Print this Article


සසර සුව දෙන අණන සුඛය ණය නොවන ජීවිතයක්

සසර සුව දෙන අණන සුඛය ණය නොවන ජීවිතයක්

" කෙනෙකුගෙන් ණය ගෙන ‘මා ඔබෙන් ගත් ණයක් නැතැයි මඟහැර පලා යන්නා වසලයෙකැයි බුදුරදුන් වසල සූත්‍රයේ දී දේශනා කොට ඇත."

ණය නැතිව ජීවත්වීමට ලැබීම සිතට ගෙන දෙන්නේ සැහැල්ලු හැඟීමකි. මහත් වු අස්වැසිල්ලකි. නිවහල් ව ජීවත්විය හැකිවන්නේත්. ස්වාධීනව කටයුතු කළ හැකි වන්නේත් ණය බරින් තොර සන්සුන් මනසක් ඇත්තාට ය. “ණයබර” යන්න පටු පරාසයකට සීමා වන්නක් නොවේ. පුද්ගල ජීවිතයක කුදු මහත් සියලු ක්‍රියාකාරකම්තුළ ණය නැති බව අවශ්‍ය ය. මුළු මහත් සංසාරගත ජීවිතය තුළ ම ණය නැති බව සුව එළවයි. මේ බව අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ එන ‘අණන සූත්‍රයෙන්’ හෙළි වෙයි.

අනේපිඬු සිටුතුමාට බුදුරදුන් සැවැත්නුවර ජේතවනාරාමයේ දී දේශනා කළ “අණන සූත්‍රය” ධර්ම දේශකයන් බහුල වශයෙන් මාතෘකා කරගන්නා නිසා ගිහි ශ්‍රාවකයන්ට ද ඒ පිළිබඳ දැනුමක් තිබිය හැකි ය. බුදුරදුන් එහි දී සිටුතුමාට දේශනා කරන්නේ කාමභෝගී ගිහියකු විසින් අත්කර ගත යුතු චතුර්විධ සුඛයන් ගැන ය. එනම් අත්ථි සුඛ ,භෝග සුඛ, අණන සුඛ, හා අනවජ්ජ සුඛ යන හතරයි.

මේ සූත්‍රය ‘අණන සූත්‍රය’ යනුවෙන් නම් කිරීමේ යම් පරස්පරතාවක් බැලූ බැල්මට පෙනී යා හැකි ය. සුත්‍රයෙහි අන්තර්ගත වන්නේ සුඛ හතරක් බැවින් ‘සුඛ සූත්‍රය’ යයි මෙයට නම් කළ හැකි ව තිබිණි. එසේ නැතිනම් සූත්‍රයේ ව්‍යුහය සලකා පළමුවෙන් ම එන ‘අත්ථි සුඛ යන්නෙන් ගෙන ‘අත්ථි සුඛ සුත්‍රය’ යයි නම් කළ හැකිව තිබිණි. ඇතැම් සූත්‍ර එසේ නම්කොට ඇති අවස්ථා සුලභව දක්නට තිබෙන බැවිනි. එසේ නැතහොත් මේ චතුර්විධ සුඛයෙන් වඩා ඉස්මතු කොට දක්වනු ලබන ‘අනවජ්ජ සුඛය මුල්කොට ‘අනවජ්ජ සූත්‍ර’ය යැයි ද නම් කළ හැකි විය. අත්ථි, භොග, අණන යන සැප තුන ම නිවැරැදි හෙවත් අනවජ්ජ සුඛයට සාපේක්ෂව බලන කල දහසයෙන් පංගුවක්වත් නොවටිනා බව කියැවෙන නිසා ය. කරුණු එසේ වුවත් මේ සූත්‍රය එහි තුන්වැනි තැන විස්තර වන ණය නැති බවේ සැපයට අනුව ‘අණන සුත්‍රය’ යයි නම් කොට තිබේ.

කෙසේ වෙතත් සූත්‍රය ගැඹුරින් අධ්‍යයනය කරන විට එම නාමකරණය අතිශයින් යුක්ති සහගත බව කෙනෙකුට පෙනී යනු නිසැක ය.

