Print this Article


පහන් සිතක කවි

මගෙ පින්බර පියේ

පන්සලෙ මා අතරමංව සිටින විටදි පියේ
ගැටලු නිරාකරණය කොට සෙත සැලසූ පියේ
දිනෙන් දිනම ඔබෙ ගුණ කඳ දරා සිතින් පියේ
සැමදා මට ඔබ බලන්න අවසරයිද පියේ

මගේ පැතුම බුදු වෙන්නයි මගේ ආදර පියේ
යනෙනා ඒ ගමන් මගේ පිහිට වෙන්න පියේ
වරදින් මා මුදවාලා ඔවදන් දෙන පියේ
සැම භවයෙම පියා වෙන්න මගෙ පින්බර පියේ


බුදු ගුණ බිඳක්

දහම් ඔසු අපට දුන්
උතුම් වෙදැදුරාණන්
ලෙඩින් තොරවී ඉන්න
නිවන් මාවත පෙන්වූ
ගුරුන් වූ තුන් ලොවට
බුදුරදුන් සිරිපා නමදිමි


බුදු කරුණාව

මහ කරුණා ගුණයයි බුදු හිමි ළඟ තිබුණේ
සියලු සතුන් වෙතටයි එය නිති ලැබුණේ
රාහුල සේ ම සෝපාකත් එක සිතිනේ
කරුණා ඇසට සැම සතුනගෙ දුක දැනුණේ

වරද දුටු සැණින් අදරින් පෙන්නාලා
උසස් ගුණවතුන් සැම විට පසසාලා
තනතුරු බෙදුවෙ කුලගොත ගැන නො තකාලා
පිරිනිවනට වැඩියෙ තිලොවම සනසාලා


පොහොයදා

ගුවනින් ඇසෙන සදහම් නද ඉමිහිරිය
සවනින් දැනෙන මිහිරිය ගත සිසිලසය
වදනින් පවා සැමගේ හඬ පියකරුය
සතුටින් ගෙවී යන දිනයකි පෝදිනය

සඳකිරණ සමබරව ලොවට දෙන දිනයක්ය
උස් පහත් නෙක භේද දුරුවෙනා දිනයක්ය
දෙව්රමේ කසාවත සිත මැවෙන දිනයක්ය
පොහොයදා මනු සිතට අසිරිමත් දිනයක්ය


අවුරුද්දට අපි

අවුරුදු හෙළ සිරිත් රැකුමට ඇති එමට
අවුරුදු සුබ නැකත් ලද දිරියකි අපට
අවුරුදු කොහා නොපැමිණියත් ගම දෙසට
අවුරුදු කුමාරිය කැඳවා ගමු ගමට

දුරුකොට කුහක කම් දුර්මත බර පවට
ගුණවත් වෙමින් හද පුරමින් ගති සුමට
ළංනොම වෙමින් අවුරුදු කල රහ මෙරට
සම්පත සතුට ගෙන එමු තම අතු පැලට

කඳුළක් නෙතට යොමු නොමකර දබර වෙමින්
එකතුව ගමේකම රැකගෙන සමඟි දමින්
අඹුදරු සමඟ සැම පන්සල වෙතට යමින්
අවුරුදු සමය නිමකරලමු දැහැමි වෙමින්


චිරං ජයතු

දෑ සමන් කුසුමන් පිපී
බුදු සමිඳු අබියස මල් පිදේවා
මානයෙන් පිරි සිත් සතන් තුළ
මෙත් සිසිල් අම පැන් පිරේවා
මෝහයෙන් මුසපත්ව ඉදිවුණු
සාමයෙන් දම් රසින් ලෝසත
ජයතු! ජයතු! ජයතු! චිරං ජීවා !!!


දැහැමි දිවි පෙවෙත

පැවරෙන යුතුකමින් ගැළවී ඉඳ හොරට
වියරණ වදන් යොදමින් සැඟවෙයි යසට
පැතිරෙන මෝහයෙන් යන ගමනකි නොපිට
නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වනු කුමට

ඉසි කෝ මද මාන නිතරම සිරස වට
රිසි වූ දැහැමි දිවි ගැළවී යයි පිටට
විසි ඒ දවස රහතුන් වැඩි බුදු මඟට
දිසි නිසි සුවය සොයමින් යමු, ගමු සිතට


පසිඳුරු මුල සිඳලමු

‘මම’ යන ගසෙහි ‘පසිඳුරු’ කටුවැල් එතිලා
රස රුව පිරුණු මල් ඵල සරු ලෙස වැඩිලා
සිඳ බිඳ දමන්නට බැහැ රසයෙහි ලොබ සිතිලා
සිඳලිය යුතු එය යි මුල් හරි ලෙස සොයලා

‘පසිඳුරු’ රුකෙහි මා දුටු කටු ටික රැහැලා
දැමුවොත් යළිත් ඒවිනෙ දළු රිකිලි ද ලියලා
වදයක් වුවත් මුල සිඳලිය යුතු නොවී මුලා
බුදු හිමි දෙසූ දම් ගඟුලින් දමමුව මුල උගුලා


සුනීත හාමුදුරුවෝ

මෙත් කරුණා දහරින් සැනසූ සේක
සමිඳුන් එදා ඔහුගේ පින දුටු සේක
පුත මෙහි එන්න යනුවෙන් පැවැසූ සේක
පැවිදි වෙන්න මං පෙත හෙළි කළ සේක

රජගහ නුවර සියලුම කසළ ද අදිමින්
දිවිරැක ගත්තේ එදවස බෝ වෙහෙස වෙමින්
එනමුදු බුදු පියාගේ මහ කරුණාවෙන්
මඟඵල ලබා ගත්තා බුදු සසුන තුළින්


මව් ගුණ

දෙන්න ඔබ ගුණ වයන්නට ඉඩ, දිළෙන සිසි හද අම්බරේ
දුන්න ඔවදන්, රැඳී හදවත, පතුලෙ තවමත් දිග හැරේ
ඇතත් තවමත් රැඳී ඔබ අප දිනූ ඒ රන් මව් බිමේ
‘අම්මේ’ ඔබ ගුණ සදා සමරමි, තබා ඔබ හද පුදසුනේ

නැඟෙන හිරු ලෙස, තිරයි ඔබෙ ගුණ, මුදුයි එය, සොමි කැන් ලෙසින්
වටියි එය මුළු, ලොවට වැඩියෙන්, දිලෙයි නිති , ගජ මුතු ලෙසින්
විදුල අතු පතර ඇති රුකක් පතුරන සිසිල ලෙසින්
ඔබේ සෙවණෙහි විඳිමි සිසිලස, නිවන් දක්නා තුරු ඉතින්


නිරාමිස සතුටක්

පිය මැන ගිය විටදි පන්සල් බිම වෙතට
මහ සතුටක් දැනෙයි සන්සුන් වන සිතට
උවසුන් උවැසියන් යොමු වුණ බණ පොතට
මැව්වේ සොඳුරු දසුනකි දුටු දන නෙතට

මෙම සෑ රජුන් ඉදි කරනුව මුලට සිට
කටයුතු කරන්නට ලද සිත මදි ද මට
සැදැහැති දනන් මෙහි පැදකුණු කරන විට
ඇතිවෙයි නිරාමිස සතුටක් මගෙ සිතට