Print this Article


90 වන වරටත් පැවැත්වෙන කොස්වින්න යටවතු මහ පෙරහර

90 වන වරටත් පැවැත්වෙන කොස්වින්න යටවතු මහ පෙරහර

උඩරට, පහතරට, සබරගමුව සම්ප්‍රදායන් ත්‍රිත්වයේම නැටුම්, ගැයුම්, වැයුම් වලින් අලංකෘතව අලි ඇතුන් පිරිවරා ගනිමින් ධජ පතාක මුරායුධ සේසත් රැගත් බෝසත් ජනයාගේ සාදු හඬින් මුළු ප්‍රදේශයම බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවමින් පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කෙරේ. මෙවර නැටුම් කණ්ඩායම් තිස්තුනක් ද අලි ඇතුන් විසිතුනක් ද සහභාගි වන අතර පෙරහරේ ගමන් ගන්නා පිරිස 1500 පමණ වේ. මෙවර සධාතුක කරඬුව වැඩමවනු ලබන්නේ මහනුවර දළදා මාලිගාවේ මියන්රාජා ඇතා විසිනි.

කොස්වින්න, යටවත්ත රජමහා විහාරස්ථානයෙහි වාර්ෂික මහා පින්කම මෙවරද අනූවැනි වරටත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. පෙබරවාරි 01 වැනි දා ආරම්භ වූ පින්කම් මාලාවේ අවසානය සනිටුහන් කරමින් අද (31 වැනිදා) මහ පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කිරීමට නියමිත ය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ මැද පත්තුවේ පිහිටි ඓතිහාසික කොස්වින්න යටවත්ත රජමහා විහාරය සිරිලක එක්සත් කළ හෙළ විරු නරපතියකු වූ හයවැනි සිරි පැරකුම් මහ නිරිඳුන්ගේ ආශීර්වාදයෙන් ජයපාල දේව පතිරාජ අමාත්‍යවරයාගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් සිරිලකට දායාද වූ බව පුරාවෘත මතයයි. ඒ පින්වත් ඇමැතිතුමෝ කොස්වනයක් මේ පෙදෙසෙහි ඉදිකර ඇත. කොස්වනයෙන් හෙබි ගම්වරය කොස්වින්න නම් විය. කොස්වනයේ උස් භූමියක විහාරාංගයන්ගෙන් පිරිපුන් ආරාමයක් කරවා රජතුමන් ගෙන්වා විහාර පූජාව සිදු කර ඇත. කොස්වින්න ශිලා ලේඛනය ඊට හොඳම සාක්කියයි. දාගැබ් වහන්සේ, විහාර මන්දිරය, විෂ්ණු දේවාලය මේ පුණ්‍ය භූමිය මස්තකයේ ඉදිකර ඇත. එතැන් සිට යොදුන් පන්සියයක දුරින් පිහිටි වත්මන් අමුණුගොඩ රජමහ විහාර භූමියේ බෝධිය රෝපණය කරවා හෙළයට තවත් පින් බිමක් ජනිත කරවීම මහා යුග මෙහෙවරක් වූවා නිසැක ය.


විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්ද නාහිමි

 


විහාරාධිකාරී, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උඩුගම්පොළ ගුණානන්ද හිමි

පැරකුම් රජුගෙන් පසු කෝට්ටේ රාජ්‍යයේ දුබල පාලකයන්ගේ අණසකට නතුවීම නිසා කෙටි කාලයකදී අරාජික වී යුරෝපීයයන්ගේ බල ග්‍රහණයට හසුවීමත් සමඟ මේ මහා පින්බිම වනතුරු අතර සැඟව ගිය නටබුන් සමූහයක් විය. පසු කලෙක එහි විහාරයක නටබුන් දුටු ගම්වැසියෝ යළි සුපූජිත මහ වෙහෙරක් කරවන්නට කටයුතු කළහ.

