Print this Article


අනුරාධපුරයේ පවුල් පන්දහසකට මිහින්තලා පුදබිමේ දී සහල් බෙදා දීමක්

අනුරාධපුරයේ පවුල් පන්දහසකට මිහින්තලා පුදබිමේ දී සහල් බෙදා දීමක්

ජනතාවට සහල් ප්‍රදානය කළ අයුරු සහ පැමිණ සිටි පිරිසෙන් කොටසක්

නියඟයෙන් පීඩාවට පත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් පන්දහසක් සඳහා සහල් ප්‍රදානය කිරීමේ උතුම් කටයුත්තක් මිහින්තලා රජමහා විහාරස්ථ පුද බිමේ දී පසුගියදා (01) සිදු කෙරිණි.

මිහින්තලය රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි, මිහින්තලය ජනපවුර සංවිධානයෙන් නියඟයෙන් පීඩාවට පත් ජනතාව සඳහා මිහින්තලය රතනසාර දහම් පාසල අබියස දී එම සහල් ලබා දෙන ලදී. මේ උතුම් ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දොළහක් පමණ නියෝජනය කරන පවුල් පන්දහසක් සඳහා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මේ සහල් ලබාදීමට කටයුතු කළා. විශේෂයෙන් නුවර කලාවියට කන්න කිහිපයක් වැස්ස නෑ. ඒ නිසා මේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය, මිහින්තලය විහාරස්ථානය, දළදා හාමුදුරුවන් බලා ගත්තේ මේ අයගෙ මුතුන් මිත්තෝ. ඒ අයගෙන් පැවැත ගෙන පිරිසක් තමයි මේ අය. අපට දන් දෙන්නේ මේ අය යි. කුසට ආහාරයක් සඳහා නිසි වේලක් මේ දවස්වල නෑ. ඒ නිසා මිහින්තලය ඉන්ධන පිරවුම් හලේ නන්දලාල් මහතාට මේ බව පැවසීමෙන් අනතුරුව ලක්ෂ විසි එකකට අධික මුදලක් වියදම් කර හාල් කිලෝ විසිපන්දහසක් පමණ බෙදා දීමට කටයුතු කළා.

ලංකාවේ දානපතීන්ගෙන් ඉල්ලීමක් කරනවා . මේ අහිංසක මිනිස්සු තමයි රටට බත සපයන්නේ. ඒ මිනිස්සු අප බලා ගත්තා වගේ අප දැන් ඒ අය බලා ගතයුතු වෙලා තිබෙනවා.

සිංහල අවුරුද්දට තව දින කිහිපයක් තිබෙනවා. ඒ නිසා පොල් ගෙඩියක් හෝ වියළි ආහාර දෙන්න පුළුවන්නම්, අපත් එක්ක සම්බන්ධ වෙලා. මේ සත්කාරයට දායක වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.