Print this Article


බෝසත් දරුවන්ට: නිශ්ශබ්දතාවය අගය කරමු

බෝසත් දරුවන්ට:

නිශ්ශබ්දතාවය අගය කරමු

පින්වත් දුවේ පුතේ,

හොඳ වචනයට මොන තරම් ශක්තියක් තිබෙනවාද කියා නන්දිවිසාල ගවයා ගැන කියවුණ කතාවෙන් අප ඉගෙන ගත්තා නේද? තිරිසන් සතුන් පවා හොඳ වචන කතා කරනවාට කැමැතියි. මිිනිසුන් වූ අප හොඳ වචන කතා කරනවා නම්, හොඳ දේ කියනවා නම් අපත් සමඟ ජීවත්වන අය මොනතරම් කැමැති වේවි ද?

ඇතැම් වෙලාවට අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා, අයියලා, අක්කලා අතර ප්‍රශ්න ගැටුම් ඇති වෙන්නේ පිට කරන වචන නරක නිසයි. අයහපත් නිස යි. ඒ නිසා පුංචි කාලේ සිට ම හොඳ වචන කතා කරන්න පුරුදු වෙන්න ඕනෑ. බුදුහාමුදුරුවෝ “සම්මා වාචා” යනුවෙන් පැහැදිලි කළේ එය යි.

කෙනෙක් හොඳ මගට ගන්නේත්, රවටන්නේත් ඇත්ත කියන්නේත් වචනයෙන් ම තමයි. වචනයෙක් තවත් කෙනෙක් රවටන ආකාරය ගැන බුදුහාමුදුරුවෝ ලස්සන කතාවක් කියා දී තිබෙනවා.

දරුවනේ, සමහර අය කට අරිනවාට පවා සමහරු බයයි. ඇයි වචනයක් පිටවුණොත් එය ‘ගූතභාණී” වචනයක් ම යි. ඒ කියන්නේ අසුචි වගේ පිළිකුල් සහගත වචන. දුර්ගන්ධය හමන වචන. සමහර වෙලාවට කෙනෙක් ඇණුම් පද කියනවා. ඒ අනෙක් අයගේ හිත රිදවන්නට. ඒවා අහගෙන සිටීමත් අප්‍රසන්නයි. බුදු හාමුදුරුවෝ ඒ වගේ වචන අනුමත කරන්නේ නැහැ.

”පුප්ඵභාණී” කියන්නේ මල් වගේ වචන කීමට යි. අනෙක් අයට ඇහෙන්නට හොඳ වචන, මල් වගේ වචන කතා කරනවා. වර්ණනා කරනවා. තමන් ළඟ නැති ගුණ වර්ණනා කරන වෙලාවට සමහර අයගේ හිසේ මලක් පිපුණා වගේ. ඒත් දුවේ, පුතේ, ඒ වගේ වචනවලින් අනෙක් අය රැවටෙනවා.

බුදුහාමුදුරුවෝ ‘මධුභාණී” යනුවෙන් තවත් වචන වර්ගයක් ගැන දේශනා කළා. මධු කියන්නේ මී පැණිවලට. ඒ වචන කනට හරිම මිහිරි යි. හරියට මී පැණි වගේ. එහෙම වචන කියන්නේ කීයෙන් කී දෙනා ද? එහෙත් දරුවනේ ඒ වගේ වචන ඇහෙන්නට තිබෙනවා නම්, ඒවාත් කවුරු හෝ රැවටීමට කියන වචනම යි. ඇතැම්විට කෙනෙකුගෙන් උදව්වක්, උපකාරයක් ගන්නට කියන වචන මධුභාණී වචනයන් ම යි. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මධුභාණී වචනයෙනුත් සිත රිදෙනවා කියලයි. උන්වහන්සේ මේ වචන එතරම් අගය කරන්නේ නෑ. අගය කරන්නේ මිතභාණි. ඒ කියන්නේ ප්‍රමාණවත් ව කතා කිරීම යි. කාගේ හෝ අඩුපාඩුවක් දැකලා ඒ ගැන කියා හැදෙන්නේ නැතිනම්, අහන්නේ නැතිනම් හොඳම දේ තමයි මිතභාණි. නිශ්ශබ්දව සිටීම. ධර්මයෙහි ගැඹුරට ගියවිට එය ආර්ය නිශ්ශබ්දතාවය ලෙස හැඳින්වෙනවා. එහිදී ධර්මය ම කතා කළ යුතුයි. වෙනත් කිසිම දෙයක් කතා නො කළ යුතුයි.

