Print this Article


අද කළ යුතු දේ හෙටට කල් නො තබමු

අද කළ යුතු දේ හෙටට කල් නො තබමු

“අපායට යන්නට වුණත් පමා නො වී යන්නට ඕන”යි අපේ ජනවහරේ කියමනක් පවතිනවා. අපාය කියන්නේ දුක් සහිත කටුක තැනක් කියලයි අප කවුරුත් දැන ගෙන තිබෙන්නේ. අපේ ධර්මයේ හැටියට අප නිතර ම පිනට දහමට යොමු වන්නේ ඒ අපායෙන් මිදී සසර ගත කරන්නට යි.

ඉතින් මේ කටුක දුක් සහිත අපායට යන්නට වුණත් ප්‍රමාද වීම ඒ දුක තවත් දැඩි වෙන්ට හේතු වෙනවා කියන එක තමා ඒ ජනවහර අනුව ප්‍රකාශ වන්නේ. ඒක එහෙම වුණත් අපි හැම විට ම අපට පැවරෙන වගකීම් ඉටු කිරීමට යාමේ දී දකින දේ තමා එය කල් දමමින් කාලය මැරිම. මේ නිසා අපි හැමදාමත් පරදිනවා. ජය ගන්නේ වේලාවට කලාවට තමන්ගේ වගකීම් යුතුකම් ඉටු කරන තැනැත්තා යි. එය එක ආගමකට දහමකට පමණක් සිමා වූ කරුණක් නොවේ. විශ්ව සාධාරණ මතයක්. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා අද කළ යුතු දේ අද ම ඉටු කිරීම වැදගත් කියන මේ කරුණ.

“අජ්ජේව කිච්චං ආතප්පං - කො ජඤ්ඤා මරණං සුවෙ” “අද අද එයි මරු පින් කර ගන්නේ” කියලා අපේ පැරණි කවි පදයකුත් තිබෙනවා. ඒ මුලින් කී බුදුවදනේ සරල අදහස ම යි. බුදුරජාණන් වහන්සේ එහි දී පෙන්වා දෙන්නේ අද කළ යුතු දේ කල් දැම්මොත් හෙටක් කියලා දවසක් පිළිබඳ මේ අස්ථිර ලෝකයේ කාටවත් කියන්ට බැරි නිසා ඒ පුද්ගලයාට තමන්ගෙන් කෙරෙන්ට ඕන කරන කාර්ය ඉටු කර ගන්නට නො ලැබී මහත් දුකකට පත් වීමට හොඳට ම ඉඩකඩ ඇති නිසයි. කොපමණ තරමකට අප කළ යුතු කාර්යය පිළිබඳ ඉක්මන් විය යුතු වෙනවා ද කියන කරුණ උපමාවකින් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ “හිසේ ගින්නක් ඇවිලුණු කෙනෙක් ඒ ගින්න නිවා ගන්නට මොන තරම් නම් උත්සාහවත් වෙනවා ද? ඒ වගේ ම හැම අයෙක් ම තමන් ඉදිරියට පැමිණෙන මාරක බැම්මෙන් අත මිදෙන්නට නම් ඉක්මන් වී ක්‍රියා කළයුතු වෙනවා” යනුවෙන් දේශනා කර තිබෙනවා.

“අප්පමත්තෝ පමත්තේසු- සුත්තේසු බහු ජාගරො අබලස්සං ව සීඝස්සො හිත්වා යාති සුමෙධ සො” මේ පැහැදිලි කරන්නේ කුමක් ද යන්න අපි බලමු.

මෙය තවදුරටත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ අලසව ක්‍රියා කරන අය අතර ජීවත්වන, අලසබවින් මිදුණු පුද්ගලයා කටයුතු කරන්නේ කොයි වාගේ ද කියනවා නම් කම්මැලිකම නිසා හරි, තමන්ගේ පාදයේ කොර බවක් නිසා හරි, මහලුකම නිසා හරි, වේගයෙන් දුවන්ට බැරි අශ්වයෙකුත් ඒ තත්වයෙන් මිදුණු ජවසම්පන්න අශ්වයෙකුත් අශ්ව තරඟයට යොමු කළහම දෙවැනි කී ජවසම්පන්න උද්‍යෝගය මත අශ්වයා අර දුබල අශ්වයා පරදවා ජයග්‍රහණය කරනවා වගෙයි. කම්මැලි බව දුරු කළ අය තමන්ගේ අරමුණු කර ගත් සමෘද්ධිය කරා යොමු වෙනවා කියන මේ කාරණය යි මෙහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. මෙහි දී බුදුරජාණන් වහන්සේ මේ කුසීත බව උපමා කරන්නේ කෙලෙස් සහිත බවට යි.

අප ජීවිතය හැම තත්පරයක් ම ගත කරන්නේ කෙලෙස් නින්දට වැටිලා. කුසල කර්මයන්හි යෙදීම, බණ භාවනා පිළිවෙත් පිරීම කල් දමමින් තමා කටයුතු කරන්නේ. එහෙම වුණත් එය අපට වැටහෙන්නට පටන්ගන්නා අවස්ථාවක් තිබෙනවා. ඒ අපේ කායික හා මානසික ශක්තීන් දුබල බවට පත් වෙන කොට. ඒ කියන්නේ අප වයසට පත් වෙනකොට. මෙයට හොඳම නිදසුන තමා අපේ පන්සල්වල බණමඩුවේ පොහොය දවස්වල දක්නට ලැබෙන දර්ශනය. ඔබ හැමදෙනාම කල්පනා කර බලන්න මේ කාරණය. කුමක් ද? කියන එක. පෝය දවසට අපේ පන්සල්වල ධර්මශාලා පිරිලා පවතින්නේ කාගෙන් ද? වයස්ගත වූ උපාසිකාවන්ගෙන්. මෙය පැහැදිලි සත්‍යයක්. සීමිතව ඉන්නවා නම් පුරුෂ පක්ෂයේ අයෙක්. ඒ අයත් වයස්ගත වූ තත්වයෙන් පසුවන අය යි. ස්වභාවයෙන් ම කාන්තා පක්ෂය වයස්ගත වනවිට හැම අතින් දුබල වෙනවා. මේ වෙන කොට සසර ගොරබිරම් බව වඩවඩාත් දැනෙන්ට පටන්ගන්නවා. එහෙම වුණත් ඒ වෙනකොට තමන්ගේ ශරීරය තමන්ට අවසඟ යි. ඇහැ පෙනෙන්නෙත් නැහැ. කන හරියට ඇහෙන්නෙත් නැහැ. ඉතින් දැන් අමුතු ඉන්ද්‍රිය පාලනයක් අවශ්‍ය නොවන තරමට ඒවා තමන්ට අවසඟ යි. ඒවාත් ඉබේ ම පාලනය වෙලා වගෙයි දැනෙන්නේ. ඉතින් මේ වෙනකොට තමා ධර්මානුකූල පිළිවෙතට යොමු වන්නේ. එහෙම වුණත් එය සාර්ථකව කර ගැනීමට අර අබල දුබල ජරපත් අශ්වයාට මෙන් තමන්ට අවස්ථාව සැලසා ගැනීමේ ශක්තියෙන් තමන් ඈත් වෙලා දුබලබවට පත්වෙලයි ඉන්නේ. මෙහි ඇත්ත කථාව කුමක් ද? තමන්ගේ අනුවණ කුසීත බව නිසා, සසර ගමන කෙටි කරගැනීම සඳහා අවශ්‍ය මාවත හඳුනා ගැනීමට උනන්දු නො වී දිනෙන් දින ඒ සියල්ලක් කල්දැමීම නිසයි මෙය සිදු වී තිබෙන්නේ. ඉන්ද්‍රිය ශක්තිමත්ව පවතින වේලාවේ ඉන්ද්‍රිය පාලනය අවශ්‍ය යි. ඒ වේලාවේ විනෝදයට, මතට, සල්ලාල ජිවිතයට ලජ්ජා භය කියන මේ ලෝක පාලක ධර්මතා කෙරෙහිවත් යොමු නො වී කටයුතු කරලා තිබෙනවා වෙන්නට පුළුවනි. කෙලෙස් නින්දට වැටිලයි ඉන්නේ. කළයුතු ධර්මානුධර්ම පිළිවෙත් කල්දැමීම නිසයි මේ තත්වය ඇති වී තිබෙන්නේ.