පළමුවැන්න වූ ‘අත්ථිසුඛය’ යනු කෙනෙකුට තමන්ගේ ස්වයං පෝෂිතභාවය ගැන ඇතිකර ගත හැකි ආත්මතෘප්තියයි. ‘සැපවත් කාමභෝගී ජීවිතයකට ඇවැසි සියල්ල තමන්ට තිබේ’ යන හැඟීමයි. එහෙත් ගිහි ජීවිතයකට පොහොනා සම්පත්වලින් හිඟයක් නොවුණු තරමින් කෙනෙකුට අවංක සුඛාස්වාදයක් ලද නොහැකි බව එම සම්පත් විශේෂණය කරන පදමාලාවෙන් පෙනී යයි. කෙනෙකුට සතුටුවිය හැක්කේ තමන් සතු ධනය උත්සාහයෙන් හා දහඩිය වැගිරීමෙන් ධාර්මිකව (ධම්මිකා ධම්මලද්ධා) ලැබූ සම්පත්තියක් නම් පමණි. තමන්ට ඇතැයි සිතන සම්පත්තීන් හි පසුබිම් කතාව, සොරකම, කපටිකම, සුරාකෑම, අසාධාරණය, අගතිගාමිත්වය, වංචාව වැනි ගති ලක්ෂණ සමඟ මිශ්‍රවූවක් නම්, එම ධනය ඉඳුරා ම ණයවීමකි. ඔහුට සසර දී එම ණය දුක් බරව ආපසු ගෙවන්නට සිදුවීම වැළැක්විය නොහේ. මේ ජීවිතයේ දී ම එම අසාධාරණ සම්පත් නිසා ඔහුගේ සිතතුළ පසුතැවිල්ලක් ඇතිවීම ස්වභාවික ය. ධර්මානුකූලව තම හෘදය සාක්ෂියට එකඟව ලැබුණූ ධනය ම ණය නැති සුවයක් ගෙන දෙනු ඇත.

දෙවැන්න වූ භෝග සුඛය විස්තර කොට ඇත්තේ ‘දැහැමින් ලත් ධනය පරිභොීජනය කරයි. පින් ද කරයි. යනුවෙනි. කෙනෙකුට කොතරම් සම්පත් හිමි වුවත් ආත්මාර්ථකාමි ලෙස පරිභෝජනය නො කිරීමේ හෝ තනිවම පරිභෝජනය කිරීමේ හෝ යුක්තියක් නැත. කාම භෝගී ගිහියකු තම වියදම් රටාව සකස්කර ගතයුත්තේ කෙසේදැයි අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රයේ විස්තර වෙයි. ඒ අනුව උපයාගත් ධනයෙන් තමන් සේ ම, තම අඹුදරුවන් හා දාස, කම්කරුවන් ද පෝෂණය කළ යුතු ය. එදිනෙදා හරිහම්බ කරගන්නා මුදලින් වැඩි ප්‍රමාණයක් මත්පැන්, සූදු ක්‍රීඩා හා දුම්බීම වැනි නිෂ්ඵල වියදම්වල යොදවමින් අඹු දරු ආදීන් නොතකා හැරීමේ යුතුකමක් කෙනෙකුට නැති බව මින් පැහැදිලි ය. එම නොතකා හැරීම සසරදී වන්දි වශයෙන් ගෙවිය යුතු “ණයක් වීම නියත ය.

