Print this Article


නවසීවතික භාවනාව: : නිසල දේහය නුවණින් මෙනෙහි කරන්න

නවසීවතික භාවනාව: :

නිසල දේහය නුවණින් මෙනෙහි කරන්න

" ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කළ හැකිනම්, එය බොහොම වැදගත්. සෑම විට ම තමන්ට ද ඇත්තේ මෙවැනි වෙනස් වන සුළු සිරුරක් බව සිතන්න. එවිට අපට යම් සත්‍යයක් වැටහෙයි."

සතිපට්ඨාන භාවනාවෙහි කායානුපස්සනාවට සම්බන්ධව භාවනා කර්මස්ථාන දාහතරක් තිබෙනවා. එහි කිහිපයක් පසුගිය ලිපි පෙළින් සඳහන් කළා. අද සඳහන් කරන්නේ නවසීවතිකය යි. එනම්, සොහොනේ දමන ලද මෘත ශරීරයේ අවස්ථා නවය යි.

‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කිරීම මරණානුස්සති භාවනාව යි. මෘත ශරීරයේ ආදීනව දැකීම සීවතික භාවනාව යි. එය මෙනෙහි කළ යුත්තේ සිත දියුණු පුද්ගලයා යි. නැත්නම්, සමහරු මෘත සිරුරට බිය වෙනවා. මෘත ශරීරය පත්වන ආකාරය ගැන, මෙනෙහි කරමින් තමා ද ඒ තත්ත්වයට පත්වන බව මෙනෙහි කළ යුතු යි.

මෘත ශරීරයේ විවිධාකාර අවස්ථාවන් දෙස සිහියෙන් යුතුව සලකා බලමින්, තමාගේ ශරීරය ද ඒ තත්ත්වයන්ට පත්වන අයුරු මෙනෙහි කළ යුතු යි. එබඳු මෘත ශරීරයක මෙනෙහි කළ යුතු අවස්ථා නවය නවසීවතිකය යි. ඒ අවස්ථා නවය සලකා බැලුවොත්, අමු සොහොන යනු අද වගේ මිනී වළවල් කැපීම හෝ ආදාහනාගාරයේ තනා තිබෙන සොහොනට නොවෙ යි. එකල සොහොන් පිටියට මෘත ශරීරය විසි කර දමයි. හැම තැන ම මිනී ඇටකටු , එලෙස ම සිවලුන්, සුනඛයන් මේ මළ කුණු අදිමින් කා දම යි. දුගඳ හමයි. පණුවන් වැගිරෙයි. මෙවැනි අවස්ථා දැක ගත හැකි යි. එය අමුනුෂ්‍යයන් ද අරක්ගෙන තිබෙයි. ඒ නිසා එය ‘අමු සොහොන’ නම් වෙයි.

අමු සොහොනෙහි දමන ලද මරණයට පැමිණ, දින දෙකක් හෝ තුනක් ඉක්ම ගියා වූ ඉදිමී, නිල්වී , සාරය වැගිරෙන මෘත ශරීරය එය පළමු සීවතිකය යි. තමාට ද ඇත්තේ එවැනි වෙනස් වන සිරුරක් බව සිතිය යුතු යි. එලෙස නිල්වී ගිය සිරුර කායගතාසති භාවනාවට ඇතුළත් කළේ, කය අනුව බැලීමක් නිස යි. මෙය මෘත ශරීරයක් යැ’යි අගෞරව නොකර ගෞරවයෙන් භාවනා අරමුණක පිහිටාගෙන බැලිය යුතු යි.

මෘත ශරීරයක් දෙස බලද්දී කෙනෙකුට දැනෙන්නේ, සතුටක් නොව අසතුටක්. සමහරු කෙනෙක් මියගිය විට ඒ මිනිය තැන්පත් කර තිබෙන ගෙදරට යන්නේ නැහැ. යම් තැනැත්තෙක් තනිවම නිවසක සිටියොත්, ඒ තැනැත්තා තම නිවසේ සිදු වූ මරණ ගෙදරින් පසු ව තනිව වාසය කරන්නේ නැහැ. සමහරු ඒ නිවසට රාත්‍රී කාලයේ යන්නට බය යි. ඇතැමුන් මිනී අළුවලටත් බය යි. බලන්න වෙනස කෙතරම් ද? එබඳු ශරීරයක් අපට ලැබී තිබෙන්නේ?

