Print this Article


විමාන වත්ථු කථා 16: සිරිමා විමාන වර්ණනාව

විමාන වත්ථු කථා 16:

සිරිමා විමාන වර්ණනාව

සිරිමා විමාන වර්ණනාව පාලි පෙළෙහි ගාථා 13 කින් සමන්විත ය. මෙම කථා පෙළෙහි පින්වත් ඔබට අවසන් වරට කියවීමට හැකිවූයේ “උත්තරා විමාන වර්ණනාව“ ය. එහි දී හමු වු දෙවන කථා නායිකාව වු සිරිමාවෝ ඒ කථාවට මැදිහත්ව සිටි අවස්ථාවේ දී භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්

“අක්කොධෙන ජිනෙ කොධං – අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන – සච්ඡෙන අලිකවාදින”

ක්‍රෝධ නො කිරීමෙන් ක්‍රෝධය ජය ගන්නේය – අයහපත යහපතින් ජය ගන්නේ ය.
මසුරු බව දානයෙන් ජය ගන්නේ ය – මුසාව සත්‍යයෙන් ජයගන්නේ ය.

යන මේ ධර්මය ඇසුවා ය. ආර්ය සත්‍ය දේශනාව ද අසා තම පන්සියයක් පිරිවර සමඟ සෝවාන් ඵලයට පත් උපාසිකාවක් ලෙස ඔබ කියැ වූ බව නැවැත සිහි ගන්වමි. මෙ තුමිය පසුකලෙක කලුරිය කොට සෝවාන් ඵලයට පත් ස්වභාවයෙන් ම දේවතාවියක් ලෙසින් දෙව්ලොව පහළ වුණි. තමන්ට මෙ තරම් සැප සහිත සම්පත් ලැබුනේ කෙසේ දැයි බලන්නී ය. පෙර ආත්මයෙහි භික්ෂු සංඝයා පිරිවරමින් සිටි බුදුරජාණන් වහන්සේ ඇසුරු කොට ලබා ගත් පිනෙන් බව දැන භාග්‍යවතුන් වහන්සේ දැනුදු මහා සංඝයා සමගින් වැඩ සිටින තැන සොයා දැන දිව්‍ය කන්‍යාවන් පන්සියයක් විසින් පිරිවරන ලදුව රථ 500 කින් මහජනයාට ද පෙනෙන සිරුරු ඇතිව පැමිණිය හ. භාග්‍යවතුන් වහන්සේ වැඳ ඇඳිලි බැ¼දි අත් ඇතිව ම සිටියාහු ය. මෙහි දී ඒ අසලම වැඩ සිටි ආයුෂ්මත් වංගීස තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අවසර ඇතිව එම දේවතාවියගෙන් මෙසේ ඇසූහ.

“දෙව්දුව , අතිශයින් අලංකාර , අශ්වාභරණයෙන් සැරසූ, ශීඝ්‍ර ගමන් ඇති, යට බැලු ඇස් ඇති, අශ්වයන් යොදන ලද පන්සියයක් රථ ඔබ පෙර කළ පිනෙන් පහළව ඇත. ඒ රථ සියල්ල ඔබ අනුව යන්නේ රියදුරන් ලවා මෙහෙයවන ලද්දවුන් සේ ය. ඔබ සිටින රිය දිව්‍ය ආභරණ වලින් සරසන ලද්දේ සඳ මෙන් ද, හිරු මෙන්ද, ගිනි සේ ද දිලිසෙන්නේ ය. ප්‍රසන්න දර්ශන ඇති සිරුරක් ඔබට ඇත්තී ය. කිනම් දිව්‍ය නිකායෙකින් බුදුරජාණන් වහන්සේ දැකීමට ඔබ මෙහි පැමිණියෙහි ද ?”

“පින්වත් ස්වාමින් වහන්ස, කාම සම්පත්තියෙන් අග තැන්පත් යම් දෙව් ලොවක් අග්‍ර යයි කියත් ද? දෙවියෝ කැමති කම් සැප තමා ම මවා ගනිමින් සතුටු වන යම් දෙව් ලොවක් වෙත් ද, ඒ (නිර්මාණරතී) දෙව්ලොව සිට කැමැති පැහැ දරන දේවතාවියක් ලෙසින් මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වඳීන්නට මෙහි ආමි.”

