Print this Article


කළ කම් පල දෙන හැටි : මරණයෙන් පසු කොතැනක උපදී ද?

07 කොටස

මරණයෙන් පසු කොතැනක උපදී ද?

මරණින් පසු තමන් උප්පත්තිය ලබන්නේ කුමන ස්ථානයක ද ? යන බව මරණයට පෙර දැනගැනීමට තිබෙනවා නම්, එම ස්වභාවය දැනගැනීමට බොහෝ දෙනා රුචිකත්වයක් දක්වති. ඒ නිසාම බොහෝ මනුෂ්‍යයෝ ඒ පිළිබඳව විමසිලිමත් වෙති. කිසියම් පුද්ගලයකු මරණින් මතු උප්පත්තිය ලබන ස්ථානය එම ස්ථානය වන බවට ප්‍රකාශ කරනවා නම්, එවැනි පුද්ගලයන් සමීපයට ගොස් හෝ තමා මරණින් පසු උප්පත්තිය ලබන්නේ කුමන ස්ථානයක ද ? යන වග දැනගැනීමට මිනිස්සු කැමැති වෙති.

අමාමෑණි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වදාළා වූ ශ්‍රී සද්ධර්මයෙහි සඳහන් ආකාරයට අනුව, පුද්ගලයකු මරණයට පත් වූ පසු එම මරණයට පැමිණි පුද්ගලයා නැවත උප්පත්තිය ලබන ස්ථාන හතරක් පිළිබඳව සඳහන් වේ. මරණයට පත් වූ පුද්ගලයා නැවත මව් ගැබක උප්පත්තිය ලැබීම පළමු අවස්ථාව ය. එය 'ගබ්භ මේතේ උප්පජ්ජන්ති' යනුවෙන් බණ පොතෙහි සඳහන් වේ. ඇතැම් පුද්ගලයන් මරණින් පසු නරකයෙහි උප්පත්තිය ලැබීම දෙවන අවස්ථාව ය. නරක 136 ක් බණ පොතෙහි සඳහන්ව ඇති අතර මිනිසා කරනු ලබන ඒ ඒ අකුසලයන්ට අදාළ වන්නාවූ නරක වෙන් වෙන්ව වර්ග කර ඇත. තවත් කොටසක් දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබීම තුන්වන ස්ථානය ලෙස සඳහන් කළ හැකි අතර දිව්‍ය ලෝක හයක් සහ බ්‍රහ්ම ලෝක දහසයක් පිළිබඳව ද ,දක්වා ඇත. දම්සක් පැවතුම් සූත්‍රයේ ද, මේ පිළිබඳ සඳහන් වේ. නැවත වතාවක් කිසිදු ස්ථානයක ඉපදීමක් නොලබන පිරිස හතරවන කොටසට අයත් ය.

පුද්ගලයා භවයෙන් භවයට රැගෙන යන්නේ පුද්ගල මනසෙහි පවතින ක්ලේෂ ධර්මයන් ය. ක්ලේෂධර්ම සියල්ල නැසූ විට එම පුද්ගලයා නැවත උප්පත්තියක් නොලබන තත්ත්වයට පත් වේ. කෙලෙස් ධර්ම සියල්ල නැසූවාය යනු මහරහත් බවට පත් වූ බවය. ඒ අනුව රහතන් වහන්සේලා නැවත උප්පත්තියක් නොලබන උතුමන් ය. පුද්ගල මනසක කෙලෙස් නැතිවීම නැවත නැවත උප්පත්තියක් නොලැබීම පිණිස හේතු වේ. පුද්ගලයා සංසාරය පුරා සැරිසරනු ලබන්නේ මිනිස් මනස තුළ පවතින කෙලෙස් ධර්ම නිසා ය. එම කෙලෙස් ධර්ම සම්පුර්ණයෙන් ම ඉවත් කරගත් පුද්ගලයා රහතන් වහන්සේ ලෙස දක්වනු ලබයි. රහතන් වහන්සේලා මේ ලෝකය තුළ උප්පත්තිය නොලබයි. සංසාරයට මිනිසා බැඳ තබන අකුසල ධර්ම දහයක් පිළිබඳව සංයෝජන ධර්ම නමින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ව පවතී.

