Print this Article


පින් වැඩෙන බෝධි වන්දනාව - 07

පින් වැඩෙන බෝධි වන්දනාව - 07

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපට ඇතිවන බොහෝ කායික, මානසික පීඩාවලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය පිළිබඳව බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.

මෙත් වැඩීම

මම කයෙහි දුක් නැතිව සුවපත් වෙමි
මම සිතෙහි දුක් නැතිව සුවපත් වෙමි
මම සුවපත් වෙමි! මම සුවපත් වෙමි! මම සුවපත් වෙමි!

(සුවපත් වෙමි යන පදය විනාඩි කිහිපයක් මෙනෙහි කරන්න)

මා මෙන්ම මා කෙරෙහි අතිශයින්ම හිතවත් වූ
සිත් ඇති සියලුම සත්ත්වයෝ ම
කයෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සිතෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා!

ඔබට වඩාත් හිතවත් පිරිස (තම පවුලේ අයට) සිතින් අරමුණු කොට සුවපත් වෙත්වා යන පදය විනාඩි කිහිපයක් මෙනෙහි කරන්න.

මා මෙන්ම මා කෙරෙහි හිතවත් වූ සිත් ඇති සියලුම සත්ත්වයෝ ම
කයෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සිතෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා!

(ඔබට හිතවත් වූ පිරිස (ළඟම ඥාතින් සහ අසල්වාසීන් මිතුරන්) සිතින් අරමුණු කොට සුවපත් වෙත්වා යන පදය විනාඩි කිහිපයක් මෙනෙහි කරන්න)

මා මෙන්ම මා කෙරෙහි මැදහත් වූ සිත් ඇති සියලුම සත්ත්වයෝ ම
කයෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සිතෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා!

ඔබට හිතවත් වූ පිරිස (දුර ඤාතීන් සහ අසල්වැසි) සිතින් අරමුණු කොට සුවපත් වෙත්වා යන පදය විනාඩි කිහිපයක් මෙනෙහි කරන්න.

මා මෙන්ම මා කෙරෙහි අහිතවත් වූ සිත් ඇති සියලුම සත්ත්වයෝ ම
කයෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සිතෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා!

(ඔබට අහිතවත් වූ පිරිස විරුද්ධ පිරිස් ඇත්නම් පමණක් සිතින් අරමුණු කොට සුවපත් වෙත්වා යන පදය විනාඩි කිහිපයක් මෙනෙහි කරන්න.)

මා මෙන්ම සියලු සත්ත්වයෝ ම
කයෙහි දුක් නැතිව සුවපත් වෙත්වා!
සිතෙහි දුක නැතිව සුවපත් වෙත්වා!
සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා!

සියලු සත්ත්වයෝ ම සිතින් අරමුණු කොට සුවපත් වෙත්වා යන පදය විනාඩි කිහිපයක් මෙනෙහි කරන්න)

දේව ආරක්ෂාව සඳහා වූ ශාන්ති කර්මය

ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේට අරක් ගෙන සිටින්නා වූ කළු බණ්ඩාර දේවතාවුන් වහන්ස, මා/ අප විසින් සිදුකළ මේ බෝධි පූජාවේ පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මේ පින් මා/ අප විසින් පිරිනමන තුටු පඬුරක් ලෙස පිළිගන්නා සේක්වා. කළු බණ්ඩාර දේවතාවුන්වහන්ස, ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් සුවසේ නිවන් දැකීමට මේ පින් හේතු වේවා, එතෙක් නිදුක්ව නිරෝගිව සුවපත් වෙත්වා, ඔබ වහන්සේට පින් දෙන්නා වූ ඔබ වහන්සේගේ පිහිට බලාපොරොත්තු වන්නා වූ. . . . . නමැති මා හට/ අප හට පැමිණ ඇත්තා වූ සියලු දුක් පීඩා ඔබ වහන්සේගේ තේජානුභාවයෙන් දුරු කර මා හට / අප හට ශාන්තිය උදාකර දෙන සේක්වා! මාගේ/ අපගේ ප්‍රාණය ධනය රැකියාව ආරක්ෂාකර දෙන සේක්වා, මාගේ/ අපගේ ජීවිතයේ වැඩි දියුණුව සලසන සේක්වා, මා හට/ අප හට පිහිට වන සේක්වා, ඔබ වහන්සේගේ කරුණාව මා වෙත/ අප හට යොමු කරන සේක්වා, යහපත කරා යන මගේ/ අපගේ ජීවිතයට ආශිර්වාදයක් වී මඟ පෙන්වන සේක්වා.