Print this Article


 බුදුදහම හොඳ නරක මනින හැටි

බුදුදහම හොඳ නරක මනින හැටි

" සියලු ධර්මයෝ සිතෙහි ආධිපත්‍යයට යටත් වෙති. "මහණෙනි , වැඩිදියුණු නොකිරීමෙන් මහත් වූ අනර්ථය සිදු කෙරෙන කරුණු වලට ද වැඩිදියුණු කිරීමෙන් මහත් වූ අර්ථය සිදුවෙන කරුණු වලට ද සිත ම ප්‍රධාන වේ. සියල්ලට මනස ප්‍රධාන වේ. එතරම් ප්‍රධාන වූ වෙනත් එකම ධර්මයක් මම නො දකිමි”."

හොඳ නරක යන මිනිස් කල්ක්‍රියාවන් අර්ථ ගන්වමින් බුදුසමය තුළ භාවිත වී ඇති ව්‍යවහාරයන් රාශියකි. පුඤ්ඤ – පාප, කුසල – අකුසල යන යෙදුම් මේ අතර ප්‍රධාන වේ. එම අර්ථයෙන්ම සාර – අසාර, සාධු - අසාධු, සාවජ්ජ – අනවජ්ජ, ධම්ම – අධම්ම, කරණීය- අතරණීය, සුක්ක – තණ්හ, සුක්කත – දුක්කත යනාදී ව්‍යවහාර රාශියක් හොඳ නරක හැඳින්වීම සඳහා යෙදී තිබේ. මිනිස් කල්ක්‍රියාවන්ගෙන් කුමක් සාවද්‍ය වන්නේද? කවර පදනමක් මතද? කුමක් නිරවද්‍ය වන්නේද? කවර පදනමක් මතදැයි කෙරෙන අර්ථදැක්වීම් ඉතා පැහැදිලිව බුදුසමයෙහි දැක ගත හැකි ය.

සදාචාරය මෙන් ම දුරාචාරය පිළිබඳව ද කරුණු පැහැදිලි කිරීමේ දී බුදුසමය නිබඳව එකී ක්‍රියාවන්ට පාදක වන චේතනාව පිළිබඳව අවධානය යොමු කරයි. ඒ අනුව හොඳ ක්‍රියාවට, කුසලයට මුල්වන්නේ අලෝභයයි. ලෝභයෙන් ගිජුකමින් තොර බවයි. අද්වේශයයි. ද්වේශයෙන්, පටිඝයෙන්, මෝහයෙන්, මුලාවෙන් තොර බවයි. එකී චේතනාවෝ කුසල පක්ෂයට අයත් වෙති. යම් ක්‍රියාවකට අකුසල චේතනාවන් පාදක වී තිබේ ද එය නරක ය. අකුසල ය. මෙම අර්ථයෙන් ‘මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. කයින් වචනයෙන් හා සිතින් සිතා මතා ක්‍රියාවෝ කරනු ලැබෙත්” යැයි වදාරන ලදී.

සිතක මූලිකාංගය

චේතනාව අනුව ක්‍රියා අගය කරනු ලබන්නේ චේතනාව සිතෙහි මූලිකාංගය වන බැවිනි. ලෝභ, ද්වේශ, මෝහාදී චේතනාවන් අකුසල මුල ලෙස හා අලෝභ, අද්වේශ, අමෝහ යන චේතනාවන් කුසල මුල ලෙස ද දක්වන බුදුසමය ඒ පිළිබඳව අවදිකමකින් යුක්තවීම සම්මා දිට්ඨිය, නිරවද්‍ය වූ දැක්ම ලෙස හඳුන්වයි. එසේම එකී කුසලා කුසලයන් තමන් විසින් ම ඇති සැටියෙන් දැන දැකගත යුතු යැයි ද උගන්වයි. සිත විසින් ලොව ම හසුරුවනු ලැබේ. සියලු ධර්මයෝ සිතෙහි ආධිපත්‍යයට යටත් වෙති. මහණෙනි “වැඩිදියුණු නොකිරීමෙන් මහත් වූ අනර්ථය සිදු කෙරෙන කරුණු වලට ද වැඩිදියුණු කිරීමෙන් මහත් වූ අර්ථය සිදුවෙන කරුණු වලට ද සිත ම ප්‍රධාන වේ. සියල්ලට මනස ප්‍රධාන වේ. එතරම් ප්‍රධාන වූ වෙනත් එකම ධර්මයක් මම නොදකිමි”. සොරෙකු තවෙකෙකුට කරන අයහපතට වැඩි අයහපතක් නරකට යොමු වූ සිත විසින් සිදුකරන්නේ ය. සියල්ලටම මනස ම ප්‍රධාන වේ. පූර්වංගම වේ. ඉඳින් පවිටු මනස මුල්කොටගත් කියුම් කෙරුම් වේද එයින් දුකම උපදවන්නේ ය. දුකම ඒ පසුපස එන්නේ ය. ගොනු අනුව ම එන රියසක මෙනි . ඉදින් ප්‍රසන්න මනස මුල්කොටගත් කියුම් කෙරුම් වේද එයින් සැපතම උපදවන්නේ ය. කෙනකු පසුපස එන හෙවනැල්ල මෙනි.