“පින්වත් දෙව්දුව , ඔබේ සිරුර පැහැය දස දිසා බබුළුවයි. ආකාශචාරි වූ දිව්‍යානුභාවය ද ඔබට ඇත. දෙවියන් පිරිවරන ලදුව සත්කාර ලබන සුළු ය. බෙහෙවින් යසස් ඇතිව ඔබ සැනැසී සිටින්නෙහි ද? කවර භවයකින් චුතව ඔබ සුගතියට ගියෙහි ද? කවර පිනක් කොට මේ මන වඩන සම්පත් ලැබුවෙහි ද? කවර ශාස්තෘවරයෙකුගේ අවවාද අනුශාසනා පිළිගෙන අනුගමනය කරන්නේ ද? ඉදින් ඔබ බුද්ධ ශ්‍රාවිකාවක් වූවා නම්, ඒ බව මට කියන්න” යයි වංගීස තෙරුන් වහන්සේ විචාළහ.

“පින්වත් ස්වාමීනි, මහා ගෝවින්ද නම් පඬිවරයා විසින් වාස්තු විද්‍යා ශිල්පය අනුව මනාව පිහිටුවන ලද ඉසිගිලි, වේපුල්ල, වේහාර පණ්ඩව, ගිජ්ඣකූඨ යන පඤ්චවිධ පර්වතයන්ගේ මධ්‍යයෙහි පිහිටි “ගිරබ්බජ” නම් වූ උතුම් “රජගහනුවර” නැටුම් ගැයුම් මැනවින් පුහුණූු වූ මම ශ්‍රීමත් බිම්බිසාර රජුගේ සංගීත පරිචාරිකාවක් වීමි. ඒ මා, රජගහනුවර “සිරිමා”යි ජනතාව දැනගත්හ. ස්වාමීනි, මට වරෙක ඍෂිවරයන්ට ද, මහෝත්තම වූ, නො ඉක්මවූවන් හික්මවන්නා වූ, මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍යයන්ගේ අනිත්‍යතාව ද නැවැත ඉපදීමක් නැති බැවින් අසංඛත වූ ද ස්ථිර වූ දුක් නිරෝධය වූ නිර්වාණය ද, ඍජු වූ කෙලෙස් නසන ආර්ය මාර්ගය ද පැවැසූ සේක.

ඒ ධර්මය අසා ප්‍රතිපත්තියෙහි පිහිටියා වූ මම ශීලයෙහි මැනවින් හික්මුණෙමි. මම ඒ උතුම් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද අසංඛත වූ නිර්වාණ පදය දැන, ඒ ආත්මයෙහි දී ම කෙලෙස් සමථයෙන් ලෝකෝත්තර සමාධිය ස්පර්ශ කළෙමි. ඒ ස්පර්ශය ම මට ඒකාන්ත උතුම් මඟ පෙන්වීම විය. මම විශිෂ්ට ගුණ සාධක වූ නිර්වාණය ලබන (අර්හත් ඵල ලැබීමට සුදුසු) තුනුරුවන් ප්‍රධාන අට තැන ගැන ඒකාන්තයෙන් සැක නැතිව සෝවාන් ඵලයට පත්වීමි. බොහෝ ජනයා විසින් පිදීම් ඇතිව මේ මනවඩන සම්පත් විඳීමි. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ මට (දැන්) දුගතියක් නැත. පින්වත් ස්වාමීන් වහන්ස, මෙසේ වු මම, තුන්ලොව මෙයට වඩා උත්තමයකු නැති ධර්මරජ වූ බුදුරජාණන් වහන්සේ වැඳීමට ද, පැහැදීම් ඇති කරන නිවනෙහි ඇලුණු භික්ෂූන් වැඳීමට ද, සියලු භය පහකළ ශ්‍රමණ සමාගමය ඇසුරු කිරීමට ද මෙහි පැමිණියෙමි. නරශ්‍රේෂ්ඨ වූ පුරුෂ දම්ම සාරථී වූ ගුණයෙන් යුක්ත වු තථාගත වු බුදුරජාණන් වහන්සේ දැක මහත් වු සතුටු සිත් ඇත්තී වෙමි. සිඳහල තෘෂ්ණාව ඇති, නිවනට පත්, ලෝක සත්ත්වයන්ට අනුකම්පා ඇති තථාගතයන් වහන්සේ මම වඳීමි යයි දේවතා තොමෝ කීවා ය.

මෙසේ නිර්මාණරති දෙව්ලොව සිට ශ්‍රද්ධා සිතින් බුදුරජාණන් වහන්සේ හා භික්ෂු සංඝයා දැක වැඳ තම ප්‍රසාදය පළකිරීමට පැමිණි සිටි සෝවාන් ඵලලාභී සිරිමා දෙව්දුව ආපසු පිරිස සමගින් දෙව්ලොවට ම ගියා ය. නිර්මාණරතී දෙව්ලොව උපන් මේ දෙව්දුව පිළිබඳ විමාන වත්ථු අටුවාවේ දක්වන උප්පත්ති කථාව ඉදිරි බුදුසරණ කලාපයක පළ කරන්නෙමු.