මේ ජීවිතේ ඉවරයි, මෙතනින් මේ ලෝකය ඉවරයි කියලා හිතනවා නම්, එතන තියෙන්නේ උච්ඡේද දෘෂ්ඨිය.

මෙසේ අවබෝධයෙන් තණ්හාව ප්‍රහීණ කළ නිසා තණ්හාව සම්පූර්ණයෙන් ම නැතිකර ගත්ත නිසා බුදුරජාණන් වහන්සේ ‘සම්මා සම්බුද්ධ කියලයි හඳුන්වන්නේ. සාක්ෂාත් කර ගත යුතු නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ බැවින් සම්මා සම්බුද්ධයි. ‘නි’රෝධ’ ‘රෝධ කියලා කියන්නේ චක්‍රයක්. රෝධ කියලා කියන්නේ කැරකෙන දෙයක් ‘නී’ කියලා කියන්නේ නෑ. එහෙනම් මේ කැරකෙන සංසාර ගමන, චක්‍රයේ නැවැත් ම තමයි නිරෝධ කියලා කියන්නේ.

එතකොට නිර්වාණ – නිවාණ – නිබ්බාන. වාන කියලා කියන්නේ තණ්හාවට කියන නමක්. ‘වාණතෝ නික්කන්තං නිබ්බාණං’, වානං වුච්චති තණ්හා’ වාන කියලා කියන්නේ තෘෂ්ණාවට කියන සමාන වචනයක්. වාන නමැති තෘෂ්ණාවෙන් අතමිඳුන තැන තමයි, නිර්වාණය කියලා කියන්නේ.

සම්පූර්ණ ඇලීම් සහ තෘෂ්ණාවෙන් ඉවත් වුණු නිසා ‘තණ්හාය අසේසවිරාග නිරොධො’ යි. එනම් සම්පූර්ණයෙන් ම ඉතිරියක් නැතුව තණ්හාව නැතිකරපු නිසයි. සම්පූර්ණයෙන් ම කෙලෙසුන් ගෙන් ඈත් වූ නිසා නිර්වාණය ‘චාගෝ’ යි. සම්පූර්ණයෙන් ම අර කෙලෙස් සියල්ලක් බැහැර කළ නිසා පටිනිස්සග්ගයි. තණ්හාවෙන් සම්පූර්ණයෙන් අතමිදුන නිසා - නිවාණය මුත්තයි. නැවත කෙලෙසුන් ඇල්මක් නොවන නිසා අනාලයි.

සංස්කාර කියලා අපි ඉගෙන ගත්තේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියල්ල සංස්කාර වන බවයි. කුසලාකුසල සියලු සංස්කාරයන්ගෙන් අත මිදුණු තැන ක්ලේශ උපධි, ඛන්ධූපටි, අභිසංඛාරූපධි ආදී උපධි ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ තැන නිර්වාණයයි. උපධි කියලා කියන්නේ සමූහයක්. ඒ කියන්නෙ කෙලෙස් ඇතිවන ක්‍රම. පංචස්කන්ධය නිසා කෙලෙස් ඇතිවෙනවා. ඒ වගේ ම කෙලෙස් නිසා කෙලෙස් ඇතිවෙනවා. ඒවායින් නිදහස් වීම නිර්වාණයයි. මේ නිර්වාණය ලබන්ට නම් අපි යා යුතු මාර්ගයක් තියෙනවා. නිර්වාණය තවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්.

සෝපධිශේෂ නිබ්බාණ (පරිනිබ්බාන)
අනුපධිශේෂ නිබ්බාණ (පරිනිබ්බාන)

සෝපධිශේෂ නිර්වාණ කියලා කියන්නේ මොකක් ද? බුදුරජාණන් වහන්සේ බෝ මැඩදී සම්පූර්ණ කෙලෙස් විතරක් නැති කරලා බුදු වුණා. හැබැයි පඤ්චස්කන්ධ දුක තියනවා උන්වහන්සේට. පඤ්චස්කන්ධ දුක තියෙද්දී කෙලෙස් විතරක් නැති කළ නිසා හඳුන්වන්නේ සෝපධිශේෂ නිර්වාණය ලැබුවා කියලයි. උපවත්තන සල්උයනේ දී පඤ්චස්කන්ධය සම්පූර්ණයෙන් ම නැති වුණා. ඒ නිසා කියන්නෙ අනුපධිශේෂ නිර්වාණය කියලා. එහෙනම් බුදුවුණත් උන්වහන්සේට පඤ්චස්කන්ධ දුක තියෙනවා. උන්වහන්සේට පංචස්කන්ධ දුක පවතිනවා. හැබැයි උන්වහන්සේට නැවත කර්මයක් එකතු වන්නේ නෑ. දුකක් ලැබුණා කියලා උන්වහන්සේට ඒකෙන් විඳීමක් ලැබෙන්නේ නෑ. අපේ බුදුරජාණන් වහන්සේට ලේ අතීසාරය වාගේ දුකක් හටගත්තා. කොන්දේ අමාරු හටගත්තා. හිසේ කැක්කුම හටගත්තා. ඊළඟට දේවදත්ත භික්ෂුව ගල් පෙරලනකොට ගල් පතුරු වැදිලා ලේ කැටි ගැහිලා කකුලේ වේදනාව හටගත්තා නේද? නින්දා අවමන් වින්දා. නමුත් තථාගතයන් වහන්සේට පඤ්චස්කන්ධ දුක ඇතිවුණා මිසක් ඒ තුළින් මානසික දුකක් ඇති වුණේ නෑ. එතකොට මේ කියන නිර්වාණය අවබෝධ කරගත්ත නිසා අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා.