Print this Article


පිරිසුදු මනස සිත ප්‍රබෝධමත් කරයි

පිරිසුදු මනස සිත ප්‍රබෝධමත් කරයි

" විනය පිටකය තුළින් හෙළිවන්නා වූ මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දිය හැකි අතර, විනය පිටකයට අමතරව සූත්‍ර පිටකයෙහි හා අභිධර්ම පිටකයෙහි මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයන් රාශියක් දැක්වේ. ඒ අනුව ඛුද්දක නිකායේ අනුමාන සූත්‍රයේ දී මානසික රෝගී තත්වයන් රාශියක් පිළිබඳ ඉගැන්වෙයි."

මානසික සෞඛ්‍ය සංරක්ෂණයේ දී පුද්ගල මනස පිරිසුදු බවින් යුතු වීම ඉතාම වැදගත් ය. මෙහිදී පිරිසුදු බව යනුවෙන් හඳුන්වන්නේ කෙලෙසුන්ගෙන් පිරිසුදු භාවයට පත්වීම යි. කායික පිරිසුදු භාවයටත් වඩා මානසික පිරිසුදුභාවය ඉතා වැදගත් බව බුදු දහමේ මතය යි. ලෝභය,ද්වේශය. මෝහය, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව, වෛරය,පළිගැනීමේ චේතනාව, මානය, උඩඟුකම ආදි කරුණුවලින් මනස අපිරිසුදු බවට පත්වන අතරම, එය දියුණු වීමෙන් මානසික රෝගයන් ඇතිවේ. මෙම කරුණු හේතුකොට ගෙන පුද්ගලයා මානසික වශයෙන් බෙහෙවින් පීඩාවට පත්වේ.

මේ ආකාරයෙන් විනය පිටකය තුළින් හෙළිවන්නා වූ මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දිය හැකි අතර, විනය පිටකයට අමතරව සූත්‍ර පිටකයෙහි හා අභිධර්ම පිටකයෙහි මානසික සෞඛ්‍ය සංක්ෂණ ක්‍රමවේදයන් රාශියක් දැක්වේ. ඒ අනුව ඛුද්දක නිකායේ අනුමාන සූත්‍රයේ දී මානසික රෝගී තත්වයන් රාශියක් පිළිබඳ ඉගැන්වෙයි.

  • ක්‍රෝධ කරන සුළු වූයේ ඒ  හේතුකොට ගෙන බද්ධ වෛරයෙන් යුතු වීම
  • ක්‍රෝධ කරන සුළු වූයේ ඒ හේතුකොට ගෙන ගැටෙන සුළු වීම
  • ක්‍රෝධ කරන සුළු වූයේ ඒ හේතු කොට ගෙන ක්‍රෝධ වදන් කීම
  • චෝදනා කරන විට චෝදකයාට ප්‍රතිවිරුද්ධ චෝදනා නැගීම
  • චෝදනා කරන විට චෝදකයා හා ගැටීම
  • චෝදනා කරන විට චෝදකයාට පෙරලා චෝදනා කිරීම
  • චෝදනා කරන විට චෝදනාව අනිකකින් වැසීම
  • චරිත ශුද්ධිය නොමැතිකම
  • ගුණමකු වීම
  • ඊර්ෂ්‍යා කිරීම, මසුරුවීම,
  • කෛරාටික වීම, මායා ඇති වීම
  • තද බව ඇත්තේ, අධික මානය ඇතිවීම.
  • සිය දෘෂ්ඨියම පරමාදර්ශනය කරන්නේ, එය දැඩි කොට ගන්නේ බැහැර කිරීමට නො හැකි වීම.

මෙම රෝගී තත්වයන්ගෙන් අත්මිදීම තුළින් යහපත් වූ මානසික සෞඛ්‍යය සංරක්ෂණයක් ගොඩනගා ගත හැකි බව අපට මැනවින් පැහැදිලි වේ.

එක් අවස්ථාවක බුදුන් වහන්සේ “ශ්‍රමණ” යන නාමය දැරීමට සුදුසුකම් 12 ක් දැක්වූහ. එම සුදුසුකම් 12 අධ්‍යයනය කරන විට අපට පැහැදිලි වන්නේ එම කරුණු 12 මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයක් බව යි. ඒ අනුව ශ්‍රමණයෙකු වීමට නම්, යහපත් මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයක් අවශ්‍ය බව පැහැදිලි ය.

