Print this Article


සමාජ සුරක්ෂිතතාවයට බොදු චාරිත්‍ර

සමාජ සුරක්ෂිතතාවයට බොදු චාරිත්‍ර

බොදු සිරිත් විරිත් සැකසී ඇත්තේ යහපත් සුරක්ෂිත සමාජයක පැවැත්ම උදෙසා ය. සමස්ත බොදු සමාජය අන්‍යයන් කෙරෙහි දක්වනුයේ කාරුණික සුහදත්වයකි. එම සුහදශීලි බව වැඩි දියුණු කරනුයේ චාරිත්‍ර හා වාරිත්‍ර තුළිනි. චාරිත්‍ර නම් කළ යුතු දෙයයි. වාරිත්‍ර නම් වැළකිය යුතු දෙයයි. ඒ අනුව බොදු චාරිත්‍ර වාරිත්‍ර සමාජ සුරක්ෂිතතාවයට මහත් සේ ඉවහල් වේ.

බොදු සිරිත් – විරිත් අතර මවුපියන්ට සැලකීම. අඹුදරුවන්ට සැලකීම. ආගන්තුක සත්කාරය. පිදිය යුත්තන් පිදීම. ගුරු ගෞරවය, ඥාතීන්ට සංග්‍රහ කිරීම, මහණ බමුණන්ට උපස්ථාන කිරීම. වැඩිහිටියන්ට සැලකීම. මියගිය ඥාතීන්ට පින්දීම, ඉවසීම, කරුණාව, දයාව, අනුකම්පාව, ඊර්ෂ්‍යා නොකිරීම ආදී අගනා කරුණු රැසක් ම අන්තර්ගත වේ.

මීට අමතරව මංගල, පරාභව, වසල, ව්‍යග්ඝ පජ්ජ, සිඟාලෝවාද ආදී සූත්‍රවල මෙන් ම සතර සංග්‍රහ වස්තු, සේඛියා, දසරාජධර්ම, දස සක්විතිවත්, ආදී සූත්‍ර දේශනා තුළ ද, අප උදෙසා අවශ්‍ය බොදු සිරිත් – විරිත් රාශියක් දක්වා තිබේ. එහි අවශ්‍යතාවය ද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරා ඇත. උසස් හැඩ ගැස්මක් උදෙසා පෙන්වා දී තිබෙන එබඳු චාරිත්‍ර - වාරිත්‍ර ඉටුකිරීමෙන් පුද්ගල ජීවිතයේ දියුණුව සැලසෙන බව ද සමාජය සුරක්ෂිත වන ආකාරය ද, ඒවා මඟ හැරීමෙන් සමාජය අනාරක්ෂිත වන ආකාරය ද බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් ‘සදිසා’ සංකල්පය බෞද්ධයන් වන අප විසින් වෙසෙසින් හදාළ යුතු සංකල්පයකි. මනුෂ්‍යයා මුහුණදෙන විවිධ තත්ත්වයන් හා එම අවස්ථාවන්හි දී තමන්ගේ වගකීම හා අයිතිය පිළිබඳ හැඟීමක් එමඟින් ඇතිකරවයි. මවුපියන් හා සම්බන්ධවීමේ දී ඔවුන්ට කළයුතු යුතුකම් ඇත. එම යුතුකම් එක් අතකට මවුපිය බලාපොරොත්තු හෙවත් අයිතීන් ය. එමෙන් ම දරුවන් විසින් තම මවුපියන්ට කළ යුතු යුතුකම් ද දක්වා තිබේ. ගුරුවරයාට කළ යුතු යුතුකම් හා ගුරුවරයෙකු තම සිසුන්ට කළ යුතු යුතුකම් විස්තර වේ. එසේ ම මිත්‍ර සම්බන්ධය, ස්වාමී, සේවක සම්බන්ධය, ස්වාමි භාර්යා සම්බන්ධය, ආගමික සම්බන්ධය, වශයෙන් ජීවිතයේ ඉතා ම අවශ්‍ය සමාජ සුරක්ෂිතභාවය පිණිස පවත්නා සම්බන්ධතා බුදු දහම තුළ වර්ග කොට දක්වා තිබේ. එම සම්බන්ධතා යහපත් අන්දමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික හැඩ ගැස්මත් පැහැදිලිව පෙන්වා දී තිබේ. සමාජ සම්බන්ධතාවයෙන් තොර සමාජ සුරක්ෂිතතාවයක් නොමැත. එම සමාජ සම්බන්ධතා මනා හැඩගැස්මක් ඇතිව පවත්වාගෙන යෑමට උත්සාහවත් වීම අනුව සමාජ සුරක්ෂිතතාවය ද ඇතිවේ.

චාම් සරල ජීවිතයක් ගත කිරීම බොදු සිරිතකි. එනමුත් සාමාජික වශයෙන් සමාජය තුළ ජීවිතය පැවැත්වීමට ධනය අත්‍යාවශ්‍ය වේ. එම ධනය “භමරස්සේ ව ඉරියතො’ – මල නොතලා, නොපෙලා රොන්ගෙන මී බඳින්නා වූ ඹබරෙකු මෙන් ද, පොළවටත් නොදැනී එනමුත් ශක්තිමත් තුඹසක් බඳින වේයන් මෙන් ධාර්මික වූත් ශක්තිමත් වූත්, අන්‍යයන් නොතළා, නෙපෙලා ලබන ධාර්මික ධනයක් ම විය යුතු ය. එලෙස ම තමන් ලබන ධනය ද කොටස් සතරකට බෙදා දෙකොටසක් තමන් විසින් සිදු කරන කර්මාන්ත, ව්‍යාපාරයන්හි වැඩිදියුණුව උදෙසා ද කොටසක් තම පරිභෝජනය සඳහා ද, ඉතිරි කොටස විපතක දී ගැනීමට තැන්පත් කොට තැබිය යුතුයැයි පෙන්වා දී තිබේ. ධනය ලබන අයුරුත්, පරිභෝගකරන අයුරුත් ධනය විනාශ වන ආකාරයත් පෙන්වා දී බොදු සිරිත් විරිත් අනුව ධාර්මිකව ලද ධනය තුළ ශක්තිමත්වූත්, සුරක්ෂිතවූත් ආර්ථිකයක් ගොඩනගාගන්නා වූ ආකාරය මනා ව පෙන්වා දී තිබේ.

