Print this Article


සඟරුවනට සිදුවන අපහාස නතර කිරීම පිණිස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත්ව නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තෛ‍්‍රනිකායික මහා නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලීමක් කරති

සඟරුවනට සිදුවන අපහාස නතර කිරීම පිණිස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත්ව නිකුත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තෛ‍්‍රනිකායික මහා නාහිමිවරු ජනපතිගෙන් ඉල්ලීමක් කරති

ශාසන විරෝධී ලෙස මහණ වෙස් ගත් වරෙන්තුකරුවන් ඇතුළු බොහෝ පිරිස් සම්බුදු සසුනට හා සංඝයා වහන්සේට අපහාස වන අයුරින් සිදුකරන ක්‍රියාවන් නතර කිරීම පිණිස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත්ව නිකුත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස තෛ‍්‍රනිකායික මහ නා හිමිවරු ජනපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබේ.

පිරිසුදු ථෙරවාදී සම්බුදු සසුන අදටත් සුරැකිව පවත්නා රටක් ලෙස අප දිනාගත් කීර්තිනාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම පිණිස සුදුසු ක්‍රියාමාර්ග ගැනීම රජය සහ සෙසු සියලු පාර්ශ්ව එක්ව සිදුකළ යුතුව තිබෙන බවත් දැනට කඩිනම් පියවරක් ලෙස භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත් කර මහණ වෙස් ගත්තවුන් හඳුනාගෙන සසුනින් බැහැර කිරීමට දැන් කාලය එළඹ තිබෙන බවත් මහා නා හිමිවරු අවධාරණය කරති.

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමි, අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහා නා හිමි යන තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මෙම ලිපියට අත්සන් තබා ඇත.

නොයෙක් විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් ශාසන විරෝධී ලෙස මහණ වෙස් ගෙන සිදුකරන ක්‍රියාවන් නිසා සම්බුදු සසුනට හා සංඝයා වහන්සේ ට අපහාස සිදුවන බවත් මේ හේතුවෙන් බෞද්ධ ජනතාවගේ පමණක් නොව අබෞද්ධ ජනතාවගේ පවා සිත් සසල වන අවස්ථා මාධ්‍යය මඟින් වාර්තා කරන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම අභියෝගයන්ට තිරසාර පිළියම් යෙදීම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පමණක් සිදුකළ නොහැකි බවද මහ නාහිමිවරු ප්‍රකාශ කර සිටිති.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර දෙවන පෑතිස් රජ දවස සිරිලක සම්බුදු සසුන පිහිටු වීමෙන් පසු ශාසනය නසනු පිණිස වරින් වර මහණ වෙස්ගත් අධර්මවාදීහු බිහිවූ බවත්, එම අවස්ථාවන්හි දී මහා පරාක්‍රමබාහු ආදී බොහෝ රජවරු, සසුන නැසූ මහණ වෙස්ගත් දුශ්ශීලයන් සසුනින් බැහැර කරවා, කතිකාවත් පනවා සසුන පිරිසුදු කර ශාසනාභිවෘද්ධිය ඇති කොට සම්බුදු සසුන බැබළවූ බවද මහා නාහිමිවරු ලිපියේ සඳහන් කර තිබේ.

මහනුවර රාජධානී සමයේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජහිමිගේ මූලිකත්වයෙන් උපසම්පදා ශීලය සියම් දේශයෙන් වඩමවා පිරිසුදු ථෙරිය භික්ෂූ ශාසනය යළි ප්‍රතිෂ්ඨාපනය කළ බවත්, එතැන් පටන් ද අවස්ථා කිහිපයක දී ශාසන විරෝධී ක්‍රියා ඉස්මතු වනු දුටු පාලකයින් ශාසනයේ චිර පැවැත්ම හා අභිවර්ධනය පිණිස ක්‍රියා කළ බවත් උන්වහන්සේලා එහි වැඩි දුරටත් සඳහන් කර ඇත.

භික්ෂු හැඳුනුම්පත සකස් කිරීමේ දී සාමණේර භික්ෂූන් වහන්සේ උදෙසා නම, මහණකම ලත් පාර්ශ්ව මූලස්ථානය, ආචාර්යයන් වහන්සේගේ නම හා ලිපිනය, ගිහි කල ජාතික හැඳුනුම්පත් ඇත්නම් එහි අංකය හා දිනය, මහණකමට ඇතුලත් වූ දිනය, ස්ථිර පදිංචි විහාරස්ථානයේ ලිපිනය වැනි කරුණු ඇතුළත් වීම වැදගත් බව උන්වහන්සේලා ලිපිය මගින් පෙන්වා දී තිබේ.

නම, මහණකම ලත් පාර්ශ්වය හා මූලස්ථානය, උපසම්පදා විනය කර්මයට සහභාගි වූ කර්මාචාර්යවරයන් වහන්සේ හා උපාධ්‍යායන් වහන්සේගේ නම හා ලිපිනය, උපසම්පදාව ලියාපදිංචි කළ දිනය, ගිහි කල ජාතික හැඳුනුම්පතක් ඇත්නම් එහි අංකය හා දිනය, උපන් දිනය, මහණ කමට ඇතුළත් වූ දිනය, ස්ථිර පදිංචි විහාරස්ථානයේ ලිපිනය උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේට හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී සැලකිල්ලට ගැනීම වැදගත් බව ද මහා නාහිමිවරු ප්‍රකාශ කරති.

සමස්ත සිල් මාතාවන් සඳහා හැඳුනුම් පත ලබා දීමේ දී නම, සිල්මාතාවක් වූයේ කවර ආරාමයක දී ද, ආචාර්ය සිල්මාතාවගේ නම, ගිහි කල ජාතික හැඳුනුම්පතක් ඇත්නම් එහි අංකය හා දිනය, උපන් දිනය, සිල්මාතාවක් බවට පත් වූ දිනය, ස්ථිර පදිංචි ආරාමයේ ලිපිනය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම යෝග්‍යය බව ද උන්වහන්සේලා ප්‍රකාශ කරති.