UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඕපපාතික: සැප දුක ඇති ලෝක

ඕපපාතික: සැප දුක ඇති ලෝක

ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය වදාළ සේක. උන්වහන්සේ මේ ලෝකයේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගන්නට උපදවා ගත් ඥානය චුතුඋපපාතික ඥානය යි.

මේ ඥානය තුළින් සත්ත්වයන් ඒ ඒ තැන්වල කර්මානුරූපව උපදින සහ චුතවන ආකාරය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක. එහි දී උන්වහන්සේට මේ ලෝකය ගැන සම්පූර්ණ විවරණයක් ඇතිවුණි.

ඕපපාතික කියන වචනය බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබෙන්නේ ඉබේ පහළ වෙනවා කියන අදහසින්. ඉබේ පහළ වෙනවා කියන එක නොවේ ඕපපාතික උපතේ අදහස. කර්මානුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි.

සත්ත්වයන් උපදින, සසරේ ගමන් කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ ඥානය ඇතිකරගෙන මේ ලෝක ධාතුවම සම්පූර්ණයෙන් ම අවබෝධ කළ සේක. එහි දී සමහර ලෝක සත්ත්වයන්ට අතිශයින් ම දීර්ඝායුෂ තිබෙන ආකාරය ද, සමහර ලෝක සත්ත්වයන් මධ්‍ය ආයුෂ ද, සමහර ලෝකයන් හි අඩු ආයුෂ තිබෙන බව ද, උන්වහන්සේ අවබෝධ කොටගෙන වදාළ සේක.

දෙව්ලොව දෙවියන් ද, නිරයේ නිරිසතුන් ද, පේ‍්‍රත ලෝකයේ පේ‍්‍රතයන් ද ,කර්මානුරූපිව ඕපපාතික උපතකට හිමිකම් කියයි.

ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් ඕපපාතික උපත ලබයි. අම්බපාලි කියන්නේ එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත. පියෙක් නැත. ඇය අභයරාජ කුමාරයාගේ අඹ උයනේ ඉපදුණි. අඹ ගස මුල ඉපදුන නිසා අම්බපාලි නම ලැබුණ අතර බිම්බිසාර රජතුමාට ඇය ලබා දුන් පසුව රජු ඇය හදාවඩාගෙන නගරයේ පොදු වස්තුවක් ලෙස නම් කළේ ය. ඇය නගරසෝභිනිය වුණි. ඇයට මේ තනතුර ලැබුණේ කර්මයක් නිසා ය. ඒ කාලයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඇය පැවිදිව සිටියා ය. දිනක් චෛත්‍ය මළුවක් ඇමද තිබිය දී එක් රහත් භික්ෂුනියකට සෑ මළුවේ දී කිවිසුමක් ගියේය. ඇය සිතනවා අනේ මම ඇමදු සෑ මළුව මේ වෛ්‍යශාව කැත කළා නේද? කියා. එදා සිට ඉපදුන සෑම ආත්මයක ම ඇය සසරේ කර්ම විපාකයට අනුව වෛශ්‍යාවක් ව ඉපදුණි.

නමුත් ඇය එක ජීවිතයක දී පසේ බුදුරාණන් වහන්සේ නමකට දානය පූජා කර සිතන්නේ මව්කුසේ සිටීම හෝ මවු කුසකින් බිහිවීම බොහෝ දුක සහිත දෙයකි. එනිසා මම උපදින සෑම භවයක දී ම මවුකුසක ඉපදීමක් නො ලැබේවා කියා යි. පසේබුදුරජාණන් වහන්සේ එදා ඇයට ආශිර්වාද කළ සේක. එදින පටන් ඇය සෑම ආත්මයක ම කර්මානුරූපව පහළ වුණි.