කාමභෝගී ගිහියෙකුට පුළුල් සමාජ වගකීමක්, පැවරී තිබේ. උපයන්නා ධනයෙන් රාජ්‍ය භාගය ගෙවිය යුතු ය. නෑදෑයින් උදෙසා යුතුකම් කළ යුතු ය. ආගන්තුකයන්ට සංග්‍රහ කළ යුතු ය. මළගියවුන්ට පින්පෙත් දිය යුතු ය. දෙවියන් පිදීමේ යුතු ය. මේ සියල්ල පාරිභෝජනයේ ම පාර්ශ්වයෝ වෙති. රජයෙන් පනවන බදු වංචා කිරීම, ආගන්තුකයන් මගහැරයාම, නෑදැයින් නොතකා හැරීම, ජීවත්ව සිටියදී ධනය රැස්කොට ජීවත්ව සිටින්නවුන් උදෙසා ඉතිරි කොට මිය ගිය මළවුන් වෙනුවෙන් පින්පෙත් නොදීම ආදි වශයෙන් මානව සාරධර්ම ඉටු නොකිරීමෙන් රාජ්‍යය ආදියට ණය ගැතියකු වී ඒවායේ ආදීනව සසරදී ලබන්නට සිදුවෙයි. එසේ ම සමාජයේ යම් යම් වරප්‍රසාද භුක්ති විඳින පිරිස් තමන්ට පැවරුණු වගකීම් ඉටු කරමින් එම වරප්‍රසාදවලට සාධාරණය ඉටු නොකරන්නේ නම්, ඔවුහු ද ණයගැතියෝ වෙති. ලොව ජීවත්වන සෑම මිනිසෙක් ම ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙනුත්, මිනිසා විසින් නිර්මාණය කරන ලද භෞතික වටපිටාව තුළිනුත් සැප අනුභව කරන බව පිළිගත යුතු ය. එසේ ම එම ලෝකයෙන් ප්‍රතිලාභ භුක්ති විඳින තැනැත්තා තම ශක්ති ප්‍රමාණයෙන් ලෝකයට කළ ගුණ සැලකීමට බැඳී සිටී. ඔහු ලොවට ණය ගැතියෙකු නොවන්නේ එම අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්නේ නම් පමණි. එනිසා ණය නැති පරිභෝජනයක යෙදිය යුතු ය.

අණන සුඛය යනුවෙන් දක්වා තිබෙන්නේ කවරකුට හෝ අල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් ගෙවිය යුතු ණය නැති බවයි. කෙනෙකුගෙන් ණය ගෙන ‘මා ඔබෙන් ගත් ණයක් නැතැයි මඟහැර පලා යන්නා වසලයෙකැයි බුදුරදුන් වසල සූත්‍රයේ දි දේශනා කොට ඇත.

සතරවැනි අනවජ්ජ සුඛය යනු කයින්, වචනයෙන්, සිතින් පව්කම් නොකිරීම නිසා නිවැරැදි දිවිපෙවෙතත් ගත කිරීමෙන් ලබන සැපයයි. මින් හැඟවෙන්නේ දස අකුසලයන්හි යෙදෙන්නා සසර ගමනට රැගෙන යන ණය රැස්කරගත්තකු බවයි. පව්කරන්නා එම පවුවල විපාකවලට මුහුණ දිය යුතු බව බොහෝ බෞද්ධ කථාවල දැක්වේ. ධම්මපදයේ පළමුවන ගාථාවේ සඳහන් වන්නේ තිදොරින් දුසිරිතෙහි යෙදෙන්නා පසුපස, ගොනුගේ පියවර අනුව එන රියසක මෙන් දුක්විපාක පැමිණෙන බවයි. අකුසල කර්ම රැස් කිරීමෙන් ඊට අනුරූප වු දුක් විපාක ලත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු සිය දහස් ගණනක් බෞද්ධ සාහිත්‍යයෙන් හඳුනාගත හැකි ය. මහ මුගලන් රහතන් වහන්සේ සොරුන්ගේ පහර කෑමට ලක් වූයේත්, චක්ඛුපාල හිමියන්ගේ ඇස් අන්ධ වුයේත්, ඛුජ්ජුත්තරා දාසියක වූයේත් පෙර කළ පවුවල විපාක වශයෙනි. එසේ නම් පවුකරන්නා සසර දී ගෙවිය යුතු ණයක් ගත්තෙකි. අණන සුවය නම් එසේ දුක් විපාක වශයෙන් ගෙවිය යුතු ණය ගැතියෙකු නොවෙමියි සතුටට පත්වීමට හැකි වීමයි.