තව ද ගිහියෙකු විසින් සිදුකළ යුතු, යුතුකම් පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. රාජබලි, අතිථිබලි, ඥාති බලි, පුබ්බපේත බලි, දේවතා බලි, යනුවෙනි. රාජබලි රටවෙනුවෙන් තමන් අතින් විය යුතු සේවයයි. රටවෙනුවෙන් තමන්ට යමක් කළ හැකිනම්, කළයුතු නම් ශක්ති ප්‍රමාණයෙන් එය කළයුතුයි. සෑම පුරවැසියෙකුගේ ම යුතුකම ද එයයි. ධර්මයෙහි ‘පුබ්බහාසී’ – පළමුවෙන් හිනාවෙන්න. ‘පුබ්බභාසි’ – පළමුවෙන් කතා කරන්න. ‘පුබ්බකාරී’ – පළමුවෙන් කරන්න යනුවෙන් විස්තර වන මෙම කරුණු විමසීමේ දී තමන්ගේ යුතුකම පළමුව සිදු කිරීම, අන්‍යයන්ගේ දොස් දැකීමට වඩා උචිත ය.

‘අතිථිබලි’ යනු ආගන්තුකයන් විෂයෙහි සිදුකළ යුතු යුතුකම් ය. ආගන්තුක සත්කාරය අගනා බොදු සිරිතකි. ‘ඥාති බලි’ යනුවෙන් පෙන්වා දී ඇත්තේ ඥාතීන් වෙනුවෙන් විය යුතු යුතුකම් ය. ‘පුබ්බපේත බලි’ යනුවෙන් දැක්වෙනුයේ මියගිය ඥාතීන්ට සිදුකළ යුතු යුතුකම් ය. ආගම දහම වෙනුවෙන් කළයුතු යුතුකම හැඳින්වෙනුයේ ‘දේවතා බලි’ යනුවෙනි. පෘතග්ජන පුද්ගලයකු විසින් සපිරිය යුතු මෙම යුතුකම් සම්පූර්ණ කිරීම තුළ නිසැකයෙන් ම සමාජය මනාව සුරක්ෂිත වේ.

දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය නම් වූ සතර සංග්‍රහ වස්තු සුරක්ෂිත සමාජයකට ඉවහල් වන අර්ථවත් බොදු සිරිත් විරිත් ය. දානය නම් පරිත්‍යාගයයි. විපතක දී ආපදාවක දී ජාතිය, ආගම, කුලය නොසලකා ඔවුනොවුනට උපකාර කිරීම බොදු සිරිතකි. භෞතික වශයෙන් වන්නා වූ ආහාර පාන ආදිය පමණක් ම නොව කරුණාව, දයාව, අනුකම්පාව, මෙත් සිත පැතිරවීම ද උතුම් වූ දානයකි. සියලු සතුන් කෙරෙහි මෙත්සිත පැතිරවීමට අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ‘අත්තානං උපමං කත්වා’ තමන්ට තමන් උපමාවට ගෙන සියලු සත්වයන් පිළිබඳවත් ඒ අයුරින් ම සිතීමට දේශනා කොට තිබේ.

සමාජය තුළ බොහෝ ගැටලු, ප්‍රශ්න, ආරවුල් ඇතිවන්නේ අයහපත් වචන භාවිතයෙනි. ප්‍රේමනීය, හදයංගම, කර්ණසුඛ, බොහෝ ජනයාට මනාප වචන භාවිතය බොදු සිරිතයි. ප්‍රිය වචනය මෙන් ම ක්‍රියාවෙන් ද අර්ථචර්යාව පෙන්විය යුතු ය. කිසිදු භේදයකින් තොරව සැමට එකසේ සැලකීම සමානාත්මතාවය ලෙස දක්වා තිබේ. අත්තුපනායික ධර්ම පර්යාය මත පිහිටා සමාජ කටයුතුවල නියැළීම මෙයින් අදහස් කෙරේ.

මංගල සූත්‍රයෙහි මංගල කරුණු තිස් අටක් දක්වා ඇති අතර, පරාභව, වසල, සූත්‍රයන්වල පිරිහීමේ කරුණු මෙන් ම උසස් කුලයක වූව ද වසලයෙක් වන අයුරු පෙන්වා දී තිබේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි මෙලොව, පරලොව වශයෙන් ජීවිතය සුරක්ෂිතව පවත්වා ගන්නා අයුරුත් පඤ්චශීල ප්‍රතිපත්ති තුළ අත්‍යවශයෙන් වැළකිය යුතු කරුණුත් දක්වා තිබේ. මෙම සියලු බොදු චාරිත්‍ර වාරිත්‍ර රැකීම සමාජ සුරක්ෂිතතාවයට මහත් සේ ඉවහල් වේ.