Print this Article


ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය

ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය

ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ උපසම්පදා මහෝත්සවය ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී අප්‍රේල් 22, 23, 24 දිනයන්හි දී පැවැත්වේ.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, විනයකීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය උඩුමලගල ශ්‍රී මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී, අගලබඩ ශ්‍රී පියසිරි, ශාස්ත්‍රපති ඕමාරේ කස්සප යන අනු නා හිමිවරුන්ගේත්, ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන, ප්‍රධාන සංවිධායක ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල, සංරක්ෂක දර්ශනපති, රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන යන හිමිවරුන්ගේත්, සහකාර ලේඛකාධිකාරීන් වහන්සේලා වන ගෝනදෙණියේ තපස්සී, පරපාමුල්ලේ සුමන යන හිමිවරුන්ගේත් මූලික මෙහෙයවීම මත ශ්‍රී රෝහණ පාර්ශ්වීය ත්‍රිංශත් වර්ගික විධායක කාරක සංඝ සභාව හා උපසම්පදා කාරක සභාවේ සහභාගීත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කෙරේ. අප්‍රේල් 22, 23, 24 යන දිනයන්හි පෙරවරු කාලයේ උපසම්පදාපේක්ෂකයන් දැක්වීම, පාඩම් ඇසීම්, පැවිදි කිරීම් හා දාන මානාදී පූර්ව භාගයේ කටයුතු පෙරවරු. 6.00 සිට පස්වරු 12.30 දක්වාද අපරභාගයේ කටයුතු පස්වරු 1.00 සිට එදින උපසම්පදා විනය කර්මයේ කටයුතු නිමවන තෙක් ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී ද පැවැත්වේ.


ආදි කර්තෘන් වහන්සේලා සිහි කරමු

කීර්ති ශේෂභාවෝපගත පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනල්ප උත්සාහයෙන් රෝහණ දේශවාසී මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ භික්ෂූන් වහන්සේගේ ඓතිහාසික අනන්‍යතාව මේ යැයි ප්‍රකට කරමින් ශ්‍රී රෝහණ පාර්ශ්වය ආරම්භ කෙරිණි.

නිර්මාතෘවරයාණන් වහන්සේ සේ ම, අපේ සංඝ සභාවට ඉමහත් ආලෝකයක් ගෙන දුන් රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත, සාහිත්‍යසූරී, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය අත්තුඩාවේ සිරි රාහුල මහානා හිමි, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද ගොම්බද්දල ශ්‍රී නන්දාරාම මහා නා හිමි සේ ම, කදුරුපොකුණේ ධම්මාවාස, ගතාරේ ධම්මපාල, කැකුණේවෙල පියරතන යන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ අපවත් වී වදාළ සියලුම ආදි කර්තෘන් වහන්සේලා සිහිපත් කර සිටිනුයේ අපමණ භක්ත්‍යාදරයකින් යුක්තවයි. උන්වහන්සේලා රෝහණ පාර්ශ්වයට පමණක් නොව, සම්බුද්ධ ශාසනයට, රටට, ජාතියට හා භාෂා සාහිත්‍යාදියට සිදුකළ සේවාව අපමණ ය

රුහුණේ අත්‍යුදාර ශාසනික කාර්යයකට මුල් වූ අපේ ආදිකර්තෘන් වහන්සේලාගේ කීර්තිරාවය සම්බුද්ධ ශාසනය පවතිනතාක් කල් ගිහි පැවිදි සකල සාධු ජනයාගේ මතකයේ රැඳී තිබෙනු ඇත.

මෙවර අප සංඝ සභාවේ 33 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් අදාළ ඒ ඒ ක්‍රියාකාරකම්වල නියුතු සැමටම මාගේ ආශිර්වාදය පළ කර සිටිමි.


සම්බුදු සසුන බැබළවීමට ශක්තිය ලැබේවා

සීලයෙහි උපරිම සීලය වන අධිසීලයට පැමිණීම හෝ එය ලැබීම “උපසම්පදා” නම් වේ. උපසම්පදාව පැවිද්දට අයත් වන අතර පැවිද්ද නැති විට උපසම්පදාව ද නැත. උපසම්පදාව ශාසනයට අයත් ය. එබැවින් උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත.