එහෙම වුණත්, මේ කෙලෙස් නින්දෙන් අවදි නො වී සිටින ලෝකයේ තවත් අයෙක් මේ කෙලෙස් ස්වභාවය නිවැරදිව තේරුම් ගන්නවා. ඒ අය බුදුරජාණන් වහන්සේ හඳුන්වා දෙන්නේ කෙලෙස් නින්දෙන් අවදි වී මේ පියවි ලෝකයේ පවතින සැබෑ තත්වයෙන් තේරුම් ගෙන ක්‍රියා කිරීමට උනන්දුවන තැනැත්තා විදිහට යි. ඒ සඳහා ඔහු කරන්නේ කුමන ක්‍රියාවක් ද? ඔහු ඒ සඳහා සැබෑ දහම අවබෝධ කර ගැනිමට උත්සාහ කරනවා. ඒ සඳහා ධර්මය කියා දෙන තැන් සොයා ගෙන යනවා. එහෙම නැතිනම් දහම් පොතපත බලනවා. එහෙමත් නැතිනම් ධර්මශ්‍රවණය කරන්නට යොමු වෙනවා. ඒ විදියට ධර්මය ගැන යාන්තමින් අවබෝධයක් ලබා ගන්නා පුද්ගලයා නො පමාව ධර්මානුකූලව ජිවත් වීමට අවශ්‍ය පිළිවෙත් පුරනවා. බණභාවනා කටයුතුවල නිරත වෙනවා. මේ ආමිෂ ලෝකයේ ඇති ව්‍යාජ ස්වභාවය හරි හැටි තේරුම් ගන්නවා.

මේ අනුව ලෝකයේ ජිවත්වන චරිත දෙස බලනවිට මේ ආකාරයෙන් දෙයාකාරයක් අපට දකින්නට පුළුවන් වෙනවා. එක කොටසක් නිදාගෙන කම්මැලි ව, කුසීත ව අද කළයුතු දේ හෙටට කල්දාන කෙලෙස්මලෙන් අන්ධව ජීවත්වන අයයි. ඒ කෙලෙස් මලෙන් බැහැර වී උදාසීන ගති දුරලා නින්දෙන් පිබිදියාක් මෙන් උද්‍යෝගිමත්ව දහමට යොමු වන අය අනෙක් පිරිසයි.

මේක තමා ලොව පවතින සැබෑ තත්ත්වය. භෞතික කරුණු වශයෙන් බැලුවත් ලෝකයේ ජිවත් වන සෑම අයෙක් ම මේ අන්ත දෙකින් එකකට වැටෙනවා. ඉගෙන ගන්නා ශිෂ්‍යයන් දෙස බැලුවත්, විවිධ රැකියා හෝ වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරත වන පුද්ගලයන් දිහා බැලුවත් හැමවිට ම උද්‍යේගිමත්ව ක්‍රියා කරනවා කියන එකේ අදහස වන්නේ ඔහු ජයකණුව වෙත ආසන්න වෙනවා කියන එකයි. ඉතින් මේ නිසා අපේ සසර ගමන සම්බන්ධව වගේ ම අපේ ජීවිත තවත් අයෙකුට බරක් නො වී පවත්වා ගෙන යාමට නම් ආර්ථික වශයෙන් මෙන් ම සාමාජික වශයෙනුත් ශක්තිමත් විය යුතු වෙනවා. කිසියම් අයෙක් උදාසීනව අලසව රැකීරක්ෂා වෙළහෙළදාම්, ගොවිතැන්බත් ආදි කටයුතුවල යෙදුණොත් හැම විටම එයින් සිදු වන්නේ ඒ හැම දෙයක්ම අසාර්ථක වී පසුතැවිල්ලට පත්වීමට යි. ඉතින් මේ කරුණින් අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ දහමෙහි ඉතා වැදගත් අර්ථයක් අපේ එදිනෙදා ජිවිතයේ සාර්ථකත්වය ඇති කර ගැනීමට හේතු කර ගන්නට පුළුවන් වෙනවා. එනම් පමා බව හැම විටම දුකට හේතු වෙනවා. අප්‍රමාද ව උද්යෝගිමත් ව මනා සිහිය පිහිටුවා ගෙන ක්‍රියා කිරීම නිසා භෞකික වශයෙනුත් ලෝකෝතර වශයෙනුත් ඒ තැනැත්තා විජයග්‍රාහීව ඉදිරියට ම ගමන් කරනවා.