ගවයෙක්, සර්පයෙක් , ඇතෙක් මිය ගිය විට බය නැහැ. ඇත් දළ නිවසෙත් තබා ගනියි. නමුත් මිනී ඇටකටු නිවසේ තබා ගන්නවා ද? නැහැ. මිනී ඇටයක් තිබුණොත් බය වෙනවා. ඇත් දළ වලින් සකසා ගත් කරඬු තිබෙනවා. ඇතාගේ ‘අලි හක්ක’ සමහරුන් ඖෂධ සඳහා යොදා ගනියි. මේවා ඇතාගේ ඇට කටු යි. නමුත් මිනිසාගේ කිසිම දෙයක් තියා ගන්නට පුළුවන්කමක් නැහැ. මේවා නිබඳව ම වෙනස් වී යයි. දුර්ගන්ධය හමා යයි. මේ නිසා තමන්ට ලැබී ඇති ශරීරය මරණයත් සමඟ ම ගත යුතු කිසිවක් නැති බව වටහා ගන්න. ගසක් නම්, එහි ලී දඬු ප්‍රයෝජනවත් වෙයි. නමුත් මිනිස් මෘත ශරීරය කිසිම වැඩකට ගන්නට බැහැ.

බෙහෙත් නොගල්වා මෘත ශරීරය තබා ගන්න පුළුවන් වන්නේ දින දෙක යි. එසේ නොමැති වුණොත් දුර්ගන්ධය හමයි. නමුත් ජීවත් ව සිටිය දී මේ සිරුර සුවඳ විලවුන්, පවුඩර් ආලේප කරමින් වාසය කරයි. ඇඟපත සේදිය යුතු යි. එලෙස සිරුරේ වෙනස්වීම් බහුල යි. දෙව්රජ දරුවන්ට ස්නානය කිරීම අවශ්‍ය නැහැ. සුවඳ ගල්වන්න අවශ්‍ය නැහැ. ඒ පින්වත් උත්තමයන්ට ඇත්තේ දර්ශනීය මනරම් වූ සුවඳ විහිදෙන සිරුරක්. ඒ පිනෙහි විපාක යි. මිය ගිය විට දුගඳ හමන්නේ නැහැ. මෘත ශරීර වළකට දමන්නේ, ආදාහනය කරන්නේ නැහැ. දැල්වෙන කපුරු පෙත්තක් නිවී ගියා සේ දිව්‍ය ශරීරයට සිදුවුණු දෙය සොයා ගන්නට බැහැ. නමුත් රහත් නොවුණ දෙවිවරු නැවත උපත ලබ යි.

මෙසේ කවුරුත් කල්පනාවෙන් ලොවුතුරා බුදු දහමේ සත්‍යය ගැන සිතා, පළමු සීවතික භාවනාවට සිත යොමු කළොත් හොඳ යි. මෙය සැමට අපහසු වන්නේ මෘත ශරීරයට ඇති බය නිස යි. බෙහෙත් නොගැල්වූ, ඉදිමුණු , ඕජාව වැගිරෙන සිරුර දෙස බලා යම් කෙනෙකුට ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කළ හැකිනම්, එය බොහොම වැදගත්. සෑම විට ම තමන්ට ද ඇත්තේ මෙවැනි වෙනස් වන සුළු සිරුරක් බව සිතන්න. එවිට අපට යම් සත්‍යයක් වැටහෙයි. ‘සම්මා දිට්ඨිය’ වන්නේ එය යි. ප්‍රඥවෙන් ම මෙනෙහි කළ යුතු යි. මෝහයෙන් මෙනෙහි කරන්නට බැහැ. මෝහයෙන් යුක්ත පුද්ගලයාට මේ කාරණය පිළිගත නො හැකි යි.

සීවතික භාවනාව සතිපට්ඨාන සූත්‍රයට ම ඇතුළත් කර තිබෙයි. සීවතික භාවනාව මරණානුස්සතිය යනුවෙන් සම්බන්ධ කරගන්නට එපා. සොහොනේ දමන ලද මෘත ශරීරය තමන්ගේ සිරුරට සංසන්ඳනය කර බැලීම සීවතික නම් වෙයි. මෙලෙස මෙනෙහි කරමින් සිහි නුවණ දියුණු කරනු ලැබුවොත්, භාවනාවෙන් උසස් ප්‍රයෝජනයක් ලැබිය හැකි යි. අපි මේ සිරුරෙහි දොස් දැකිය යුතු වෙමු. මිය යන සිරුර දින දෙක තුනකින් නිල් වී, ඉදිමී ඕජාව වැගිරෙන බව සිතන්න. එහි අස්ථිර ස්වභාවය ගැන සිතා, ශරීරයත් අනිත්‍යය යි. දුක්ඛ යි. අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. එසේනම්, සීවතික භාවනාව සැමට ම නිවන් සම්පත් පිණිස වේවා!