Print this Article


සීහළවත්ථු කථා : බියකරු සසරේ විපාක

සීහළවත්ථු කථා :

බියකරු සසරේ විපාක

මේ ඈත අතීතයේ අප දිවයිනේ සිදු වූ සත්‍ය සිදුවීමකි. එකල සුරට්ඨ නමින් ජනපදයක් විය. එහි සාහුථල නම් ප්‍රදේශයේ ආලාරබාල පටුනෙහි පෝරිමාඝී නමින් ගඟක් තිබුණේ ය. ඒ ගඟ අසල කොණ්ඩපූදී නම් විහාරයක් පිහිටා තිබුණි.

ඒ විහාරයේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් වැඩ විසූ සේක. එහි අධිපතිභාවය දැරූ තෙරුන් වහන්සේ සඟ සතු දේ සිතු මනාපයට විය පැහැදම් කළහ. එක් එක් තෙරුන්ට එක් එක් ලෙස සැලකුවේ හ. කලකට පසු මේ තෙරුන් වහන්සේ දැඩි සේ රෝගාතුර විය. රෝගය දරුණු වූ කල වෙදැදුරන් පැමිණි පරීක්ෂාවට ලක්කොට ඖෂධ නියම කළ අතර, අපත්‍ය දේ ලෙස ජලය නියම කළේ ය.

“මේ භික්ෂුන් වහන්සේට ජලය පානය කිරීම ඉතාමත් අහිතකර ය. ඒ නිසා ජලය නො දෙනු. ජලය පානය කළේ නම් රෝගය තවත් උත්සන්න විය හැකි බව ද කී ය.

එය පිළිගත් අනෙක් භික්ෂූන් වහන්සේලා රෝගී හිමියන්ට ජලය නො දුන්හ. දින කිහිපයකට පසු රෑ මැදියමෙහි පැන් නො ලබා පිපාසයෙන් පීඩිත වූ හෙතෙම එය ඉවසිය නො හැකිව නැගිට ගොස් ධමකරකය ( පැන් පෙරා ගැනීමට ගන්නා භාජනය) බැලී ය. එය හිස් ය. කුටියෙන් පිටතට පැමිණ පිරිස බොන පැන් කළය බැලී ය. එහි ද ජලය නො වී ය. මහා පැන් කළය තිබෙන ස්ථානයට ගොස් බැලූ නමුත් එය ද ජලයෙන් හිස්ව තිබුණි. ඉක්බිති ආරාමයෙන් පිටතට වැඩම කොට පොකුණට ගොස් ජලය බීමට සැරසුන ද, එයද හිස් බව දිටී ය. ඉන්පසු පෝරිමාඝී ගඟ කරා ගියේ ය. එයද වියළී තිබුණි. නායක තෙරුන් පිපාසයෙන් පීඩිතව ගෙඟන් එතෙරට ගොස් මෙසේ සිතී ය. “මාගේ අකුසල කර්මයන් බොහෝ වේ. යන සෑම තැනක ම දිය සිඳී ගොස් ය. ඒකාන්තයෙන් ම මම මරණයෙන් පසු පේ‍්‍රත ලෝකයේ උපදින බවට මේ ඉඟියක් විය හැකියි. පෙර නිමිත්ත ඉඟි කරන බව මා අසා ඇත. මෙවන් දෙයක් මා හට සිදුවූ බව ආරාමයේ භික්ෂූන් වහන්සේ කිසිවිටකත් පිළි නො ගනී. එනිසා මාගේ නානකඩය ගඟෙන් එගොඩ ඇති මේ ගසෙහි බැඳ තබා යමි” සිතා එසේ කොට ආරාමයට පැමිණියේ ය.

පසුදින උදෑසන ආරාමයේ සිටි අනෙක් භික්ෂූන් වහන්සේ අමතා රාත්‍රියේ සිදු වූ සියලු ම දේ කී හ. ඇවැත්නි, මම රාත්‍රියේ පිපාසයෙන් පීඩිත වූයෙමි. ඉවසිය නො හැකි ව කුටියෙන් නික්ම ධමකරකය අත ගා පැන් නො ලැබු කල පැන් සැළිද, මහා පැන් සැළිද ස්පර්ශ කළ නමුත් ඒවා හිස් බව වැටහුණි. කැපූ අඳුන් පැහැති නිර්මල ජලයෙන් පිරුණු විල ද හිස් විය. හැම කල්හි ම බසිනා පිරිසුදු දිගැති වැලි තලා ඇති පෝරිමාඝි ගඟද හිස් විය. ඒ ගෙඟන් එතෙර වූ මම ගං ඉවුරෙහි සිටගෙන සංවේගයෙන් ”අහෝ මා විසින් දුක් විපාක දෙන කර්මයන් බොහෝ සේ කරන ලදී. ඒ පාපයේ විපාකය මා විසින් ම ප්‍රත්‍යක්ෂයෙන් දක්නා ලදී” සිතීමි.

සඟ පිරිස ඒ කීම විශ්වාස නො කළහ. ගගෙන් එතෙර වූ ගසෙහි එල්ලු නානකඩය ගෙනවිත් සැක දුරු කර ගන්නැයි රෝගි තෙරුන් කීවේ ය. ඒ කීම අසා එක් භික්ෂු නමක් ගෙඟන් එතෙරට ගොස් නානකඩ ගෙනාවේ ය. එය දුටු ඒ භික්ෂූහු සංවේගයට පත්වූහ. රෝගී භික්ෂුව අනෙක් භික්ෂු පිරිසට මෙසේ කීහ. මම අල්ප වූ හෝ, බොහෝ වූ හෝ සාංඝික දේ කැමැති සේ යෙදෙව්වෙමි. මොහුට මෙතෙක් දෙව, අසවලාට මෙතෙක් දෙව, අසවලාට ටිකක් දෙව, බොහෝ දෙව අසවලාට නො දෙවයි නියම කළෙමි. මෙසේ අධිපතිභාවය නිසා සඟ සතු දෙය, තමන් සතු දෙය මෙන් සලකා මා විසින් මගේ කැමැත්ත අනුව බෙදා දුණි.

මා කළ විපාකය ගැන ඔබ සියලු දෙනා බිය වෙත්වා. එසේ බියපත් වී බුදු සසුනේ අප්‍රමාදීව කටයුතු කරත්වා. එසේ උත්සාහ කොට ධර්ම පී‍්‍රතිය ඇති භික්ෂූවට පි‍්‍රය වූ අමෘතය ලබා ගනිත්වා” යැයි තමාගේ දුක භික්ෂූන් වහන්සේට කීවේ ය. ඒ රෝගි හිමියෝ ටික දිනකින් අපවත් වී පේ‍්‍රත ලෝකයේ උපන් බව සීහළවත්ථු කතාවන් හි සඳහන් වේ.