මේ ආකාරයට මරණයට පත් වූ පුද්ගලයා මරණින් මතු නැවත භවයක් ලැබීමේ දී හතර වර්ගයකට අයත් වන බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එම හතර වර්ගයෙන් එක් කොටසක් ලෙස අර්හත් තත්ත්යට පත්වූ උතුමන් සඳහන් කළ හැකි ය.

බුද්ධ කාලයේදීත් වර්තමානයෙහි මෙන්ම ඇතැම් සිදුවීම් පැවතිණි. මරණයට පත්වූ පසු මරණයට පත්වූ පුද්ගලයා උප්පත්තිය ලැබූවේ කුමන ස්ථානයක ද? යන්න විමසිලිමත් වී ඇත. වර්තමනයේදීත් පුද්ගලයකු මරණයට පත් වූ පසු මරණයට පත්වූ පුද්ගලයා කුමන ස්ථානයක උප්පත්තිය ලැබුවා ද? වශයෙන් දැනගැනීමට බොහෝ පිරිස් කැමැති වෙති.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි කිසියම් ශාස්ත්‍රයක් ඉගෙන සිටි වංගීස නමැති පුද්ගලයකු රජගහ නුවර වාසය කළ අතර, ඔහු ඉගෙන ගත් ශාස්ත්‍රයට අනුව මරණයට පත්වූ ඕනෑම පුද්ගලයකු ගේ හිස් කබල රැගෙන පැමිණි විට හිස් කබලට තට්ටු කර බලා එම පුද්ගලයා උප්පත්තිය ලබා ඇත්තේ කුමන ස්ථානයක ද ? යන බව ප්‍රකාශ කර ඇත . එබඳු ප්‍රකාශයක් කළ හැකි එම පුද්ගලයා ඉතාම ජනප්‍රිය පුද්ගලයකු විය. ඔහු එම කටයුත්ත දිගින් දිගටම කරගෙන ගිය අතර මියපරලොව ගිය පුද්ගලයන්ගේ ඥාාතීන් තම ඥාාතියා උප්පත්තිය ලබා තිබෙන්නේ කෙබඳු ස්ථානයක ද? යන බව විමසා බැලීමට එම මන්ත්‍රාචාර්යවරයා ළගට බොහෝ මිනිසුන් රොඳ බැදී පෙළගැසී පැමිණ ඇත. වංගීස නම්න් පරසිදු එම මන්ත්‍රාචාර්යවරයා හිස්කබලට තට්ටු කර මේ පුද්ගලයා උප්පත්තිය ලබා ඇත්තේ නරකාදියෙහි ය.මේ පුද්ගලයා උප්පත්තිය ලබා ඇත්තේ තිරිසන් ලෝකයෙහි ය. මේ හිස අයත් පුද්ගලයා උප්පත්තිය ලබා ඇත්තේ ප්‍රේත යෝනියෙහිි ය. මේ හිස අයත් තැනැත්තා උප්පත්තිය ලබා ඇත්තේ මිනිස් ලෝකයෙහි ය. මොහු උප්පත්තිය ලබාඇත්තේ දිව්‍ය ලෝකයෙහි ය. යනුවෙන් මරණින් පසු උප්පත්තිය ලැබූ ස්ථාන ප්‍රකාශ කර ඇත. ඔහු නුවරින් නුවරට ගම් නියම්වලට ගොස් මේ කාර්යය අකුරටම සිදු කරමින් සැවත් නුවරට ද ,පැමිණ ඇත. සැවැත් නුවරට වංගීස පැමිණෙනවාය යන රාවය සැම තැනම ප්‍රචාරය වී ඇත.

