Print this Article


කුසල සිතිවිලි පදනම් වූ අර්ථාන්විත වෙසක් සමයකට...

කුසල සිතිවිලි පදනම් වූ අර්ථාන්විත වෙසක් සමයකට...

වෙසක් මාසයේ උදාවත් සමඟ බොදු හදවත්තුළ අන්කවරදාටත් වඩා ඉපැදෙන පින් සිතිවිලි අප්‍රමාණ ය. උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ සිල් සමාදන්වන්නට, ගමේ විහාරස්ථානයේ ආගමික වැඩ කටයුතු සංවිධානය කරන්නට, බොදු කොඩි සේසත් නිමවන්නට, දන්සල් සංවිධානයට, වෙසක් පත් ලියන්නට ඇතිවන ප්‍රබෝධය අපූර්ව ය.

මේ, පරෝපකාරය ම, කුසල් සිතිවිලි ම පදනම් වූ උතුම් සංකල්ප රජයන වෙසෙස් කාල සිමාවක් යැයි කීම සාවද්‍ය නොවේ.

අතීතයේ නම්, වෙසක් සමය පුංචි දරු දැරියන්ට බොහෝ විශේෂ විය. චිත්ත සමාධිය ඇතිවන, චරිතාකල්ප වර්ධනය වන වෙසක් කූඩු නිර්මාණය එහි දී කැපී පෙනේ. වැඩිහිටියන්ගේ ද අවසරය, අනුදැනුම ඇතිව යහළු මිතුරන් සමඟ එක්ව උණ පඳුරු සොයා ගොස් උණ බට කපාගෙන එන මොහොතේ සිට කෙරෙන මේ මහා කාර්ය භාරය යහළු මිත්‍රකම් වර්ධනය කරන, විරසකකම් නැතිකරන සාමූහික වැඩ පිළිවෙළකි. එක් පැත්තකින් ආගමික සංස්කෘතිය කියන්නේ එයට යි. මේ උද්‍යෝගය තුළින් චරිතාකල්ප වර්ධනයට, අනාගත ජීවිතය ධාර්මික කරවන්නට වචනයෙන් කිව නොහැකි තරම් සේවාවක් ඉටුවුණි.

එහෙත් මේ වෙසෙස් දසුන මෑත යුගයේ වෙනස් වී තිබේ. දැන් වෙසක් කුඩු සාදන්නට ඕනෑ නැත. ඕනෑතරම් කූඩු කඩයේ ඇත. බෞද්ධාගම නොදන්නා, බෞද්ධකම පිළිබඳ හැඟීමක්, දැනීමක් නැති මුහුදෙන් එතෙර සමාගම්වලින් කෝටි ගණනින් ප්ලාස්ටික් කූඩු මෙරටට ගෙන එයි. සාරධර්ම පසෙකලා, නොසිතා, නොබලා ලෙහෙසියට පහසුවට හුරු වූ අපේ වැඩිහිටියෝ ද ලෝභ නැතිව දරුවන්ට ප්ලාස්ටික්වලින් නිමැවූ සැකිලි අරගෙන දෙති. ඇතැම් කූඩු කොළ ද අලවා නිමවා ඇත.

ලෙහෙසි, පහසු යැයි සිතුව ද මේ තුළ ඇති විපත්තිය බෞද්ධයන් විසින් හඳුනා ගනු ලැබ යුතුව ඇත. පියවරෙන් පියවර උණ බට සොයා එකතු කර ටිකෙන් ටික වෙසක් කූඩුවක් නිමාවෙද්දී ළමා මනසේ රැඳුණු ප්‍රබෝධය අද නැත. තමන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේගේ ගුණ සැමරීම වෙනුවෙන් සිතේ ඇතිවුණු සමාධිගත කුසල චේතනා නැත. වෙසක් කූඩුවක් නිමවීම කුසලයකි. භාවනාවකි. එය නිමැවෙන පියවරක් පියවරක් පාසාම සිත වර්ධනය වන ගෞරවය, රසිකත්වය, කලාකාමීත්වය අනාගතයට ආයෝජනයකි. සිහින් කෝටු කපා ශුද්ධ පවිත්‍ර කිරීමේ සිට පිළිවෙළකට, රටාවකට හසුරුවමින් කූඩුව නිමාව දක්වා යන හැම මොහොතකම ළමයා සිතන්නට පටන් ගනී. එවිට අලුත් සිතිවිලි උපදී. ඒ සිතිවිලිවලින් තවත් අලුත් නිර්මාණ උපදී. පාට තෝරන්න. කඩදාසි කපන්නට නුහුරු දෑත් හුරු වෙන්නට පටන් ගනී. එක් අවස්ථාවක සිතෙහි කිඳා බසින මේ අත්දැකීම ඊළඟ වෙසක් සමයේ තවත් සංවර්ධනය වේ.

මේ වෙසෙස් කාර්යභාරය තුළ මොනතරම් ප්‍රබෝධයක්, පුනරුදයක්, සංවර්ධනයක් ඇතිවෙනවාදැයි සිතන විට ඇති වන්නේ මහා පුදුමයෙකි. මේ සෑම දෙයක් ම එකතු වන්නේ යහපත් පුරවැසියෙකුගේ හදවතට ය.