  • දැඩි ලෝභය දුරු කිරීම
  • ව්‍යාපාදය දුරු කිරීම
  • ක්‍රෝධය දුරු කිරීම
  • බද්ධ වෛරය දුරු කිරීම
  • ගුණමකු බව දුරු කිරීම
  • අනුන්ගේ දොස් කීම දුරු කිරීම
  • ඊර්ෂ්‍යාව දුරු කිරීම
  • මසුරුකම දුරුකිරීම
  • කෛරාටිකකම දුරු කිරීම
  • ළාමක අදහස් දුරු කිරීම
  • වැරැදි හැඟීම් දුරු කිරීම

මානසික වශයෙන් පුද්ගලයකු පරිහානියට පත් වූ විට නිර්වාණය ළඟා කරගත නො හැකි ය. නිර්වාණය ළඟා කර ගැනීමට නම් යහපත් මානසික සංරක්ෂණයකින් යුක්ත විය යුතු ය. එම මානසික සංරක්ෂණය ඇති කර ගැනීමට පහත දැක්වෙන කරුණු වලින් පුද්ගලයා අතමිදිය යුතු බවත්, එමගින් මානසික සෞඛ්‍ය සංරක්ෂණයක් ඇතිවන බවත් පැහැදිලි ය.

ථිනං – සිතෙහි මැළිබව

මිද්ධං – කයෙහි මැළි බව

උද්ධච්ඡං – උඩඟුකම

කුක්කුච්ඡං – කුකුස

අස්සද්ධිං – සැදැහැ නැති බව සහ

පමාදං – ප්‍රමාදය යන කරුණුය

බුදු දහමේ ඉගැන්වෙන අනාගාමී ඵලය ලබා ගැනීම සඳහා ද මානසික සෞඛ්‍ය සංරක්ෂණය ඉතාම වැදගත් ය. පහත කරුණු වලින් යුක්ත වූවන්ට අනාගාමී ඵලය ළඟා කරගත නො හැකි බව බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ දී පෙන්වා දුන්හ. ඒ අනුව අනාගාමි ඵලය ලබා ගැනීමට නම් පහත කරුණු වලින් තොර විය යුතු බව බුදුසමය අනුදැන වදාර යි. එය ද යහපත් මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයකි.

1. ශ්‍රද්ධාව නැති බව

2. පවට ලජ්ජාව නැති බව

3. පවට බිය නැති බව

4. කුසීත බව

5. සිහි නැති බව

6. ප්‍රඥාව නැති බව

මේ ආකාරයෙන් යහපත් මානසික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවේදයන් රාශියක් පෙළ සාහිත්‍යයේ හමුවන අතර, මජ්ක්‍ධිම නිකායේ සල්ලේඛ සූත්‍රයේ පමණක් මානසික රෝග 44 ක් දැක්වෙයි.

සත්ත්ව හිංසාව, ප්‍රාණඝාතය, සොරකම, අබ්‍රහ්ම චරියාව, පරුෂ වචන, කේලම, අභිධ්‍යාව , ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ඨිය, මිථ්‍යා සංකල්ප, මිථ්‍යා වචන, මිථ්‍යා කර්මාන්ත, මිථ්‍යා ආජීව, මිථ්‍යා වායාම, මිථ්‍යා ස්මෘතිය, මිථ්‍යා සමාධි, මිථ්‍යා ඥාන, මිථ්‍යාවිමුක්ති, ථීනමිද්ධ, උද්ධච්ඡ, විචිකිච්චා, කිපෙන සුළු බව, බද්ධ වෛරය, ගුණමකු බව, ඊර්ෂ්‍යාව, මසුරුකම, කෛරාටික බව, මායාව, අධික මානය, දුර්වල බව, පාප මිත්‍ර ඇසුර ,ප්‍රමාදය, අසද්ධාව, අහිරිකය, පවට බය නැති බව, නූගත් බව, කුසීත බව, සිහිමුළාව, දුෂ්පාඥ බව තම, දෘෂ්ඨිය දැඩි බව, බොරුව, හිස්වචන හා තදබව යනුවෙනි.

ත්‍රිපිටක සාහිත්‍යයෙහි වැඩිපුරම මානසික රෝග සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ අභිධර්ම පිටකය තුළ ය. මේවාගෙන් වියුක්ත ව ජීවත්වීම මගින් යහපත් මානසික ස්වස්ථතාවයක් ගොඩනගා ගත හැකි ය.