Print this Article


අලුත් අවුරුද්දට අලුත් සිතිවිලි

අලුත් අවුරුද්දට අලුත් සිතිවිලි

හිමිදිරි උදයේ නව හිරු පායා තුරුලිය පිබිදී හිනැහෙනවා
දෙදහස් දහ අට වසරේ අවුරුදු කුමරුන් මෙලොවට පැමිණෙනවා
තෙරුවන් සරණින් දෙවි රැකවරණින් සුබසෙත සැමටම ඇතිවේවා
ජයවේ ජයවේ සිතන පතන දේ සිතු ලෙස නො අඩුව සරුවේවා

සිරිසර සිරිලක වසන්ත සමයේ පවත්වන බක්මහ සැණකෙළිය මෙ තරම් පොදු ජනමන රංජනය වන්නේ සිංහල ජාතික හා බෞද්ධ ආගමික වත් පිළිවෙත් අනුගමනය කරන නිසාම ය. මෙම ජාතික සැණකෙළිය පිළිබඳ දැනගත යුතු හා සංයුක්ත වන ප්‍රධාන විෂයයන් කිහිපයකි.

ජනතාව සොබාදහම සමඟ සංවේදී වීම,

නක්ෂත්‍ර විද්‍යාවෙන් මෙහෙයවීම හා කාර්ය සාධනය,

ජාතික කෙළි සෙල්ලම් දොරට වැඩීම,

බෞද්ධ සිරිත් විරිත් ක්‍රියාත්මක කිරීම,

ජාතික හා ආගමික සමඟිය තහවුරුවීම ආදි ලෙස ය.

ලාංකීය ජනතාව සොබා දහම සමඟ ඉතා සමීප වන උත්සව අතර අලුත් අවුරුදු උත්සවය ප්‍රධානතම වන බව අපට ප්‍රත්‍යක්ෂවන්නේ තම තමන්ගේ ගෙදරදොර වතුපිටි කෙරෙහි වෙනදාට වඩා අවධානය යොමු කරන නිසා ය. සඳ බැලීම, ගිනි මෙලවීම, කිරි ඉතිරීම, වැඩ ඇල්ලීම, පැළ සිටුවීම ,ගනුදෙනු කිරීම, ආදි බහු කාර්යවල දී සොබාදහම සමඟ සම්බන්ධ වන අතර, එම කාර්යවල දී වෙන් වෙන් ව ලබන ලාභ ප්‍රයෝජන මෙන්ම මානසික වින්දනය ද විවිධාකාර වන්නේ ය.

මිනිසාගේ අවිහිංසාවාදී වින්දනයට සොබාදහම වුව ද නතුවන වග අලුත් අවුරුදු උත්සව දිනවල දකින්නට පුළුවන. සරුසාර කෙත්වත් ගහ කොළවලින් ගන්නා ඵලදාවෙන්, නිවෙස්හි අටුකොටු, වට්ටි පෙට්ටි පිරෙන අතර කෙත්වත්, පිට්ටනි, හේන්, ළමා ළපටින්ගේ කෙළිසෙල්ලම්වලට තෝතැනි වැන්නේ ය. අඹ,දඹ, ජම්බු, පේර, කොස්, දෙල් ආදි පලතුරුවලින් ගස්වැල් බරවන්නේ සොබාදහමින් සත්ත්වයන්ට පිදෙන සම්පත් ලෙසිනි.

සූර්ය රාශි චක්‍රයේ ගමන්කොට මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාවට මූහුණපාන ජනතාව මෙහෙය වන්නේ නක්ෂත්‍ර විද්‍යාවෙනි. වසර දස දහස් ගණනකට පෙර පටන් පැවතෙන නක්ෂත්‍ර විද්‍යාව නිසා විශ්වයේ ක්‍රියාකාරිත්වය මිනිසාගේ පෞද්ගලික ජීවිතයට මෙන් ම පොදු සමාජ ජීවිතයට බලපාන අයුරු පිළිබිඹු කෙරේ. ඤාතීන් සමඟ නියමිත කාල පරිච්ඡේදයකට අනුව බාහිර හා අභ්‍යන්තර පවිත්‍රභාවයෙන් ගිනි මෙළවීමේ පටන් පිළිවෙලින් රැකී රක්ෂාවන්ට පිටත්වීම දක්වා ඉතා සුහදව, එක්වන් ව ක්‍රියා කිරීම දෛනික ජීවිතය තහවුරුවීමට ද අධිමානුෂික සුවය ලබා ගැනීමට ද හේතු වාසනාවන්නේ ය.

අනාදිමත් කාලයක පටන් දේශීය වශයෙන් පැවතෙන කෙළිසෙල්ලම් අලුත් අවුරුදු සමය තුළ කළඑලි බසින්නේ අපේ ජාතික උරුමයන්, ප්‍රකාශ කිරීම් වශයෙනි. රබන් පද ගම පුරා ඇසෙනවිට විශේෂයෙන් ළමා ළපටින් ඔන්චිල්ලා පැදීමට, අඹ ඇට පැනීමට, චක්ගුඩු සෙල්ලමට, ආදි බහුවිධ ක්‍රීඩාවලට එක්රැස් වන්නේ ඉතා සොම්නස් මනසිනි. කැකුණකෙළිය, ඔළිඳකෙළිය , දාං ඇදීම,බෙල්ලො දැමීම දැමීම, පැනීම, කොට්ට පොරය, කනාමුට්ටි ගැසීම ආදි කෙළිසෙල්ලම් ලාංකිකයන්ගේ අහිංසක විනෝදයත්, සමගියත්, කුසලතාවයත් චාම් පැවැත්මත් මොනවට ප්‍රකාශ වන්නේ ය.

