Print this Article


හිස්බවක් කුමට ද?

හිස්බවක් කුමට ද?

වියපත් වැඩිහිටියන් හා කුඩා දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල අද සමාජයේ සමහර අය වෙතින් දුරස්වන සෙයක් හැඟේ. මවුපිය දූදරුවන් අතර , දරුවා සහ වැඩිහිටියා පෙරට වඩා බොහෝ සේ ඈත් කර ඇත. අතීතයේ අපේ සමාජයේ දරුවාට නිසි රැකවරණය ලැබුණි. වැඩිහිටියන් ට ද නිසි ආදරය ගෞරවය ලැබුණි. ඒ ගුණ ධර්මයන් අපට උරුම වූයේ සම්බුදු දහමින් ලැබුණු ආභාෂය නිසා ය.

එදා අපේ මුතුන් මිත්තෝ විහාරස්ථානය ඇසුරු කළහ. සෑම පෝයකට ම සිල් සමාදන් වූහ. නිති බුද්ධ වන්දනාව සිදු කළහ. සතර බ්‍රහ්ම විහරණයෙන් යුතුව කල් ගෙවූහ. දැන් ඇතැම් පිරිස් ඒ මගින් බැහැරවන සෙයක් දිස් වේ. එය දැහැමි සමාජයකට සුදුසු නොවේ.

අද සමහර දරු දැරියන් ඇති දැඩි වන්නේ අතීතයේ තිබු පවුල් පසුබිම තුළ නොවේ. දෙමාපියන්ගේ, සීයාගේ, ආත්තම්මාගේ තිබු ආරක්ෂිත පරිසරයෙන් ඈත්ව ය. දරුවා ගැන සෙවීමට, මවුපියන්ට වෙලාවක් නැත. අමතර පන්ති යන දරුවා ගැන ගුරුවරයාට සොයන්නට කාලයක් නැත. අධ්‍යාපනයම දෙනු හැර ගුණ දහම් දරුවන්ට කියා දෙන්නට කෙනෙක් ද නැත. පවුලක් තුළ තිබෙන වටිනාකම දේ වන ආදරය නො ලබන දරුවාගේ ජීවිතය අයාලේ යයි.

තමන්ගේ අත්දැකීම් බාල පරපුරට කියා දෙන්නට අද වැඩිහිටියන්ට ඉඩකඩක් නැත. තාක්ෂණ මෙවලම් තුළ හිරවන දරුවා එහි ඇති සෑම දෙයක් ම අත්හදා බලන්නට සැරසෙයි. එහි ඇති සෑම දෙයක් ම විශ්වාස කරන්නට පෙළඹෙ යි. එහි දී මව, පියා හෝ නැතිනම් ගුරුවරයා කියන දෙයට කන්දීමට මැලිකමක් දක්වයි.

පැරැණි ගැමි සංස්කෘතියේ පවුල තුළ වූ සමගිය අද අප වෙතින් බොහෝ ඈතට විසී වී ගොස් ය. හොස්ස ළඟින් මැස්සා යන්නට බැරි තරුණ පරපුරකන් ඉතිරි වී ඇත. පරිහානිය ඉතා ශීඝ්‍රයෙන් සිදු වේ. ළමා කාලය පීඩාකාරී වී ඇත.

අද වියපත් බොහෝ දෙනාගේ එදා කුඩා කාලය ඉතා සොඳුරු ය. සැහැල්ලු ය. ඔවුන්ට නිවෙස්වලට ජලය තිබුණේ නැත. විදුලි පංකා, පහසු ගෘහ උපකරණ, තාක්ෂණ මෙවලම් නො තිබුණි. කඩා නිවසේ ඇති එක කාමරයක සියලු දෙනා ගුලි ගැසී වාසය කළෝ ය. ඒ නිවෙස් තුළ අඳුරක් කිසිවිටක නො තිබුණි. ආදරයේ සෙනෙහසේ ආලෝකයෙන් ඒ නිවෙස් බැබැළුණි. සැප විහරණයට හෝ සමාජ තත්ත්වය ලුබ ුබැඳ නො ගිය වැඩිහිටියා පවුලේ ආදරය, සෙනෙහස ගෞරවය මෙන් ම බුදු දහමට මුල්තැන දීමට නො පසුබට වූහ. එනිසාම ඒ ජීවිතය ලස්සන විය. පිවිතුරු විය. සැන්දෑවට නිවෙසට එක් රැස් වන ඔවුහු සියලු දෙනා තම තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගත්හ. වැඩිහිටියන් තම දරුවන්ට ජාතක කතා, නුවණ වැඩෙන බෝසත් කතා, ජන කවි, ජන කතා, ගැමි කතා කියාදුන් නිසාවෙන් ම දරුවන්ගේ ජීවිත එයින් හරවත් ලෙස පෝෂණය විය.

එහෙත් මේ සමාජ ක්‍රමය දැන් වෙනස් වී ගොස් ය. වැඩිහිටියා පවුල තුළ කොන්වීමක් දකින්නට ලැබේ. මේ විපතින් සමාජය මුදවා ගැනීමට නම්, ළමා මෙන් ම වැඩිහිටි සුරක්ෂිතතාවය සඳහා සමාජයේ සියලු දෙනාගේ අවධානය යොමු කිරීම වටී. ඒ වගේ ම අතීතයේ සුරැකි ඒ ගුණදම් කුඩා කල සිට ම දරුවාගේ සිත තුළ පෝෂණය කිරීම සහ කුඩා කල සිට දරුවාට බුදුදහම තුළින් නිති රැකවරණය ලබාදීම වහා කළ යුතුව ඇත.