Print this Article


ගතට සිතට විරේකයක් දෙන්න

ගතට සිතට විරේකයක් දෙන්න

" නිතර දුකින්, කණස්සල්ලෙන්, පසුතැවීමෙන් ඉන්නා පුද්ගලයින්ගේ ශරීරයෙහි සෛල වර්ධනය දුර්වල මට්ටමකින් සිදුවන බව අද විද්‍යාත්මකව තහවුරු කර ඇත. එසේ සෛල දුර්වල වීමේ ප්‍රතිඵලය විවිධ රෝගාබාධයන්ගෙන් පීඩනයට පත්ව අවසන් හුස්ම හෙළීමයි."

නිතරම තමන්ටත් අනුන්ටත් හිතකර දේ කරන්නට අධිෂ්ඨාන කර ගන්න. හොඳ දේ කරන අපි මල් කැකුළු වෙමු. හිරු රැසින් නෙළුම් මල් පිපෙයි. ඒ අනුව එදිනම පිපෙන මල් ඇත. හෙට අනිද්දා පිපෙන මල් ඇත. ටික කලක් ගත වී පිපෙන මල් ද ඇත. අපේ අඩුපාඩු හදාගෙන සුපිපි සුවඳවත් මලක් වෙමු.

මිනිසෙකුතුළ හොඳ මෙන් ම නරකද තිබෙන්නට පුළුවන. මේ මිනිසා නරකයි, පව්කරන්නෙක් යනුවෙන් දොස් කියා කිසිවෙකු ඉවත නොදැමිය යුතු ය. එබඳු අයටද අපි අනුකම්පා කළ යුතු වෙමු. අප තුළින් ද කලින් එබඳු වැරැදි තිබෙන්නට ඇත. අපේ ජීවිත අප හදාගත්තා සේ ඔවුන්ට ද තම අඩුපාඩු හදාගෙන වටිනා ජීවිත බවට පත්වන්නට අවස්ථාව ඇත. හොඳ, වටිනා චරිතයන් දුටු විට ඒ චරිතයන් තුළින් අපට ලබා ගත හැකි ආදර්ශ ගැන හිතන්න. එය අපේ ජීවිතයට එකතු කරගන්න බලන්න. නරක පුද්ගලයෙකු දුටුවහොත් ඒ ගතිලක්ෂණ තමා තුළ ඇත්දැයි බලන්න. සුළු වශයෙන් හෝ ඇත්නම් ඒවා ඉවත් කරගන්න. අප කරන හොඳ හෝ නරක දෙකට ම මූලික වන්නේ සිතයි.

පැරැණි වැරැදි ගැන කල්පනා කරමින් නොසිට ජීවිතය අලුත්කරගන්නට උත්සාහ කරන්න. ඔබ මෙතෙක් අන්ධකාරය තුළ සිටින්නට ඇත. ඔබ වැරැද්ද තේරුම්ගෙන හරිමගට පිවිසෙනවාත් සමග ම අඳුර නැසී ආලෝකය උදාවනු ඇත.

ලෝකයේ ඇති සියලු දුක් කරදරවලට හේතුව මිනිසා සිතන ක්‍රමයේ වැරැද්දයි.නිවැරැදිව හොඳ නරක දෙපැත්ත ම සිතා බලා කටයුතු නොකිරීම නිසා ඔබ නොයෙක් බාධක, කරදර මෙන් ම මානසික පීඩාවන්ට ද ලක්වනු ඇත. නිවැරැදි අවබෝධයෙන් කටයුතු කිරීම තුළින් ඔබටත් ලෝකයාටත් සැනසිල්ල උදාවනු ඇත. විසකුරු සර්පයන් දුටුවිට ඔවුන් මරා දැමීමට සමාජය පෙළඹෙයි. ඒ ඇයි? ඒ සතුන් ළඟ විස ඇති නිසා තමන් විසින් ම තමන්ගේ මරණය ළඟා කරගනු ඇත. අපි අප තුළ ඇති විසකුරු සිතිවිලි නිසා අපි අපම විනාශ කර ගනිමු. අපට හතුරුකම් කළ අයට අප සතුරුකම් නොකළ යුතු ය.

ඔවුන් දෙස මිත්‍රශීලී ව කරුණාවෙන් හා මෛත්‍රියෙන් බලන්න පුරුදු විය යුතු ය. ටික කලකදී ඔවුන් ඔබේ මිතුරන් බවට පත්වනු ඒකාන්ත ය. එය ඔබේ ගතටත්, සිතටත්, සුවයකි. නිතර දුකින්, කණස්සල්ලෙන් පසුතැවීමෙන් ඉන්නා පුද්ගලයින්ගේ ශරීරයෙහි ශෛල වර්ධනය දුර්වල මට්ටමකින් සිදුවන බව අද විද්‍යාත්මකව තහවුරු කර ඇත. එසේ ශෛල දුර්වල වීමේ ප්‍රතිඵලය විවිධ රෝගාබාධයන්ගෙන් පීඩනයට පත්ව අවසන් හුස්ම හෙලීමයි.