පොල් අතු සෙවිලි කර කුඩා ආවාසයක් සකස් කළ ඔවුහු නුංගමුවේ ශ්‍රී පියදස්සී මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩමවා වෙහෙර පුනර්ජීවයක් ඇති කළහ. පසුව විහාරාධිපතිත්වයට පත්වන කෝවිලවත්තේ පඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය කොස්වින්නේ ශ්‍රී සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේ ස්වර්ණමය අවධිය උදා කළහ. අනතුරුව පත්වන ගස්පේ ශ්‍රී ගුණානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොස්වින්නේ ශ්‍රී ඤාණානන්ද නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ, ගස්පේ සද්ධානන්ද මහා ස්වාමීන්ද්‍රයන්වහන්සේ, කෝන්ගොඩ පඤ්ඤානන්ද නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කොස්වින්නේ උපනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පරකන්දෙණියේ පේමානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදි වූ මහා යති පරපුර කොස්වින්න රජමහා විහාරස්ථානය සිරිලක කීර්තිධර මහා පින් බිමක් සේම ආදර්ශමත් සංඝනේතෘන්ගේ තෝතැන්නක් බවට පත් කිරීමට කටයුතු කළහ. මේ අවධියේ දී සංකලාංගයන්ගෙන් පිරි වෙහෙර බිමක් නිමැවීමට උන්වහන්සේලා සමත් වූහ.

එකල වැඩ සිටි නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා පුරෝගාමීත්වයෙන් අවට ගම්වාසී ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු වාර්ෂික මහා පින්කමට හිමිවූයේ අද්විතීය ස්ථානයකි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය නිමිතිකොට ගෙන ආදිකර්තෘන් වහන්සේ විසින් අරඹන ලද එය අද වන විට අත්‍යාලංකාර පුණ්‍ය මහෝත්සවයක් වී හමාර ය. වසරින් වසර නව අංගයන්ගෙන් සමූපලක්ෂිතව අටවිසි බුද්ධ පුජා සහිත, බෝධි පූජා, ධර්ම දේශනා, තිස්පැය හතේ පිරිත් දේශනය, දොරකඩ අස්නය, අනුශාසනා දේශනාව, සඟසතු දානමය පින්කම අවසානයේ යටවතු මහ පෙරහර පැවැත්වේ. මෙවර එය පැවැත්වෙන්නේ 90 වැනි විය සම්පූර්ණ කරමිනි.

යටවතු මහා පෙරහර නමින් සැදැහැතියන්ගේ ගෞරවාදරයට පත්ව ඇති මේ මහා සංස්කෘතික මංගල්‍යය මහත් ගෞරවයෙන් පූජනීයත්වයට පත් කිරීමට සතර පේරුවේ දායක දායිකා සියල්ලෝම මහත් වෙහෙසක් ගනිති. සම්ප්‍රදායික පෙරහර පූජාවන්ගේ තේවාවට මූලිකත්වය දී පෙරහර ආරම්භ කිරීම යටවතු මහ පෙරහරෙහි විශේෂත්වයයි. උඩ මළුවේ පෙරහර හෙවත් තුන්බෝ ප්‍රදක්ෂිණාව පළමු දිනයේ සිදුවන අතර ඊට පසු තේවා හේවිසි මගුල් බෙර වාදනයෙන් පසුව සර්වඥධාතු කරඬුව හා ශ්‍රී විෂ්ණු දේවාභරණ භාරගන්නා දායක පිරිස මහත් ගෞරවයෙන් විහාර ප්‍රදක්ෂිණාව සිදුකරති.තුන්වන දිනය පෙරහර පූජාවේ සහ පින්කම් මාලාවේ අවසානය සනිටුහන් කරමින් ග්‍රාම ප්‍රදක්ෂිණා මහ පෙරහර පැවැත්වේ.

