UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝ සෙවණ: ශීලයෙහි ආනිශංස

ශීලයෙහි ආනිශංස

බුදුදහමේ ශීලයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශීලයෙහි පිහිටා කරන කටයුතු සාර්ථක ය. බෞද්ධාගමික කටයුතු හැම එකක්ම ආරම්භ කරන්නේ ශීලයට මුල්තැන දීමෙනි. මිනිසාගේ ශීලාචාරභාවය සැම යහපතකටම හේතුවන බැවිනි. නිවන් දැකීමට නම්, අනුපූර්ව ශික්ෂා සම්පූර්ණ කළ යුතු ය.

ත්‍රිවිධ ශික්ෂාවේ මුලට යෙදී ඇති ශීලයත්, සමාධියත්, සමාධිය තුළින් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් නිවනත් ලබාදෙන අනුපූර්ව ශික්ෂා මාර්ගයයි. මෙහිදී ශීලය යනු කුමක්දැයි? කෙටියෙන් හෝ විමසා බැලිය යුතු ය. ත්‍රිපිටකයේත්,අට්ඨකතා ආදියේත් ශීලය යන්නට පුළුල් අර්ථයක් දී තිබේ.

කිං ශීලංචි යන ප්‍රශ්නය නඟන බුද්ධඝෝෂ මා හිමියෝ එයට පිළිතුරු දෙමින් ප්‍රාණඝාතාදී අකුසල කර්මයෙන් වැළකී වත්පිළිවෙත් ආදිය පුරන්නාගේ සිතිවිලි සමුදාය ශීලය නම් වන බව සඳහන් කොට ඇත. විරති හෙවත් වැළකිය යුතු දෙයින් වැළකීමත්, කළයුතු පිරිය යුතු වත්පිළිවෙත් ආදිය පිරිම ශීලය යනුවෙන් සඳහන් කොට තිබේ. කුමන අර්ථයකින් එම සිතිවිලි සමුදාය ශීලය ලෙස සලකා තිබේද? යන්න එහිදී විග්‍රහ කොට තිබේ.

කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, හැදිචිචකම ශීලයයි. ශීලයෙහි ප්‍රභේද රාශියක් බෞද්ධ ග්‍රන්ථවල සඳහන්ව තිබේ. සංඛ්‍යාත්මක වශයෙන් වැඩිවන ලෙස ශීල ප්‍රබේද දක්වන ක්‍රමයක්ද බෞද්ධ පොත්වල දක්නට ලැබේ. මුලින්ම චාරිත්‍ර ශීලය වාරිත්‍ර ශීලය යැයි ශීලය දෙවැදෑරුම් වේ. බුදුරජාණන් වහන්සේ විසින් කළ යුතු යැයි පනවන ශික්ෂාපද සමූහය චාරිත්‍ර ශිලය නම්, වන අතර නොකළ යුතු යැයි වදාළ දෙයින් වැළකී සිටීම වාරිත්‍ර ශීලය නම්, වේ.

ශීලයක් අවශ්‍ය වන්නේ කුමක් සඳහාද ? යන්න මෙහි දී සලකා බැලිය යුතු කාරණාවකි. මිනිසාගේ සිත ස්වභාවයෙන්ම චංචල ය. මද වේලාවක් හෝ එක අරමුණක සිත තබාගැනීම කෙතරම් අපහසු කරුණක් ද? යන්න වටහාගත හැක්කේ ඒ සඳහා සුළු වශයෙන් හෝ උත්සාහ දැරුවෙකුට පමණි.

ධම්මපදයේ චිත්ත වග්ගයේ එන සිත පිළිබඳ දේශනා විමසීමෙන් සිතේ ස්වභාවය වටහාගත හැකි ය. එසේ වුව ද, මිනිස් සිත ස්වභාවයෙන් ප්‍රකෘතියෙන් ප්‍රසන්න එකක් බව ද, බැහැරින් පැමිණෙන යම් යම්, හේතූන් නිසා සිත අපිරිසුදු වන බව ද, බුදුරජාණන් වහන්සේ වදාළ සේක. උපන් මොහොතේ බිළිඳකුගේ සිත ප්‍රසන්න එකකි. ක්‍රමයෙන් වැඩෙත්ම ඉන්ද්‍රියයන් ඔස්සේ ලැබෙන නොයෙක් අරමුණු නිසා ප්‍රසන්න සිත කිලිටි වේ. සිතේ කිලිටි බව ඔහුගේ කාය කර්ම ආදිය කිලිටි කරයි. සිතට එන හැම සිතිවිල්ලක්ම ක්‍රියාත්මක කිරීම තිරිසන් සතුන්ගේ ස්වභාවයයි. එහෙත් මිනිසා එසේ නොකරයි. ඔහු එසේ නොකරන්නේ එහි හොඳ නරක මැන බැලීමේ මිනුම් දණ්ඩක් ඔහු තුළ ඇති බැවිණි. තමා නිසා, ලෝකය නිසා, ධර්මය නිසා හෝ යන කවර අංශයකින් හෝ මැන කිරා බලා තමාට එන සිතිවිලි පාලනය කරගැනීමට මිනිසාට හැකි ය. ඒ ශීලයයි. තිරිසන් සතා මෙන් එන හැම සිතිවිල්ලක්ම ක්‍රියාත්මක කරන්නේ නම්, ඒ පුද්ගලයා මිනිසුන් ගොඩට නොව තිරිසන් සතුන්ගේ ගොඩට ය. එසේ බැලීමේ දී මිනිසා තිරිසනාගෙන් වෙන්කිරීමට මූලික වශයෙන් ශීලය අවශ්‍ය වේ. සමාජයක සදාචාරාත්මක දියුණුව පවතින්නේ ශීලය තුළිනි. යම් තැනක ශීලය නොමැති නම්, එතැන අශිෂ්ටය ප්‍රාථමිකය.