කරුණාව හා මෛත්‍රිය යනු සර්ව ජන වශීයකි. ඉතා කුඩා වෙළෙඳාමකින් තම ජීවිතය ආරම්භ කළ ලොව එක්තරා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකුගෙන් ඔබ මේ තරම් ධනවත් ව්‍යාපාරිකයෙකු බවට පත් වූයේ කෙසේ දැයි ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ කුමක්ද? මා හමුවීමට එන සියලු පාරිභෝගිකයන් මා පිළිගන්නේ වෙස් වළාගත් දෙවියන් ලෙසයි. මෙයින් අදහස් වන්නේ තමා පාරිභෝගිකයා ඉතා ගෞරවයෙන්, සතුටෙන් වටිනා තැනැත්තෙකු ලෙස පිළිගන්නා බවයි. බලන්න මේ දැකිම ව්‍යාපාරික ක්ෂේත්‍රයට මොනතරම් වැදගත් ද? මොන තරම් වටිනා පාඩමක් අපට පෙන්නුම් කරනවාද? "ඕනෑ නම් ගන්නවා එපා නම් යනවා. ඔබ බඩුගත්තේ නැහැ කියලා අපේ කඩේ වැහෙන්නෙ නැහැ.” සමහර අය පාරිභෝගිකයාට කතා කරන්නේ මේ ආකාරයටයි. ඔබ අන් අය සලකන්නේ කෙසේද? ඔබටත් අන් අය සලකන්නේ ඒ ආකාරයටයි. මෙහිදී අප සිතන පවිත්‍ර සිතිවිලිත්, කරුණාවන්ත වචනයත් ඉතා වැදගත්. මේ අයුරින් ඔබේ ජීවිතයේ යම් දුර්වලකමක් ඇත්නම් එය සිදුවන්නේ ඔබ සිතන ක්‍රමයේ වරදින් බව තේරුම් ගන්න. සිතන ක්‍රමය සකස්කර ගැනීමෙන් පුද්ගල හැසිරීම ද වෙනස් කරගත හැකියි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, වැනි සිතිවිලි වලින් අවුල්වන පවුල් ජීවිත ආදරය, මෛත්‍රිය, කරුණාව පරාර්ථකාමීත්වය වැනි චේතනා තුළින් සාමකාමී සැනසිලිදායක, සමගි සම්පන්න පවුල් ජීවිත බවට පත්වන අයුරු බලන්න.

අප අතර වැඩිදෙනා නිතර සිතන්නේ සාප කිරීම් වැනි සිතිවිලි ය. ලබා උපන් හැටි තමයි ඔය, කොච්චර කළත් එපමණ තමයි. මෙවැනි සිතිවිලි පුද්ගලයා පරිහානියට පත්කරයි. පෙර පව්කර ඉපදුන නිසා දැන් අප දුප්පත් වී සිටිනවා. යනුවෙන් සිතන අය මේ සමාජයේ බහුල ය. මේ සිතිවිලිවල දැඩිව එල්බගෙන සිටින විට ඔහුට දියුණුවක් ලබාගත නොහැකි ය. එයින් වන්නේ තම ඉදිරිගමනට බාධාකාරී නො පෙනෙන බලවේගයක් අප ඉදිරිපිට මවා ගැනීමයි. කර්මය වෙනස් කළ නොහැකියයි කියන අය අප අතර සිටිති. චේතනාව වෙනස් කළ හැකි නම් කර්මය වෙනස් කරන්න බැරි ඇයි? මිනිස් ජීවිත නවසිය අනූනවයක් නැතිකළ අංගුලිමාල චේතනාව වෙනස් කිරීම නිසා කර්ම විපාකය වළක්වා ගත් ආකාරය බලන්න. සමහර වෙනස් කළ නොහැකි කර්මද ඇත.

පුද්ගලයන් හා සම්බන්ධ පැරැණි එදිරිවාදිකම් අමතක කරන්න. විරේකයක් දීමෙන් ශරීරය පිරිසුදු කරගන්නාක් මෙන් සිතට ද විරේකයක් දෙන්න. ආතතිය ඇති කරන වේදනාකාරී සිතිවිලි නැති කර ගන්න. සොම්නස, සතුට ලබාදෙන සිතිවිලිවලින් සිත පුරවා ගන්න. ශක්තිමත් ප්‍රබල චින්තනයක් ගොඩනඟා ගන්න. ඒ තුළින් ආත්ම ශක්තියක් ගොඩනගාගන්න. ඉලක්කගතව ඊට අදාළ මානසික හා භෞතික පරිසරය සකසා ගනිමින් ඉදිරියට යන්න. ඔබට ජය නියතයි.