අලුත් අවුරුදු සිරිත් විරිත් සියල්ල ම බෞද්ධ හා හින්දු ආගම් දෙකට සමීප සම්බන්ධතාවයක පවතින බැවින් පන්සල්, වෙහෙර විහාර, ආරාම, දේවාල ආදී පූජ්‍යස්ථාන ජනතාවගෙන් පිරී ඉතිරී යන අතර විශේෂයෙන් නොනගත කාලය තුළ වන්දනා මාන, යාතිකා ආදි ශාන්ති කර්මවලින් මහා සංඝරත්නයත්, හින්දු පූජක පක්ෂයත් ජනතාවට සෙත් පතති. ලබන්නා වූ වර්ෂයට ආශිර්වාද ලබා ගැනීමට බෞද්ධයෝ පන්සල් වෙහෙර විහාර වෙත පැමිණ ආගමික වතාවත් කොට මහා සංඝරත්නයට දැහැත් හා පුදපඬුරු පිළිගන්වා පසඟ පිහිටුවා වන්දනා කරති. මහා සංඝරත්න, මහානුභාව සම්පන්න පිරිත් කියා වසර පුරාවට ජීවන ගමන සාර්ථකවීමට, නිරෝගී වීමට භාග්‍ය වන්තවීමට ආශිර්වාද කරති.

වසරක් පසුකොට නව වසරකට පා තබන විට පරිසරය මෙන් ම චින්තනය ද, අලුත් විය යුතු බව සෑම දෙනාගේ ම අභිමතය වන අතර, ඒ සඳහා සූර්ය මණ්ඩලයේ පටන් සියලු ග්‍රහ මණ්ඩල ද අවට පරිසර ය ද ඇඳුම් පැළඳුම් ද, ආහාරපාන ද භාවිතයට ගන්නා ගෘහ භාණ්ඩ ද දෛනිකව භාවිත කළ සැම දේම අලුත් වන්නේ ය. එම අලුත් බවේ සංකල්පය අපට නිතැතින්ම ලැබී ඇත්තේ සොබාදහමින් සත්ත්වයාගේ මතු පැවැත්ම සඳහා ය. අලුත් අවුරුද්ද පැමිණීමට ආසන්න ව සෑම දෙනාගේ ම සිහියට නැගෙන්නේ “ආයුබෝවන් සුබ අලුත් අවුුරුද්දක් වේවා” යන ඉතා උතුම් සුභ ප්‍රාර්ථනාව යි.

ප්‍රාර්ථනාවක් සඵල වීමට පතන්නාගේ හා පැතුම් ලබන්නා අතර මානසික විවෘත භාවයක් තිබිය යුතු ය. පතන්නා තුළ පවතින සිල්වත් ගුණවත් භාවය හා අවංකත්වය මත ප්‍රාර්ථනයේ යථාර්ථ සඵලත්වය රඳා පවතින අතර, පැතුම් ලබන්නාගේ ගරුත්වය හා වාසනා මහිමය තිබිය යුතු වන්නේ ය. මෙම අලුත් අවුරුදු කාලය ඒ සියල්ල සම්පූර්ණව පවතින අතර, නිරෝගීභාවය, දීර්ඝායුෂ , වාසනාව, ශාන්තිය, ප්‍රාර්ථනාවෙන් ලැබෙන සම්පත්බව දැනගත යුතු වන්නේ ය.

අභිවාදන සීලිස්ස
නිච්චං වුද්ධාපචායිනො
චත්තාරො ධම්මාවඩ්ඪන්ති
ආයුවණ්ණො සුඛං බලං

සිල්වත්, ගුණවත්, වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ගුරුවරු, මව්පිය සහෝදර යන උතුම් අයට වන්දන මාන පුද සත්කාර කරන අයට ආයුෂ වර්ණය, සැපය, බලය ලැබෙන්නේ ය.

ලාංකික සිංහල බෞද්ධ ජනතාවට අලුත් අවුරුදු සිරිත් විරිත් අනුගමනය කොට එයම විශ්ව ශක්තියක් කරගෙන ජාතීන් අතර,ආගම් අතර, සමගිය, සමාදානය, සෞභාග්‍ය ලෝක සම්පතක් වශයෙන් ජාත්‍යන්තරයට ලබා දෙන්නට හැකි වන්නේ ය.

අලුත් අවුරුදු චින්තනය හුදු සංකල්පයක් පමණක් කර නො ගෙන සමාජ සංවිධාන නමැති අයෝමය ප්‍රාකාරයක් වශයෙන් රට,ජාතිය,ආගම, දහම, කරුණාව, දයාව,අවබෝධය, ආරක්ෂාව, පෝෂණය කරගන්නට උපයෝගී කරගන්නේ නම් අප අලුත් අවුරුදු උත්සව වෙනුවෙන් යොදන ශ්‍රම ශක්තිය අපතේ නො යන්නේ ය.

පුද්ගලයාගේ පවුලට ද පවුලෙන් අසල්වැසි ගමට ද, ගම් නියම් ගම්රාජධානි, රටට රටින්, දේශ දේශාන්තරයට ද අප මෙම වර්ෂ 2018 අලුත් අවුරුදු සැණකෙළියෙන් සාමය, සමඟිය. සම්පත් ගෙන යන්නට අදිටන් කළ යුතු වන්නේ ය.

ඔබ සැමට ඉතාමත් සුබ අලුත් අවුරුද්දක් වේවා.