හොඳ නරක ක්‍රියාවන් ඇගයුම් කිරීමේ දී ඒවායේ අධ්‍යාත්මික පදනම මෙන්ම ඵල විපාක පිළිබඳව ද බුදුසමය ගැඹුරු අවධානයක් යොමු කරයි. යම් ක්‍රියාවක් අවැඩදායක ද, දුක් උපදවයි ද, අහිත පිණිසම වේද එය නරක ය. යම් ක්‍රියාවක් වැඩදායක වේ ද, සැප උපදවයි ද, හිත පිණිසම, වේ ද එය හොඳ ය. මෙම අර්ථයෙන් යම් ක්‍රියාවක් අරභයා විධිමත් ප්‍රත්‍යවේක්ෂණයෙන් ක්‍රියාකොට එය හොඳ හෝ නරක ලෙස නිශ්චය කරනු පිණිස බුදුසමය මඟපෙන්වන අවස්ථා රාශියකි.

මානසික පදනම

‘කාලාමයෙනි ලෝභය අකුසල යැයි, ද්වේශය අකුසල යැයි, මෝහය අකුසල යැයි ඔබ විසින් ම නිදහස් චින්තනය විමංසනය තුළින් දත යුත්තේ ය. එසේ ම, ලෝභය අහිත පිණිස, දුක් පිණිස වන්නේ ය. ද්වේශය අහිත පිණිස, දුක් පිණිස වන්නේ ය. මෝහය අහිත පිණිස, දුක් පිණිස වන්නේ යැයි ඔබ විසින් ම නිදහස් ව විමසුම්ශීලිව දත යුතු ය. අලෝභය, අද්වේශය, අමෝහය සැප පිණිස හිත පිණිස වේ යැයි ඔබ විසින් ම දත යුතු ය.” මෙම බුද්ධ වචනය අවශ්‍යයෙන් ම කුසලා කුසල ධර්මයන්ගේ මානසික පදනම මෙන්ම ඵල විපාක ද සලකා බලා ඒවා ඇගයුම් කිරීමට මඟපෙන්වයි.

බුදුදහම වඩාත් ප්‍රකටව ඇත්තේ හේතුඵල දහමක් ලෙස ය. හේතු ප්‍රත්‍ය ඇතිකළ ඇතිවන්නා වූ සියල්ල හේතු ප්‍රත්‍ය නැතිකල නැතිවන්නේ යැයි බුදුරජාණන් වහන්සේ නිබඳව පැහැදිලි කළහ. ඒ අනුව හොඳ නරක ක්‍රියාවන්ගේ හේතු ප්‍රත්‍යාකාරය බුදුසමය දකී. කුසල ධර්මයෝ අලෝභාදී කුසල මූලයන් හේතු කොටගෙන ම උපදිත්, අකුසල ධර්මයෝ ලෝභාදී අකුසල මූලයන් හේතුකොට ගෙනම උපදිත්, එසේ ම කුසල ධර්මයෝ සැපත, යහපත, හිත සුව උදාකරත්, අකුසල ධර්මයෝ විපත, අයහපත,අහිත, දුක උපදවත්. මෙසේ හේතුවත් ඵලත් පාදක කොටගෙන හොඳ හෝ නරක ක්‍රියා නිශ්චය කළ යුතු ය. කර්ම ඵල පිළිබඳ බෞද්ධ ඉගැන්වීමෙහි පදනම වන්නේ ද මෙකී චින්තනයයි.

දුකසැප

‘යම් ක්‍රියාවක් (කර්මයක්) නිසා පසුව එහි ප්‍රතිඵල වශයෙන් තැවීමට (දුක්වීමට) සිදුවන්නේ ද එය නරකය (න සාධු) යම් ක්‍රියාවක් නිසා පසුව තැවීමට නොව සතුටුදායක, සුවදායක ප්‍රතිඵල භුක්තිවිඳීමට හැකි වන්නේ ද එය හොඳ ය. මේ වූ කලී වඩාත් නිදහස්ව සාධු (හොඳ) අසාධු (නරක) චර්යාවන් ඒවාට අදාළ ප්‍රතිඵල අනුව නිශ්චය කෙරෙන දේශනාවකි. පව් කළ තැනැත්තේ මෙලොව ද, තැවෙයි. පරලොව ද තැවෙයි, ඒ ඔහුගේ ම පාපයෙහි දුසිරිතෙහි විපාක වශයෙනි. හෙතෙම මා විසින් පව් කරන ලද්දේ යැයි දුගතිගාමී වූයේ බෙහෙවින් ම තැවෙයි. පින් කළ තැනැත්තේ මෙලොව ද, සතුටුවෙයි. පරලොව ද සතුටු වෙයි. මා විසින් පින් කරන ලද්දේ යැයි බෙහෙවින් සතුටුවෙයි. ඒ ඔහුගේ පිනෙහි ප්‍රතිඵල වශයෙනි. මෙම බුද්ධාවවාදයන් ප්‍රජාව නරකින් මුදවා හොඳ වෙත යොමු කිරීම පිණිස ම වදාරන ලද්දේ ය.

