UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජලාබුජ: ගන්ධබ්බයාගේ පැමිණීම


ජලාබුජ: ගන්ධබ්බයාගේ පැමිණීම

"සත්ත්වයකු මවු කුසක පිළිසිඳගන්නා අවස්ථාව කළල රූප ලෙස හඳුන්වයි. එය එ දවසෙහි ම උපන් එළු පැටියකුගේ මවිල් ගසක් පිරිසුදු තල තෙලෙහි බහා හත්වරක් ගසාදමා අටවැනි වරට එහි අග එකතුවන තරම් ඇසට නොපෙනෙන ඉතා සියුම් රූපයකි."

ජලාබුජ වශයෙන් මවු කුසක උපදනා සත්ත්වයන් පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ “මහා තණ්හා සංඛය” සූත්‍රයේ දී මෙසේ දේශනා කළ සේක. ‘මහණෙනි, කරුණු තුනක් එකතුවීමෙන් ගැබ්ගැනීමක් සිදුවේ. එනම් මවගේ සෘතුවීම, මවුපියන්ගේ සහවාසය, කර්ම ශක්තියත් සමඟ විඤ්ඤාණයක් හෙවත් ගන්ධබ්බයකුගේ පැමිණීම ය.

සසර සැරි සරන සත්ත්වයකු මවුකුසක පවතින ජීවයට සම්බන්ධ වීම ගන්ධබ්බයකුගේ පැමිණීම යන්නෙන් බුදුරජාණන් වහන්සේ අදහස්කර ඇත. ගන්ධබ්බයකුගේ පැමිණීම හෙවත් සසර සැරිසරන සත්ත්වයකු මවුකුසක පවතින ජීවයට සම්බන්ධ වීම යනු අපි දකින මිනිසකු හෝ වෙනස් සත්ත්වයකු නොවේ. එකට ගැලපුණු උපාදානස්කන්ධ පසම ය. එය ශක්ති විශේෂයකි. මවු කුසක පිහිටි සියුම් කළල බීජය ජීවාත්මක ද්‍රව්‍යයකි. එයට උපාදානස්කන්ධ පස නමැති ශක්ති විශේෂය ඇතුළු වූ පසු තහවුරු වීම හා වැඩි දියුණු වීම සිදුවෙයි.

උදාහරණයක් ලෙස නවීන මුද්‍රණ යන්ත්‍රයක් ගතහැකි ය. යන්ත්‍රය නිපදවන්නන් අවශ්‍ය යාන්ත්‍රික කොටස් නිසි ලෙස ගළපා තබා ඇත. එහි කඩදාසී හැසිරවීම, අකුරු අච්චු කරවීම, තීන්ත සැපයීම, කඩදාසි නැමීම, කැපීම ආදී විවිධ කාර්යයන් සිදු කෙරෙන කොටස් සමූහයක් යන්ත්‍රයේ ඇත. එහෙත් තවම ඒවා ක්‍රියා නොකරයි. එයට විදුලි බලය ඇතුළත් කළ පසුව ඉහත කී සියලු කොටස් ඒවා සතු කාර්යයන් කිරීමට පටන් ගනී. මෙසේ ක්‍රියා කරගෙන යන විට විදුලිය ලැබීම නතර කළ සැණෙකින් සියලුම ක්‍රියා නතර වෙයි. විදුලිය නමැති ශක්තිය එහි පවතින තාක් කල් ක්‍රියාකාරී වූ කොටස් ඉන්පසු නිෂ්ක්‍රිය වී යයි. මවුපිය නමැති යාන්ත්‍රික ශිල්පීන් විසින් සාදන ලද කළල බීජය නැමැති යන්ත්‍රයට ගන්ධබ්බයා හෙවත් උපාදානස්කන්ධ සංයුතිය නමැති විදුලි බලය එයින් බැහැර වූ විට අප හඳුනාගෙන සිටි පුද්ගලයා නමැති යන්ත්‍රය නිෂ්ක්‍රිය වෙයි.

සත්ත්වයකු මවු කුසක පිළිසිඳගන්නා අවස්ථාව කළල රූප ලෙස හඳුන්වයි. එය එ දවසෙහි ම උපන් එළු පැටියකුගේ මයිල් ගසක් පිරිසුදු තල තෙලෙහි බහා හත්වරක් ගසාදමා අටවැනි වරට එහි අග එකතුවන තරම් ඇසට නොපෙනෙන ඉතා සියුම් රූපයකි. එම රූපය එතරම් කුඩා වූවත් බුදු දහමේ උගන්වන්නේ එහි කාය දසකය, භාව දසකය, වත්ථු දසකය යැයි රූප කලාප තුනක් දහයේ රූප මිටි තුනක් හෙවත් රූප තිහක් තිබෙන බවයි. කාය දශකය කය සකස් කරයි. භාව දශකය ස්ත්‍රිත්වය හෝ පුරුෂත්වය පහළ කරයි. වත්ථු දශකය සිතෙහි වාසස්ථාන වූ හදය වස්තුව සකස් කරයි. මේ රූප කලාප තුන කම්මජ රූප කලාප වශයෙන් සලකනු ලැබේ. ඒ රූප කලාප පහළ වන්නේ කර්මානුරූපීව මවු කුසෙහි පහළ වූ කම්මජ තෙජෝ ධාතුවෙහි පිහිටි ශක්තිය අනුව ය. මෙම සියුම් කළල රූපය සතියෙන් සතිය අනුක්‍රමයෙන් වැඩී දස මසක් යන විට සර්ව සම්පූර්ණ දරුවකුගේ තත්ත්වයට පත් වේ.

