Print this Article


සීහළවත්ථු කතා: කර කොළ පිදූ පිනෙන් සිටු මැදුරක ලැබූ උපත

සීහළවත්ථු කතා:

කර කොළ පිදූ පිනෙන් සිටු මැදුරක ලැබූ උපත

අතීතයේ හෙළදිව “ගිරිවා” නම් ජනපදයකි. එහි, පිරිසුදු සීලය, ශාන්ත සිත් ඇති භාවනානුයෝගී භික්ෂුහු සත් නමක් විසූහ.

උන්වහන්සේලා දිනක් කිරිවෙහෙර සෑ රදුන් වහන්සේ වන්දනා කරනු පිණිස පාත්‍රා සිවුරු ගෙන පිටත් වූහ. අතර මගදී උන්වහන්සේලාට පිණ්ඩපාතයට කිසිවක් නො ලැබුණි. කුසගින්නේ පීඩිතව එක්තරා ගමකට වැඩිය හ. එහි වැඩි තෙරුන් වහන්සේලාට දුකසේ විසූ එක් මහලු ස්ත්‍රියක් කර කොළ තම්බා ඒ පැන් ඖෂධයක් වේවායි ප්‍රාර්ථනා කොට පූජා කළෝ ය.

පින් අනුමෝදන් කොට ඒ පැන් වළඳා සුවසේ නැවත සෑ වන්දනාවට පිටත් වුණි. ඇය නැවත කර කොළ කැඩීමට වනයට ගියා ය. දිරාගිය කොළ රොඩු අතර සිටි සර්පයෙක් දෂ්ඨකොට ඇය මරණයට පත්වූවා ය.

දඹදිව පාඨලී පුත්‍රයෙහි සත් කෝටියක් ධනය ඇති දඹදිව පාටලී පුත්‍රයෙහි සිටුවරයෙකුගේ , දේවියගේ කුසෙහි දියණියක් වී පිළිසිඳ ගෙන සුවසේ ඇතිදැඩි වුණා ය.

කලකට පසු අර භික්ෂුහු සත් නම මහා බෝධිය වන්දනා කිරීමට දඹදිව බලා පිටත්වූහ. දහසය වයසැති සිටු දියණිය සිටින පැළලුප් නුවරට පැමිණි ඒ තෙරුන් වහන්සේලා පෙරවරුවේ පිඬු පිණිස වීථියට පිවිසිය හ.

රූප සම්පත්තියෙන් යථෝක්ත වූ ඒ සිටු දුව උඩුමහලට නැග කවුළුවකින් වීථිය දෙස බලන කළ ශාන්ත ඉඳුරන් ඇති පි‍්‍රයශීලි වූ භික්ෂුන් වහන්සේ දකින්ට ලැබී ජාතිස්මරණ ඥානය (පෙර භවය දැනීම) ඇතිවිය. පෙර තමා මහලු ස්ත්‍රියක් ව සිටිය දී කර කොළ දන් දුන්නේ මේ භික්ෂූන් වහන්සේ නමට යැයි දැන ඕ දාසියක් යවා සිටු මැදුරට තෙරුන් වහන්සේට වඩින්නට ආරාධනා කරවී ය. “නැගණිය, අපි ආගන්තුකයෝ වෙමු. මේ රටට ආ ප්‍රථම වාරය මෙයයි. අදම මෙහි පැමිණි අප හඳුනන්නෝ මේ නුවර නැතැයි” තෙරණුවෝ කීහ. දාසිය ඒ බව සිටු දියණියට පැවසූ විට “තමා උන්වහන්සේ හඳුනනවා” යැයි කියා නැවත දාසිය පිටත් කරවී ය. දාසිය තෙරුන් වෙත ගොස් ‘ස්වාමිනි ඔබවහන්සේලා සිටු දුව නො හඳුනන නමුත් ඇය ඔබ වහන්සේලා හඳුනයි. එනිසා ඇයට අනුකම්පා පිණිස ඒ නිවසට වඩිනු මැනවැයි’ කී ය.

උන්වහන්සේලා ආරාධනාව පිළිගෙන නිවසට වැඩ අසුන්ගෙන ප්‍රණීත ආහාර වළඳවා පාත්‍රා සේදු පසු සිටු දුව මෙසේ කී ය.

”ස්වාමිනි, ඔබවහන්සේ බොහෝ දුර සිට පැමිණියේ ද? අතර මඟදී දුකට කරදරයට පත් නො වූයේ ද? ලංකාදීපයේ බුදු සසුන බැබළෙමින් පවතින්නේ දැයි ඇසී ය. “දියණිය, ඔබ තවම ලාබාල ය. නමුත් බොහෝ දුර රටක තිබෙන ප්‍රවෘත්ති විචාරන්නේ ය. එසේ ඔබ කරුණු සොයන්නේ මන්ද?”

”ස්වාමිනි, මම පෙර ආත්මයෙහි ලංකාද්වීපයේ විසුවෙමි. එක් ගමක දී කර කොළ තම්බා දානය සඳහා පූජා කළෙමි. නැවත කර කොළ කඩන්නට වනයට ගිය විට දී සර්පයෙකු දෂ්ඨ කොට මා මිය ගියා ය. මේ සිටු කුලයේ ඉපිද සියලු සම්පතින් යුතුව වැඩෙමි. ලුුණු නැති, තෙලෙහි බැඳීමක් නැති කර කොළ දනට පූජා කළ ද, පිළි ගැනීමට යෝග්‍ය තැනදී එය පුජා කළ බැවින්, මම මේ සැපතට පත්වූයෙමි. ශ්‍රද්ධා සිතින් දෙන ලද ස්වල්ප වූ දානයක් සාරවත් කුඹුරක වැපිරූ ධාන්‍යමෙන් මහත්ඵල උපදවනු ඇතැයි” කී ය.

ඉන්පසු මහාබෝධි වන්දනා කිරීමට එක් එක් නම සඳහා රන් මල්, සුවඳ කුඩු, සුවඳ විලවුන්, පහන්, තෙල් ආදිය පූජාවට අවශ්‍ය දේ සපයා දී තෙරණුවෝ ගැල්හි නංවා ආවතේවකරුවන් සමඟ පිටත් කරවී ය. මහා බෝධිය වැඳ නැවත ඒ නුවර පැමිණි භික්ෂූන් වහන්සේ එහි ම නවතාගෙන ජීවිතාන්තය දක්වා උපස්ථාන කළෝ ය. උන්වහන්සේ සත් නම රහත් ඵලයට පත්ව පිරිනිවිණ. සිටු දියණිය බොහෝ පින් කොට දෙව්ලොව ඉපදුන බව සඳහන් වේ.