Print this Article


පොත්පත් විත්ති

ආනන්ද මෛත්‍රෙය මහා නා හිමි

අවසන් සාකච්ඡා (පස්වන මුද්‍රණය)

කර්තෘ- සීසර් සුදුසිංහ

ප්‍රකාශක - සාහිත පොත් පිසය

අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි වයස අවුරුදු 102 දී පළකළ අදහස් ඇතුළත් අවසන් සාකච්ඡා ග්‍රන්ථයේ නවතම පස්වන මුද්‍රණය පසුගිය දා සාහිත පොත් පියසේ දී එළි දැක්විණ.

ආනන්ද මෛත්‍රෙය මා හිමියන්ගේ වටිනා අදහස් කැටි වූ සාකච්ඡා පුවත්පත් පිටු අතර යට වීමට ඉඩ නො දී මතු කළ මාහැඟි කෘතියකි. මේ ග්‍රන්ථයේ කර්මය බලපාන අන්දම, බුද්ධ චරිතය සහ බුද්ධ ශාසනය, දෙවියන් දැකීම, මියගිය ඤාතින්ට පින්දීම, මරණින් මතු පැවැත්ම, කාන්තා දායකත්වය හා පැවිදිභාවය, මල් පූජාවේ අනුසස් ආදී මාතෘකා යටතේ ඉතාමත් සරලව පාඨකයාට නිවැරැදි දහම් දැනුමක් ලබාදීම පිණිස ලියැවී ඇති කෘතියකි.

 

 

 

 

 

 

 


ජීවීන් සිටින ලෝක පිළිබඳව බුදුහිමියන්ගේ මහා හෙළිදරව්ව

කර්තෘ - අසංක ආටිගල

ප්‍රකාශක - සාහිත පොත් පියස

සසර කෙළවරකරන ආරණ්‍ය, සසරින් එතෙර වූ යතිවරු, නිවන් මඟ අභියස ආදී බෞද්ධ ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ මාධ්‍යවේදී අසංග ආටිගල විසින් ලියු ජීවින් සිටින ලෝක පිළිබඳව බුදු හිිමියන්ගේ මහා හෙළිදරව්ව (සක්වල අසිරිය) නම් ග්‍රන්ථය පසුගිය දා සාහිත්‍ය පොත් පියසේ දී එළිදැක්වුණි.

ජාතික පුවත්පතකට ලියු ලිපි පෙළක් ඇසුරෙන් ආචාර්ය ඇත්කඳුරේ සුමනසාර හිමි, ආචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි ශාස්ත්‍රපති තලංගල්ලේ සුධම්ම හිමි යන හිමිවරුන්ගේ මඟ පෙන්වීමෙන් එම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ.

බුදු දහමට අනුව ජීවින් වාසය කරන ලෝක රාශියකි. නූතන විද්‍යාව පරයා නැගුනු බුද්ධ දේශනාව ඇසුරෙන් ගොඩ නැගෙන විශ්වයේ පවතිනා ලෝක කවරේද, ස්වභාවය කවරේද, හට ගත්තේ කෙසේද, විනාශ කවරාකාර වේද, ආදීි කරුණු අවබෝධයක් ලැබෙන පරිදි මනාව විස්තර කොට ඇත.

 

 

 

 

 

 


දහම් දැනුම (ප්‍රශ්නෝත්තර සංග්‍රහය)

කර්තෘ - බැලුම්මහර ඉන්දානන්ද හිමි

ප්‍රකාශකයෝ - කර්තෘ ප්‍රකාශනයකි

බැලුම්මහර ඉන්දානන්ද හිමියන් විසින් දහම් දැනුම වැඩිදියුණු කර ගැනීම උදෙසා දහම් පාසල් පෙළපොත් ඇසුරෙන් දහම් දැනුම (ප්‍රශ්නෝත්තර සංග්‍රහය) නම් ග්‍රන්ථ තුනක් එළිදක්වා ඇත.

06,07,08 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් එළිදක්වා ඇති මෙම ග්‍රන්ථ තුන ඉතාමත් සරලව දරුවන්ගේ දැනුම වර්ධනයට යෝග්‍ය වන පරිදි සකසා ඇත. බුදුදහම පදනම් කරගෙන තමා හා අවට පරිසරය පිළිබඳ අවබෝධයක් ඇතිව එම අවබෝධය අනුව හැසිරෙන සහ එසේ හැසිරීමේ ප්‍රතිඵල අත්දකින ගුණ නැණ දෙකෙන් පිරිපුන් දරු පිරිසක් බිහි කිරීම උන්වහන්සේගේ උත්සාහය බවද සඳහන් කොට ඇත.