මිනිසාට ශීලයක් අවශ්‍ය වන්නේ කුමක් නිසා ද? යන්න මෙයින් පැහැදිලි කරගත හැකි ය. සිල් ගැනීම නොඑසේ නම්, සමාදන්වීම රැකීම එකකි. කෙනෙකු සිල්පද සමාදන් වුව ද, එය ආරක්ෂාකර නොගන්නේ නම්, එය ශීලයක් නොවේ. සමාදන්වීම යන්නෙන් අදහස් කරන්නේ ප්‍රතිපත්තියක් ආරක්ෂා කිරීමට පොරොන්දු වීමකි. අධිෂ්ඨාන කරගැනීමකි. පොරොන්දුවක් අධිෂ්ඨානයක් ගත හොත් එය ඉටුකළ යුතු ය. සිල් සමාදන්වීම ද එබඳුය. පොරොන්දු වූ පරිදි එය ආරක්ෂා කරගත යුතු ය. සිල්රැකීම යනු එයයි. සිල්ගැනීම සමාදන් වීම තරම් පහසු කරුණක් නොවේ. තම බිත්තර රකින කිරල දෙන මෙන්ද . දිවිපුදා හෝ තම වලිගය ආරක්ෂා කරගන්නා සෙමෙර මුවා මෙන් ද, තම එකම පුතු රකින මවක පියෙකු මෙන්ද, ශීලය රැකිය යුතු බව බෞද්ධ උපදේශයයි. සමාදන් වූ ශිලය මුලින් හෝ අගින් සිල් පදයක් බිඳුණ හොත් එම ශීලය ඛණ්ඩ ශිලය යැයි කියනු ලැබේ. අඳින ලද වස්ත්‍රයක මැද සිඳුරක් වුවහොත් එය ඇඳීමට නුසුදුසු සේ එමෙන් සමාදාන්වූ ශීලයෙහි මැදින් සිල්පද කැඩීයාම ශීලයෙහි සිල්පද කිහිපයක් බිඳීයාම තැනින් තැන කළු හෝ රතු ලප හැදුන එළදෙනකුට සමාන කර තිබේ. සිල්පද බිඳීයාම තැනින් තැන විෂම තිත් ඇති එළදෙනෙකමෙනි.

ශීලය දූෂිත වන්නට ඉඩ නොදී ගෞරවයෙන් මහන්සියෙන් යුතු ව සිල්රැකීම නියම ශීල සමාදානය යනුවෙන් අදහස් කෙරේ. තණ්හා දිට්ඨි මාන ආදියෙන් තොර බුද්ධාදී උතුමන් කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්තව උසස් ලෙස රකින ශීලයෙහි ආනිශංස ඉතා උසස් ය.

එසේ උසස් කොට රකින ශීලය හේතු කොටගෙන පුද්ගලයා දුසිරිතෙන් දුරු කරයි. කෙලෙස්වලින් ඈත් කරවයි. සිරිත් විරිත්, ත්‍රිවිධ්‍යා අභිඤ්ඤා ආදී ඤාණ ශක්තීන් ලබාදේ . නිවනට පවා ළඟාවන්නේ ශීලය නැමැති පදනමයි. බෞද්ධ නිකාය ග්‍රන්ථ බොහොමයක ඒ ඒ තැන ශීලානිශංස දක්වා තිබේ. ඒ අනුව සිල්වත් පුද්ගලයාට මහත් උපභෝග පරිභෝග සම්පත්ති හිමි වේ. සිල් රකින්නා පිළිබඳ යහපත් කීර්තිරාවයක් ද පැතිරී යයි. ඕනෑම පිරිසක් ඉදිරියට නොබියව නොපැකිළිව සැකයකින් තොරව පැමිණිය හැකි වෙයි. සිල්වතා මනා සිහිනුවණින් මරණයට මුහුණ දෙයි. ඒ ශිලානිශංස පහයි.

 

  බක් පුර අටවක පෝය


 බක් පුර අටවක පෝය මාර්තු 24 වනදා සෙනසුරාදා පූර්ව භාග 10.07 ට ලබයි. 25 වනදා ඉරිදා පූර්ව භාග 03.04 දක්වා පෝය පවතී.

සිල් සමාදන්වීම මාර්තු 24 වනදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 24

Full Moonපසෙලාස්වක

මාර්තු 31

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]