ඒ ආකල්පමය වෙනස, සාධනීය හදවත් ඇති කිරීම පොත පතින් කළ නොහැකි ය. අමතර පන්තිවලින් ද කළ නොහැකි ය. ඒ ප්‍රායෝගික ශික්ෂණය, අත්දැකීම අද බෞද්ධ දරුවන්ට ලැබෙන්නේ නැත.

එදා ළමයින් වෙසක් සැරසිලි කළේ තනිවම නොවේ. සහෝදර සහෝදරියන්ගේ වැඩිහිටියන්ගේ ද, යහළු මිතුරන්ගේ ද උදව්, උපකාරයෙනි. එහිදී සියල්ලෝ ම අප්‍රමාණ වින්දනයක් ලැබූහ. මොහොතක් පාසා අලෝභ, අද්වේෂ, විරාගි සිතිවිලි පහළ කරගත්හ. ‘කුසලස්ස උපසම්පදා’ බෞද්ධ පදනම වන කුසල සංකල්පය මේ කාර්යාවලිය තුළ අන්තර්ගත විය. ඒ අත්දැකීම අද අපේ ළමයින්ට නො ලැබීම ඛේදවාචකයකි.

නැව් ගණනින් එන වෙසක් සැරසිලි යැයි වරදවා සිතන ප්ලාස්ටික් සැකිලිවලින් අවසන ඉතිරි වන්නේ කසළ කන්දක් පමණි. වෙසක් පෝය නිමිත්තෙන් කරන වෙසක් සැරසිලි මුවාවෙන් කුණු කඳු එකතු කර ගැනීම කිසිසේත් කළ යුතු නොවේ. මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතු වේ. උණ බටයකින් සාදන වෙසක් නිර්මාණයක් දින කිහිපයක දී පරිසරයට මුදා හැරිය ද දිරාපත් වේ. පොළවට බරක් නොවේ. නොදැනුවත් ව හෝ දැන දැනම වාණිජ උපක්‍රමයන්ට හසුවීම තුළ සිදුවන්නේ පරිසරය සේ ම අපගේ අධ්‍යාත්මය ද විනාශ වීම ය.

මේ සම්බන්ධයෙන් අපගේ භික්ෂූන් වහන්සේට මහත් කාර්යභාරයක් කළ හැකිව තිබේ. ජනතාවගේ අනුශාසකයන් වහන්සේ උන්වහන්සේ වන බැවිනි. ජීවිතයේ හොඳ නරක ගැන අනුශාසනා කරනවා සේ ම මෙවැනි දේ ගැන ද ජනතාවට කියා දිය යුතු ය.

විශේෂයෙන් දහම් පාසල් දරුවන්ට දහම් පාසලේ සැරසිලි සඳහා වෙසක් නිර්මාණ ගෙන ඒ මේ දී කූට වෙළෙඳ උපක්‍රමවලට නොරැවටී තමන්ගේම අතින් සාදා, කොළ අළවා ගත් නිර්මාණ ගෙන එන ලෙසට බුදුසරණ පුවත්පත මගින් යෝජනා කරමු. එය සිත, කය, වචනය මෙහෙයවාගෙන බුද්ධ පූජාවක්, භාවනාවක්, කුසලයක් ලෙසින් කළ යුතු කාර්යයකි. ප්ලාස්ටික් කූඩු ගෙන එන්නට එපා යැයි කෙළින්ම කියනවාට වඩා එමඟින් වන පරිසර හානිය, ආර්ථික පරිහානිය ගැන දරුවන් දැනුම්වත් කළ යුතු ය. මේ සඳහා පාසල් ප්‍රධානීන්ගේ ද කාරුණික අවධානය යොමු වීම වැදගත් ය.

යහපත් අනාගතයක් සඳහා පූර්ව ළමා වියේ සිට නව යොවුන් විය දක්වාම දරුවා සෞන්දර්යාත්මකව හික්ම වීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා කලා නිර්මාණතුළින් ඉටුවන මෙහෙය වෙසෙස් ය. බෞද්ධ දරුවකුට නම් එහිදී ප්‍රථම කොට එන්නේ වෙසක් උත්සවයයි. අපේකමට ගැළපෙන ලෙස, අපේ ශික්ෂණය, සංස්කෘතික ගති ඉස්මතු වන ලෙස, අපේ ආර්ථික සමාජ පරිසරයට ගැළපෙන ලෙස අපි සංවිධානය වෙමු. ඒ සඳහා මේ මොහොතේ සිට එළැඹෙන වෙසක් පෝය දක්වා අපගේ දරුවන් සූදානම් කරමු.

“චිත්තං දන්තං සුඛා වහං”

චිත්ත දමනයෙන් සුවය, දියුණුව සැලසේ. වෙසක් කූඩුවෙන්, සැරසිල්ලෙන් කෙරෙන්නේ චිත්ත දමනයයි. සිත තැන්පත් කිරීමයි. ඒ සඳහා අපි උනන්දු වෙමු. අපගේ දරුවන් උනන්දු කරමු.