නිරය පිළිබඳව බොහෝ විස්තර දේවදූත සූත්‍රයේ බාලපණ්ඩිත සූත්‍රයේ සඳහන් වේ. භාග්‍යවතුන් වහන්සේ නිරය පිළිබඳව විවරණය කරන විට සත්ත්වයන් කර්මානුරූපව ඕපපාතිකව උපදින බව පැහැදිලිව වදාළ සේක. ඒ උපත සකස් වී තිබෙන්නේ දුක් විදීම පිණිස ය. ඒ වගේම පේ‍්‍රත ලෝකයේ උපත ගැන බොහෝ විස්තර සංයුක්ත නිකායේ ලක්ඛණ සංයුක්තයේ සහ පේ‍්‍රතවත්ථු පාලියේ සඳහන් වේ. මනුසත් ලෝකයේ ඉපදුණ කෙනෙක් කර්මයන් රැස් කරන්නේ නිරයේ උපතක් පිණිසනම්, ඒ කර්ම රැස් වුණාම මනුස්ස කය අතහරිනාවත් සමග ම ඔහුගේ මනෝමය ශරිරය සහිත විඤ්ඤාණය චුත වී නිරයේ හෝ පේ‍්‍රත ලෝකයේ බැස ගනී. එවිට ඔහුට කර්මය විඳවන්නට තිබෙන්නේ විශාල ශරීරයක් ලබාගෙන නම් ඒ විශාල ශරීරය ඇතුවයි උපත සිදු වනුයේ. ඒ වගේ ම සිහින් සිරුරකින් කර්මයක් විඳවීමට තිබේනම් එවන් ශරීරයක් ලැබේ.

සමහර පේ‍්‍රතයන්ගේ ශරීරය සැතපුම් ගණනක් විශාල ය. ඔවුන් මිනිස් ලෝකයේ දී අප වගේ කයක් පරිහරණය කළ අය යි. නමුත් ඒ කර්මය විඳවන්නට අවශ්‍ය කරන ආකාරයට ශරීරය විශාල ලෙස සකස් වී තිබේ. එහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ කර්මය යි. මවු කුසක තිරිසන් හෝ මනුස්ස විය හැකියි. ඒ සත්ත්වයන්ගේ ස්වභාවය අනුව රූපය සකස් වෙයි. ඒ වගේම තමයි ඕපපාතික උපතේදීත් කර්මයට අනුකූල වූ ස්වභාවයකට උපත සකස් වෙයි.

සමහර දෙවිවරුන්ට බොහෝම ලස්සන පි‍්‍රයමනාප රන්වන් පැහැයෙන් බබළන රූපයක් ලැබේ. එය ද කර්මයට අනුව යි. ඔවුහු මවු කුසක, බිත්තරය, තෙත පරිසරයක උපත නො ලබා කර්මානුරූපව ඕපපාතික උපතක් ලබති.

දෙව්ලොව, බඹලොව උපදින සතුන් ගේ ශරීර ස්වභාවය බොහෝ ම සියුම්ය. සුළඟ අප දෑසට නො පෙනේ.

නමුත් එහි යම් ඝණත්වයක් තිබේ. ඒ සුළෙඟ් ඝනත්වය මෙන් කෙනෙකු බඹ ලොව උපන් පසු මිනිස් ඇසට නො පෙනේ. ඒ වගේම දිව්‍ය ලෝකවල සිටින දෙවියන්ට ද බඹලොව නො පෙනේ. ඉහළ ලෝකවල ඉපදෙන්න ඉපදෙන්න සත්ත්වයාගේ සිරුර සියුම් වෙන බව එයින් පැහැදිලියි. නමුත් පඨවි, ආපෝ, තේජෝ වායෝ යන සතරමහ ධාතුන්ගෙන් හටගෙනයි තිබෙන්නේ. මෙය තමයි කර්මයේ ස්වභාවය. ඒ නිසා ඇසට නො පෙනෙන ඕපපාතික උපත් මේ ලෝක ධාතුව තුළ සිටින බව ඔබ ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු වෙයි.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]