කිසියම් පිරිසක් එම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වැඩසිටින ස්ථානයට කැදවාගෙන ගියහ. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හිස් කබල් හතරක් මොහුට ඉදිරිපත් කර ඇත. එක හිස් කබලකට තට්ටු කළ වංගීස, මේ හිස් කබල අයත් පුද්ගලයා ඉපදී ඇත්තේ නරකයෙහි බව ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ අනෙක් හිස්කබල ද ඔහුට ලබා දී ඇත. එය ද තට්ටු කර බලා එම හිස් කබල අයත් පුද්ගලයා ඉපදී ඇත්තේ දිව්‍ය ලෝකයේ බවත්, අනෙක් හිස් කබල අයත් පුද්ගලයා මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබා ඇති බවට ප්‍රකාශ කළේය. බුදුරජාණන් වහන්සේ හතර වන හිස් කබල දුන් විට එයට තට්ටු කළ වංගීස නිශ්ශබ්ද විය. වංගීස මේ පුද්ගලයා උපන් ස්ථානය ඔබ දන්නේ නැද්ද ? යනුවෙන් බුදුරජාණන් වහන්සේ විමසා සිටිය ද ඔහු පෙර පරිදි නිශ්ශබ්ද විය. බුදුරජාණන් වහන්සේ වංගීස මන්ත්‍රාචාර්යවරයාට දේශනා කරනු ලැබුවේ එම හිස්කබල අයිති පුද්ගලයා පිළිබඳ සියලු තොරතුරු බුදුරජාණන් වහන්සේ දන්නා බව ය. ඒ වගේම ඔබගේ ශාස්ත්‍රයට අනුව මේ පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් නො දැනීමට හේතුවත් දන්නා බවට වදාළහ. බුදුහාමුදුරුවනේ, මේ පුද්ගලයා කුමන ස්ථානයක උප්පත්තිය ලබා තිෙබිද? යන බව දේශනා කරන ආකාරය තමාටත් පැහැදිලි කර දෙන ලෙස වංගීස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා ඇත. එම ශාස්ත්‍රය දැන ගැනීමට අවශ්‍ය නම්, මහණ වන ලෙසට බුදුරජාණන් වහන්සේ වංගීසට දේශනා කළ සේක. ඒ අනුව වංගීස බුදුරජාණන් වහන්සේ ළඟ මහණව විදසුන් වඩා රහත් බවට පත් වූ සේක. වංගීස සූත්‍රය, වංගීස ථේර ගාථා,වංගීස අපදානපාලිය යන තැන්වල වංගීස හිමියන් විසින්ම එම සිද්ධිදාමය පැහැදිලි කරදුන් ආකාරය සඳහන්ව ඇත. වංගීස හාමුදුරුවන් වහන්සේ අවබෝධයෙන් කතාකරන භික්ෂූන් වහන්සේලා අතරින් අගතනතුරු ලාභිඋත්තමයෙක් මෙන්ම අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් ස්වාමීන් වහන්සේ නමක් විය.

මේ සිද්ධි දාමයෙන් පෙන්නුම් කෙරෙන්නේ මේ ලෝකය තුළ අරහත්භාවයට පත්වුණ පුද්ගලයෙක් නැවත උප්පත්තියක් නොලබන බවත්, අරහත්භාවයට පත්වුණ රහතන් වහන්සේ නමක් නැවත උප්පත්තිය ලබන්නේ කෙබඳු තැනක ද? කුමන අවස්ථාවකද? යන බව ප්‍රකාශ කළ හැකි කිසිම ජගතෙක් නැති බව ය . රටේ ප්‍රකටව සිටි වංගීස නැමැති මන්ත්‍රාචාර්යවරයා ද, මහා විශාල ප්‍රසිද්ධියක් ප්‍රදේශය පුරා ලබා තිබුණේ ද , ඔහු තුළ පැවැති හැකියාව ය . නමුත් බුදුරජාණන් වහන්සේ අරහත්භාවයට පත්වූ උතුමකුගේ හිස් කබලක් වංගීස ලවා පරීක්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වංගීස ආචාර්යවරයා මහණව මහරහත් බවට පත්ව, අවබෝධයෙන් කතාකරන භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරු ලැබීමෙන් පැහැදිලි වනුයේ, බුදුරජාණන් වහන්සේ තුළ පැවැති සර්වඥතා ඤාණය තුලින් ලබන දැනුම වෙනත් කිසිදු ශාස්ත්‍රයකින් , විද්‍යාවකින් ලබාගත නොහැකි බව ය.