ඒ නිසා දරුවනේ අවශ්‍යතා වෙනුවෙන් පමණක් කට භාවිත කරන්නට ඕනෑ. එහෙම වුණොත් අපේ ජීවිතයට වටිනාකමක් දැනෙනවා. ඒ නිසයි මම මුලින්ම කීවේ හොඳට නරකට දෙකට කටම ය කියලා.

පින්වත් දරුවනේ, මේ වෙසක් කාලයනේ. පුළුවන් තරම් මිතභාණි වෙන්න කියලා අපි දරුවන්ට ආරාධනා කරනවා. වචනය පාලනය කර ගන්නට, හිත පාලනය කර ගන්නට, කය පාලනය කර ගන්නට අවශ්‍ය වෙන්නේ මොනවාද දන්නවා ද? ඒ තමයි ලෝක පාලන ධර්මතාවය වන ලජ්ජාව සහ භය. මේ ලෝකය කියන්නේ දුවේ පුතේ, වෙනස්වන දෙයක්. කාටද ලෝකය කියන්නේ? මේ ලිපි කියවන හැමෝට ම කියන්නේ ලෝකය කියලා. සමහර වෙලාවට ලිපි කියවන සමහරු ඉන්නේ එක එක ලෝකවල නේද? කෙසේ වෙතත් දරුවනේ

'ලුජ්ජති පලුජ්ජතී ති ලොකො'

කැඩෙන බිඳෙන වෙනස්වන නිසා ලෝකය කියනවා. විනාශ වෙන නිසා ලෝකය කියනවා. අප භෞතික ලෝකය දෙස බලමු. බුදුහාමුදුරුවන්ගේ වචනවල සත්‍යතාවය බලන්න දරුවනේ, මේ ලෝකය හැමදාම වෙනස් වෙනවා. විනාශ වෙනවා. පුංචි දරුවෝ ලෝක විනශයට බයයි නේද? අප පමණක් නො වෙයි. මුදල් තිබෙන, බලය තිබෙන අය ලෝක විනාශයට හරිම බයයි. ඒත් කාටවත් එය නවතන්නට නො හැකියි. සමහරු අසවල් දවසේ ලෝක විනාශ වෙනවායි අනාවැකි කියනවා. ඒත් බුද්ධ ධර්මය දන්න අප නම් ලෝක විනාශ ගැන හොඳින්ම දන්නවා නේද? එක තැනක ලැව් ගිනි. තවත් තැනක ගං වතුර. නාය යෑම්. තවත් ප්‍රදේශයකට නියගය. මේ විදිහට බැලුවා ම ලෝකය විනාශ වෙනවා. ලෝකය විනාශ වෙන්නට පටන් ගත්තේ කවදා ද? ඒ දරුවනේ ලෝකය හටගත් දවසේ ම යි.

යං කිඤ්චි සමුදය ධම්මං

සබ්බං තං නිරෝධ ධම්මං

යමක් හට ගන්නේ නම්, ඒ හටගත් වෙලාවේ සිටම විනාශ වෙනවා කියන එකයි බුදු වදන. හොඳයි මේ ලිපිය කියවන පුංචි දුවට පුතාට කීවේ ලෝකය කියලානේ. ඇයි අපට ලෝකය කියන්නේ?

අපේ මේ ජීවිතයත් හැම මොහොතෙම හැමදාම විනාශ වෙනවා. ලෙඩ වෙනවා. සම රැලි වැටෙනවා. දත් වැටෙනවා. මේවාට තමයි විනාශය කියන්නේ. බුදුරජාණන් වහ්සේ දේශනා කළේ බඹයක් පමණ වු මේ ශරීරයටත් ලෝකය කියල යි.

ඉතින් දරුවනේ, වෙනස්වන ලෝකයේ වෙනස් නො වන සිතක් සාදා ගන්නා ආකාරය කියා දෙන්නටයි බුදුසරණ පුවත්පතින් මේ උත්සාහ කරන්නේ.