මෙහිදී උපසම්පදා සීලය වශයෙන් සලකනුයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධ සීලය හා ප්‍රත්‍යය සන්නිශි‍්‍රත සීලය යි. මෙම චතුර්විධ සීලය අධිසීල නම් වේ. මෙම අධිසීලයට පත්වීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ක්‍රම අටක් පවතියි. මේ අතර රාධ නම් බමුණා පැවිදිකොට උපසම්පදා කිරීමේ දී අනුගමනය කළේ ඤත්තිචතුත්ථකම්ම උපසම්පදාව යි. එතැන් පටන් එම උපසම්පදා ක්‍රමයම සිදු කිරීමට නියම කළ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා වෙතම එහි බලය පැවරූහ. ඤත්තිය සිව්වැනි කොට තෙවරක් අනුශ්‍රවණය කිරීමෙන් මෙම උපසම්පදාව සිදු කෙරෙන අතර මෙය පෞද්ගලිකව නොව මහා සංඝයා වහන්සේ විසින් සිදුකරනු ලැබී ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේ ප්‍රධානත්වය ගනිති.

ථේරවාදී සම්ප්‍රදායට අනුව සෑම සාමණේරනමක් ම උපසම්පදා සීලයෙහි පිහිටුවනුයේ මෙම ක්‍රමයට යි. මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය මගින් මෙවර පවත්වනුයේ එහි 33 වන උපසම්පදා මහා විනය කර්මය යි.

මෙවර උපසම්පදාව ලබන සාමණේරයන් වහන්සේලාට ධර්ම, විනය ධර චිරරාත්‍රඥ මහතෙරුන් වහන්සේලා ලෙස සම්බුදු සසුන බැබළවීමට ශක්තිය ධෛර්යය හා වාසනාව උතුම් වූ තෙරුවන් බෙලෙන් හා දේවතා රැකවරණයෙන් උදාවේවා! යි පතමි.


අභිප්‍රායයන් සාර්ථක වේවා

ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජ මහා විහාරාධිපති
ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ
රෝහණ පාර්ශ්වයේ අනුනායක
අධ්‍යාපනවේදී ශාස්ත්‍රපති
අගලබඩ සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත
පියසිරි අනු නා හිමි

ඓතිහාසික රෝහණ දේශවාසී භික්ෂූන් වහන්සේලාගේ පහසුව පදනම් කරගෙන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වය මගින් 1986 දී ඇරැඹි උපසම්පදා විනය කර්මය රෝහණ ඉතිහාසයට එක්වන විශිෂ්ට ජයග්‍රහණයකි.

ශ්‍රී රෝහණ පාර්ශ්වය බිහිවීමෙන් පසුව රෝහණයේ ස්‍යාම නිකායික භික්ෂූන් වහන්සේලාගේ දිගු කලක් තිස්සේ පැවති අවශ්‍යතාවක් සම්පූර්ණ වූවා පමණක් නොව භික්ෂූන්ගේ විනයානුකූල පැවැත්ම, භික්ෂු අධ්‍යාපනය හා සංඝ සන්තක දේපළ පාලනය යන අංශයන් හි ද, ප්‍රවණතාවක් ඇති විණ. මුල දී මාතර ඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී රෝහණ උපසම්පදාව සිදු කෙරිණි. පසුව 2004 දී මාතර කොටුවේගොඩ රන්දූපතේ ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාර මහා විහාරය පිහිටුවීමෙන් පසුව සංඝ සභාවේ ක්‍රියාකාරකම් තව තවත් පහසු මගකට යොමු කරවී ය.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිර්මාතෘවර පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර පරමාර්ථ සියල්ලක් ම මේ වන විට ඉටු වී ඇති බව පවසනුයේ හදපිරි අප්‍රමාණ සොම්නසින් යුක්තවයි. ශාසන චිරස්ථිතිය වෙනුවෙන් වූ අප සංඝ සභාවේ අනාගත අභිප්‍රායයන් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා යි, 33 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය පවත්වන මෙම අවස්ථාවේ දී මම ප්‍රාර්ථනා කර සිටිමි.


පියවර රැසක් ඔස්සේ ඉදිරියට පැමිණ තිබේ

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහාවිහාර සීමාවේදී භණ්ඩුක උපාසකතුමා පැවිදි කර උපසම්පදාව සිදු කිරීම ලංකාවේ සිදුකළ ප්‍රථම උපසම්පදා විනය කර්මයයි. එසේ පිහිටු වූ උපසම්පදාව වසර 1343 ක් වන තෙක් නිරුපද්‍රිතව පැවතුණි. ලක්දිව උපසම්පදාව නැති වූ පළමු අවස්ථාව වනුයේ පොළොන්නරුවේ රාජධානිය ආරම්භ කළ මහ විජයබාහු රජුගේ කාලය යි. එම රාජ්‍ය සමයේදී ම රාමඤ්ඤ දේශයට දූතයන් යවා උපසම්පදාව ගෙන්වා දෙවන වරට ද උපසම්පදාව පිහිටුවී ය. එයින් පසුව ද ක්‍රි.ව. 1542, 1592, 1604 ආදී කාල පරිච්ඡේදයන්හි දී විටින් විට අභාවයට ගිය උපසම්පදාව නැවත නැවතත් ආරම්භ කළ අතර එය විටින් විට කාලයක් තුළ පමණක් පැවතිණ.