විහාරස්ථානයට මෙන්ම ගම්වාසී සියලු දෙනාටම එදින මහත් පී‍්‍රතිමත් දිනයකි. උඩරට, පහතරට, සබරගමුව සම්ප්‍රදායන් ත්‍රිත්වයේම නැටුම්, ගැයුම්, වැයුම් වලින් අලංකෘතව අලි ඇතුන් පිරිවරා ගනිමින් ධජ පතාක මුරායුධ සේසත් රැගත් බෝසත් ජනයාගේ සාදු හඬින් මුළු ප්‍රදේශයම බුද්ධාලම්භන පී‍්‍රතිය වඩවමින් පෙරහර ග්‍රාම ප්‍රදක්ෂිණා කෙරේ. මෙවර නැටුම් කණ්ඩායම් තිස්තුනක් ද අලි ඇතුන් විසිතුනක් ද සහභාගි වන අතර පෙරහරේ ගමන් ගන්නා පිරිස 1500 පමණ වේ. මෙවර සධාතුක කරඬුව වැඩමවනු ලබන්නේ මහනුවර දළදා මාලිගාවේ මියන්රාජා ඇතා විසිනි.

මේ මහා කලා මංගල්‍යය නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවක් පසළොස්වක පොහෝ දිනට විහාරස්ථානයට පැමිණෙති. මෙවර පෙරහර පරකන්දෙණිය පාර, පෙරහර මාවත, කළුවල පාර, වෙලමැද පාර ඔස්සේ ගමන් කර විහාරස්ථානයට පැමිණීමට නියමිත ය. ස්වකීය ප්‍රදේශයේ දිගහැරෙන මේ අනගිතම සංස්කෘතික මංගල්‍යය වෙනුවෙන් සහභාගි වන නැටුම් කණ්ඩායම්වල සා පිපාසාව නිවීමට ප්‍රදේශවාසීන්ගේද උපකාරය ඇතිව දන්සැලක් ද ඉදිවෙයි. අනූවසරක් පුරා එළි දකින මේ අනගිතම සංස්කෘතික මංගල්‍යය උදෙසා ප්‍රදේශවාසීන් ස්වකීය යුතුකම් හැකි පරිදි ඉටු කරනුයේ ශ්‍රද්ධාවෙන් හා ඉතාමත් සතුටෙනි. එය ඔවුන්ගේ ජීවිතයේ වාර්ෂිකව සිදුකරන චාරිත්‍රයක් බවට පත්ව ඇත.

පෙරහර පූජාවක් සිදුකිරීම මහා භාරදූර කාර්යයකි. එහෙත් මෙම කාර්යය මෙතරම් සුඛ නම්‍ය වී ඇත්තේ මනා සංවිධානයක් රාශීභූතවීමක් ඇති බැවිනි. කොස්වින්න රජමහා විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක තෝරපිටියේ ආනන්ද නාහිමියන්ගේ පුරෝගාමී නායකත්වයෙන් හා විහාරාධිකාරී, අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උඩුගම්පොළ ගුණානන්ද හිමිපාණන්ගේ අප්‍රතිහත ධෛර්යය හා මාර්ගෝපදේශකත්වය හේතුවෙනි. පෙරහර නැරඹීම සඳහා මග දෙපස සිට එකතුවන සියලුම සැදැහැවතුන් සුදු වතින් සැරසී පැමිණෙන ලෙසට පෙරහර සංවිධායක මණ්ඩලය කාරුණිකව ඉල්ලා සිටිති.

අපේ ජාතික සංස්කෘතික අංගයන්ට නව ජීවයක් ලබා දෙන මෙබඳු මහා සංස්කෘතික මංගල්‍යයක් තුළින් පළාත්වාසී විවිධ ජාතික හා ආගමික කොටස් අතර ඇතිවන අන්‍යෝන්‍ය එකමුතුව අද දවසේ ජාතික අවශ්‍යතාවක් බව අමතක නොකළ යුතු ය. අනූවැනි වරටත් පවත්වනු ලබන කොස්වින්න යටවතු මහා පෙරහර සමස්ත සියනෑ පුරවරයටම ආශීර්වාදයකි.