සත්ත්වයකු මවුකුසක පිළිසිඳගන්නා විට ම කායායතනය හා මනායතනය පහළ වෙයි. කාය දශකය නිසා කායායතනය ද වත්ථු දශකය නිසා මනායතනය ද ඇතිවේ. ඉතිරි ආයතන හතර එනම් චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය ඇතිවන්නේ එයින් පසුව ය. මවු කුස පිළිසිඳගත් දා සිට සත්වන සතියෙහි එනම් මාස එකහමාරකින්, සති හතකින්, දවස් හතළිස් දෙකකින් මත්තෙහි චක්ඛු දශකය හෙවත් චක්ඛායතනය, ඇස පහළවෙයි. එයින් සතියක් ගිය තැන එනම් අටවෙනි සතියෙහි සෝතායතනය හෙවත් කන පහළ වෙයි. එයින් ද සතියක් ගිය තැන නවවැනි සතියෙහි ඝාණායතනය හෙවත් නාසය පහළ වෙයි. එයිනුත් සතියක් ගිය තැන හෙවත් දසවැනි සතියෙහි ජීව්හායතනය හෙවත් දිව පහළ වෙයි. අභිධර්මසංක්ෂ්‍යෙටීකාවෙහි දැක්වෙන අන්දමට සම්පූර්ණ ළමයෙක් සියලු අඟපසඟ ඇතිව පහළවන්නේ මෙසේ සති දහයක් එනම් දින හැත්තෑවක්, මාස දෙකහමාරක් ගියාට පසුව ය.

“කථාවත්ථු ප්‍රකරණ” අටුවාවෙහි හා “පරමත්ථදීපනී” අටුවාවෙහි දක්වන්නේ මීට වඩා වෙනස් ආකාරයකි. ‘සෙසානී චත්තාරි සත්තසත්තති රත්තිම්හි ඡායන්ති’ සෙසු සතර ආයතනයෝ එනම් කායායතනය, මනායතනය හැර චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා යන ආයතන හතර මවු කුස පිළිසඳගත් දා සිට හැත්තෑහත්වන දිනයෙහි පහළ වන බවයි. කළල රූප අවස්ථාවේ සිට සතියක් ඉක්මගිය කල්හි අර්බුද අවස්ථාවට පැමිණෙන්නේ ය. එය මස් සේදූ ජලයක් බඳු යයි උපමා කොට තිබේ. අර්බුද අවස්ථාවේ සිට සතියක් ඉක්මගිය කල්හි දිය වුණු ඊයම් බිදුවක් බඳු වූ පේශී අවස්ථාවට පැමිණෙන්නේ ය. කිකිළි බිජුවක් බඳු ආකාර ඇති ඝණ අවස්ථාවට පත්වන්නේ තවත් සතියක් ඉක්මගිය පසුව ය. ඝන රූපයට සතියක් ඉක්ම ගිය කල්හි පසාඛ අවස්ථාවට පැමිණේ. එහි දී දෙ අත් දෙපා හිස ආදිය පිණිස වෙන් වූ පීලක සමූහයකින් යුක්ත වන්නේ ය. සවන සතියේ සිට කේසාදිය සෑදෙන්නේ ය. මෙසේ අභ්‍යන්තර වශයෙන් හෝ බාහිර වශයෙන් හෝ උපද්‍රවාදීන්ගෙන් පීඩිත නොවී වැඩෙන්නා වූ කුඩා ළදරුවා හට එකොළොස්වන සතිය අවසන් වීමේ දී නොහොත් සත් සැත්තෑ වන දින රාත්‍රීයෙහි චක්ඛු දශක, සෝත දශක, ඝාණ දශක, ජිව්හා දශක යන සතර කර්මජ කලාපයන්ගේ පහළවීමෙන් ඒ සත්ත්ව සන්තානයෙහි පහළ විය හැකි රූප කලාප සමූහය සම්පූර්ණ වන්නේ ය.

මෙතැන් පටන් ඒ සත්ත්ව සන්තානයෙහි කර්මජ, චිත්තජ, සෘතුජ, ආහාරජ, රූප කලාප, සන්තති වශයෙන් නොබිඳී සම්මුති මරණය හෙවත් චුතිය දක්වා පවත්නේ ය.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]