මේ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයෙහි සියම් රටෙන් උපාලි මාහිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිසක් ලංකාවට වැඩම වූහ. එසේ වැඩමවාගත හැකි වූයේ වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ මාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ය. ක්‍රි.ව. 1753 ඇසළ පුර පසළොස්වක පොහෝදා මහනුවර මල්වතු මහා විහාරීය විසුංගාම සීමාවේ දී ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කෙරිණි. අද දක්වා ම ලංකාවේ පවත්නේ එම උපසම්පදා භික්ෂු පරපුරයි.

මෑත කාලීනව එනම් 80 දශකයේ මුල් භාගයේ දී මෙකී මහනුවර මල්වතු මහා විහාරය හා සබැඳි රුහුණේ භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රභවය වූ ප්‍රාදේශීය සංඝ සභාවක් වන ශ්‍රී රෝහණ මහා සංඝ සභාව ශාසනික අධ්‍යාපනික සාහිත්යික හා ජාතික වශයෙන් බෙහෙවින් ම හිත කරවන්නා වූ ඉතා සාර්ථක පියවර රැසක් ඔස්සේ ඉදිරියට පැමිණ තිබේ. මෙවර පවත්වන 33 වැනි උපසම්පදා පුණ්‍ය මහෝත්සවය එහි සාරවත් එක් පියවරකි.

මේ වෙනුවෙන් නන් අයුරින් සහාය වන ගිහි පැවිදි සැමට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා!


ශ්‍රී රෝහණ පාර්ශ්වයේ සමාරම්භය හා ව්‍යාප්තිය

දකුණු සිරිලක නිල්වලා ගඟ මුහුදට පිවිසෙන මෝය ආසන්නයේ දර්ශනීය ඓතිහාසික මාතර පුරවරය පිහිටා ඇත. මාතර දකුණු පළාතේ දෙවැනි නගරයයි. ආගමික වශයෙන් ගත් කල ඉකුත් සහස්‍රකය අග භාගයේ දී මාතර ප්‍රදේශයේ සිදු වූ ඓතිහාසික සංසිද්ධියක් වනුයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව ආරම්භ කොට එය නීතිගත කොට රුහුණේ උපසම්පදා විනය කර්මය ආරම්භ කිරීමයි.

බුදු සසුන පරිහානිය කරා ගමන් කළ දුර්දසාපන්න අඳුරු කාල පරිච්ඡේදයක ජන්ම ලාභය ලැබ පිරිහීගිය ශාසනික තත්ත්වය, භික්ෂු අධ්‍යාපනය හා ධර්ම ශාස්ත්‍රීය කටයුතු සමඟ භාෂා සාහිත්‍ය ව්‍යාපාරයන් යථා තත්ත්වයට පත් කළ බෝධිසත්ත්ව ගුණෝපේත වැලිවිට පිණ්ඩපාතික අසරණසරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගෙන් ප්‍රාරබ්ධ ස්‍යාමෝපාලි වංශික මහා නිකාය ප්‍රභවයේ පටන් ම එහි මූලස්ථානය පවත්නේ මහනුවර මල්වතු, අස්ගිරි උභය මහා විහාර කේන්ද්‍රකර ගෙන ය. පශ්චාත් කාලීනව පහතරට ධර්මධර, විනයධර සම්භාවනීය විද්වත් යතිවරයන් වහන්සේලාගේ එකතුවෙන් ප්‍රාදේශීය වශයෙන් පාර්ශ්ව කිහිපයක් ම ආරම්භ විය.