මේ අනුව පව් කරන්නා විසින් නැවත නැවතත් එය නොකළ යුතු ය. පවෙහි වරදෙහි ඇලුම් නොකළ යුතු ය. පව් දුක් උපදවන්නේ ය. පින් කරන්නා විසින් නැවත නැවතත් එය ම කළ යුතු ය. පින සැප උපදවන්නේ යැයි පෙන්වා දෙන ලදී. ප්‍රජාව නරකින් මුදවා හොඳ ප්‍රගුණ කරවීමෙහි ලා බුදුසමය මූලික උනන්දුවක් දක්වයි. වඩාත් විමසුම්ශීලිව අනුරූප ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් සදාචාර දුරාචාර නිගමනය කළ යුතු බව පෙන්වා දෙයි. සිහි නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට කයින්, වදනින් හා සිතින් ක්‍රියා කළ යුතු යැයි උගන්වයි. සුව ඵළවන ක්‍රියාව ම යහපත් ය. දුක් එළවන ක්‍රියාව අයහපත් යැයි සලකා ගැන්මට අනුශාසනා කරයි.

අනුරූප ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් හොඳ නරක ක්‍රියා ඇගයුම් කිරීමේ දී බුදුසමය ස්වාර්ථය මෙන් ම පරාර්ථය පිළිබඳව ද සමබර අවධානයක් යොමු කරයි. ඒ අනුව හුදෙක් තමාට අවැඩ අහිත පිණිස පවත්නා ක්‍රියාව මෙන් ම අනුන්ට අහිත අවැඩ පිණිස පවත්නා ක්‍රියාව ද නරක යැයි උගන්වයි. තමන් අනුන් යන දෙපක්ෂයටම හිත වැඩ සලසන ක්‍රියාව හොඳ සේ සලකා ගනී.

බුද්ධ දේශනාවට අනුව ලෝකයෙහි සිව් ආකාර වූ පුද්ගලයෝ දක්නා ලැබෙත්.

01. තම හිත සුව ගැන සලකන එහෙත් අනුන්ගේ හිත සුව ගැන නොසලකන්නෝ. (ආත්මාර්ථය ගැන පමණක් සලකා ක්‍රියාකරන්නෝ. පරාර්ථය නොසලකන්නෝ)

02. අනුන්ගේ හිත සුව ගැන සලකන එහෙත් තමා හිත සුව ගැන නොසලකන්නෝ.(පරාර්ථය ගැන පමණක් සලකා ක්‍රියාකරන්නෝ, ආත්මාර්ථය නොසලකන්නෝ)

03. තම හිත සුව ගැන මෙන්ම පර හිත සුව ගැන ද නොසලකන්නෝ. (ආත්මාර්ථය මෙන්ම පරාර්ථයද නොසලා ක්‍රියා කරන්නෝ)

04. තම හිත සුව ගැන මෙන්ම පර හිත සුව ගැනද සලකා කටයුතු කරන්නෝ. (ආත්මාර්ථ පරාර්ථ යන උභයාර්ථය ම සලකා ක්‍රියා කරන්නෝ)

මෙයින් සිව්වැනි තලයට අයත් වන්නෝ ම ශ්‍රේෂ්ඨ වෙති. හොඳ නරක ඇගයුම් කිරීමේ දී බුදුසමය ඉහත කී උභයාර්ථය දෙසම බලයි. යම් ක්‍රියාවක් තමන්ට හානිකර වන්නේ ද අනුන්ට හානිකර වන්නේද දෙපක්ෂයටම හානිකර වන්නේ ද එය අකුසලයකැයි සලකා ගත යුතු ය. යම් ක්‍රියාවක් තමා අනුන් යන උභය පක්ෂයටම සුව සලසයි ද එය කුසලයකි. බුදුසමයෙහි එන අත්තුපනායික ධර්ම පර්යාය ද මෙකි උභයාර්ථයම සලකා බැලීමේ උපදේශය ඉදිරිපත් කරයි.