මේ අතර ශ්‍රී රෝහණ පාර්ශ්වය පස් වසරක් පමණ මූලස්ථානය හා ප්‍රාදේශීය භික්ෂූන් වහන්සේලා සමග සාකච්ඡා කර ඉතා පරීක්ෂාකාරීව හා ධර්මවිනයානුකූලව ආරම්භ කෙරුණි. ඒ අනුව රෝහණ පාර්ශ්වයේ ප්‍රථම උපසම්පදා විනය කර්මය 1986 දී පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එදා පටන් ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය සිදු වූයේ එහි මූලස්ථානය වූ මාතර ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ මංගල උපෝසථාගාරයේ ය. ස්‍යාමෝපාලි වංශික මහා නිකාය පිහිටුවා වසර 250 ක් සපිරීම වෙනුවෙන් රෝහණ පාර්ශ්වයේ 18 වන උපසම්පදා උළෙල 2003 දී ඓතිහාසික තිස්සමහාරාම රාජ මහා විහාරයේ දී සිදු කෙරිණි. තව ද ඒ හා සමගාමීව 2003 අප්‍රේල් 24 වැනි දින පෙරවරු 9.30 ට යෙදුණු සුබ මොහොතින් මාතර දර්ශනීය පරෙයිදූවේ දී රෝහණ පාර්ශ්වය සඳහා ඉදිවන මංගල උපෝස්ථාගාරය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරිණි. 2004 ජනවාරි 15 වැනි දා සීමා බන්ධන මහා විනය කර්මය සිදු කෙරිණි. ඉක්බිතිව රන්දූපත ලෙස නම් ලැබූ අභිනව උපෝසථාගාරය ප්‍රමුඛ තදනුබද්ධ ආගමික ගොඩනැගිලි සංකීර්ණය සහිත මෙම පුදබිම අතපැන් වත්කොට සඟ සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2004 අප්‍රේල් 30 වැනිදින සිදු කෙරිණි. අස්ගිරි පාර්ශ්වයේ විසිවැනි මහානායක පදවිය දැරූ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති එම ඓතිහාසික අවස්ථාවට සමාරම්භක මහානායක මාහිමියන්ගෙන් පසු රෝහණ පාර්ශ්වයට ඉමහත් ආලෝකයක් ගෙන දුන් රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකවාගීශ්වරචාර්ය, සාහිත්‍යසූරී අත්තුඩාවේ සිරි රාහුල මහනාහිමි, කෝට්ටේ පාර්ශ්වයේ මහානායකව වැඩසිටි අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහනාහිමි හා එවකට අනුනායකව වැඩ සිටි ආචාර්ය ඉත්තෑපාන ශ්‍රී ධම්මාලංකාර මහා නාහිමි ද, ප්‍රමුඛ දහසකට අධික මහා සංඝරත්නය වැඩම වූහ.

අතිපූජ්‍ය අත්තුඩාවේ සිරි රාහුල මහා නාහිමි, මහාචාර්ය ගාතරේ ධම්මපාල අනුනාහිමි, කැකුණේවෙල ශ්‍රී පියරතන අනුනාහිමි, ගොම්බද්දල ශ්‍රී නන්දාරාම මහානාහිමි, පොළොම්මාරුවේ හේමසිරි නාහිමි, ඌරුමුත්තේ සෝමරතන නාහිමි යනාදී රෝහණ සංඝ සභාවේ වැඩසිටි කීර්තිධර විද්වත් යතිවරයන් වහන්සේලාගේ සහ වත්මන් මහානායක අතිපූජ්‍ය උඩුමලගල ශ්‍රී මහින්ද මහා නාහිමි හා අගලබඩ ශ්‍රී පියසිරි, ඕමාරේ කස්සප යන අනුනාහිමිවරුන්ගේත් පූර්ණ මාර්ගෝපදේශකත්වය හා ආශිර්වාදය මධ්‍යයේ මෙම රන්දූපත උපෝසථාගාර මහා විහාර සංකීර්ණයේ ඉදි කිරීමේ සියලු කාර්යයන් සිදු වූයේ හිටපු අමාත්‍ය නීතිඥ මහින්ද විජේසේකර මහතාගේ අධීක්ෂණය පරිදි ය.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 19 වැනි උපසම්පදාවාරය මෙම උපෝසථාගාරයේ පැවැත් වූ ප්‍රථම උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ලෙස 2004 දී පැවැත්විණි. මෙම 2018 වසරේ පැවැත්වෙනුයේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 33 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවයයි. අප්‍රේල් 22, 23, 24 යන දිනයන් හි දී එය පැවැත්වේ. ඊට පෙර සිදු කෙරෙන උපසම්පදා අපේක්ෂක සියලු සාමණේරයන් වහන්සේලා සඳහා වූ භික්ෂු ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ පුහුණු වැඩමුළුව හා ලිඛිත පරීක්ෂණය අප්‍රේල් 6, 7, 8 යන දිනයන්හි දී මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණි.

ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක, විනයකීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය උඩුමලගල ශ්‍රී මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති අධ්‍යාපනවේදී, අගලබඩ ශ්‍රී පියසිරි, ශාස්ත්‍රපති ඕමාරේ කස්සප යන අනු නා හිමිවරුන්ගේත්, ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන, ප්‍රධාන සංවිධායක ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල, සංරක්ෂක දර්ශනපති, රාජකීය පණ්ඩිත හත්තොටුවේ ඉන්දරතන යන හිමිවරුන්ගේත්, සහකාර ලේඛකාධිකාරීන් වහන්සේලා වන ගෝනදෙණියේ තපස්සී, පරපාමුල්ලේ සුමන යන හිමිවරුන්ගේත් මූලික මෙහෙයවීම මත ශ්‍රී රෝහණ පාර්ශ්වීය ත්‍රිංශත් වර්ගික විධායක කාරක සංඝ සභාව හා උපසම්පදා කාරක සභාවේ සහභාගීත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කෙරේ.

අප්‍රේල් 22, 23, 24 යන දිනයන්හි පෙරවරු කාලයේ උපසම්පදාපේක්ෂකයන් දැක්වීම, පාඩම් ඇසීම්, පැවිදි කිරීම් හා දාන මානාදී පූර්ව භාගයේ කටයුතු පෙරවරු. 6.00 සිට පස්වරු 12.30 දක්වාද අපරභාගයේ කටයුතු පස්වරු 1.00 සිට එදින උපසම්පදා විනය කර්මයේ කටයුතු නිමවන තෙක් ඌරාපොළ සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානයේ දී ද පැවැත්වේ.


රෝහණ උපසම්පදාව

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ 33 වන උපසම්පදා වාරය 2018 අප්‍රේල් 22, 23, 24 දිනවල අපගේ සංඝ සභා මූලස්ථානය සහ උපසම්පදා මූලස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට ලැබීම ඉමහත් භාග්‍යයකි. සුවිශේෂී යුග මෙහෙවරක් රෝහණ දේශවාසී සංඝරත්නය විසින් සිදුකළ බවට සාක්ෂි අනුරාධපුර සමයේ සිට ම පවතියි.

ක්‍රි.පූ. තෙවන සියවසේ සිදු වූ අනුරපුර ජය ශ්‍රී මහා බෝධිරෝපණයට රුහුණේ කාචරගාම චන්දනගාම ක්ෂත්‍රියයෝ සපැමිණි බව මහාවංශයෙහි විශේෂයෙන් දැක්වේ. පළමුවරට ලක්දිව එක්සේසත් කළ දුටුගැමුණු නරපතිඳු දේශයට හිමිකළේ රුහුණෙනි. විදේශීය ආක්‍රමණ හමුවේ අසරණ වූ වළගම්බාවන් වනගතව තබාගෙන ආරක්ෂා කළෝ රුහුණේ මහා සංඝරත්නයයි. පොළොන්නරුවේ නව රාජධානියක් පිහිට වූ මහා විජබාහු රජතුමා ඒ ඉමහත් ශක්තිය උකහාගත්තේ රුහුණෙනි.

අවසන් වරට සම්බුදු සසුන පුනර්ජීවනය කරමින් ස්‍යාමෝපසම්පදාව 1753 දී ලක්දිව පිහිටු වූ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ සිල්වත් සමාගම හොබවමින් නියමකන්දේ ශාස්ත්‍ර ශාලාවෙහි කටයුතු සඳහා ඉමහත් ශක්තියක් වූවෝ, රුහුණෙන් වැඩි සිටිනාමළුවේ සිල්වතාණෝ ය. වේහැල්ලේ ධම්මදින්න, ඉලිපැන්නගමුවේ කදිරාගොඩ, වටරග්ගොඩ ධම්මපාල යනාදී රුහුණේ තෙරවරු එසේ පිහිටු වූ උපසම්පදාව දක්ෂිණ ලංකාව පුරා ව්‍යාප්ත කරමින් ශාසනෝද්දීප්තියට කටයුතු කළහ.

රෝහණ සංඝ සභාවේ පළමු උපසම්පදා උත්සවය 1986 අප්‍රේල් 24 දින ඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ දී පැවතිණි. මෙවර 2018 වසරේ දී පැවැත්වෙනුයේ 33 වන උපසම්පදා මහෝත්සවයයි. ඒ සඳහා නන් අයුරින් උපකාර කරන ගිහි පැවිදි සැමට තුනුරුවන්ගේ ආරක්ෂාව හා ආශිර්වාදය ලැබේවායි පතමි.