Print this Article


උපත් සතරකි - අණ්ඩජ: බිජුවටින් උපදින සත්ත්ව කොට්ඨාශ

 

අණ්ඩජ: බිජුවටින් උපදින සත්ත්ව කොට්ඨාශ

බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ මහා සිහනාද සූත්‍රයේ සත්ත්වයන් පහළ වන යෝනි හතරක් පිළිබඳව සැරියුත් තෙරණුවන්ට දේශනා කර ඇත. ඒ අනුව සාරිපුත්තය, මෙහි යෝනියෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත් අණ්ඩජ යෝනිය , ජලාබුජ යෝනිය, සංසේදජ යෝනිය, ඕපපාතික යෝනිය යනුයි. මේ අනුව සත්ත්වයන් උපදින යෝනි හතර නම්, අණ්ඩජ යෝනි, ජලාබුජ යෝනි,සංසේදජ යෝනි, ඕපපාතික යෝනි යනුවෙන් දැක්විය හැකි ය. එම සූත්‍රයට අනුව අණ්ඩජ යෝනිය යනු කවරෙක් ද? යනුවෙන් එහි දක්වා ඇත.

සාරිපුත්තය, අණ්ඩජ යෝනිය කවරේ ද? යත්, සාරිපුත්තය, යම් සත්ත්වයෙක් බිජුවට බිඳගෙන උපදී ද සාරිපුත්තය, මේ අණ්ඩජ යෝනිය යැයි කියනු ලැබේ. මෙහි යෝනි යනුවෙන් සඳහන් කර ඇත්තේ සත්ත්ව කොට්ඨාශයක් හැඳින්වීමට බව සඳහන් වේ.

ඒ බව සංයුක්ත නිකායේ ද කිහිප තැනකම අණ්ඩජ සත්ත්වයන් පිළිබඳව සඳහන් වේ. ඒ අතර නාග සංයුක්තකයේ නාග වග්ගයේ විසුද්ධික සූත්‍රයේ නාගයන් ඉහත සඳහන් යෝනි හතරෙන් ම උපදින බව සඳහන් වේ. එසේම නාග යෝනි හතරෙන් උසස්ම නාග යෝනිය වන්නේ ඕපපාතික යෝනියෙන් උපන් නාගයන් බව ්එහි සඳහන් වේ.

දෙවනුව සංසේදජ යෝනියෙන් උපන් නාගයන් ද ,තෙවනුව ජලාබුජ යෝනියෙන් උපන් නාගයන් ද, හතරවැනිව අණ්ඩජ යෝනියෙන් උපන් නාගයන් ද වන බව වැඩිදුරටත් එහි දක්වා ඇත. සංගීතක සූත්‍රයේ ද මේ යෝනි හතර පිළිබඳ සඳහන් වේ. තවද නාගයන් මෙන් ම සුපර්ණයින්ගේ උප්පත්තිය සිදුවන යෝනි හතරක් පිළිබඳව හලන්ති සූත්‍රයේ ද සඳහන් වේ.

එහි එම යෝනි ද අණ්ඩජ, ජලාබුජ, ඕපපාතික හා සංසේදජ යනුවෙන් සඳහන් කර ඇත. මේ අනුව අණ්ඩජ යෝනි නාග සුපර්නයින්ගේ පමණක් නොව, විවිධ පක්ෂින් වර්ග ,විවිධ මත්ස්‍ය වර්ග , උරග වර්ග විශේෂයන් ද අණ්ඩජ යෝනියෙන් උපදින බව දක්නට ලැබේ. බොහෝ පක්ෂීන් බිජු ලෑමෙන් පසු ඒවා එක්තරා දින ගණනක් ඉතාම උණුසුමෙන් රැක ගනිමින් තම වර්ගයා බෝ කරගනී. නිදසුනක් ලෙස මොනර බ්ත්තරයකින් පැටවුන් බිහිවීමට දින 42ක් ද, කිකිළි බිජුවකින් පැටවුන් බිහිවීමට දින 21 ක්ද, ගතවන බව සඳහන් කළ හැකි ය. මේ අනුව ඒ ඒ පක්ෂීන්ට තම පැටවුන් බිහිකිරීමට ගතවන කාලය වෙනස් වේ. වර්තමානයේ කෘත්‍රීමව අවශ්‍ය උණුසුම ද ලබා දී එවන් පැටවුන් බිජුවටෙන් බිහිකර ගන්නා අවස්ථා ද දක්නට ලැබේ.

එසේම කැස්බෑවුන්, කටුස්සන් වැනි සත්ත්ව කොට්ඨාශයන් ද,ගොඩබිම වළක් හාරා ඒ තුළ බිජු දමා පස්වලින් වැසූවිට අවශ්‍ය පරිදි උණුසුම ලබාගනිමින් එම බිජු මෝරා පැටවුන් බිහිවන අණ්ඩජ යෝනියේ සත්ත්ව කොට්ඨාශයන් ද ඇත. එසේම ජලයේ වෙසෙන ඇතැම් මත්ස්‍ය වර්ග ජලයෙහිම ආරක්ෂිත ස්ථානයන්හි බිජු දමා තම වර්ගයා බෝකර ගනී. ඒ අනුව අහසෙහි ද, ගොඩබිමෙහි ද, ජලයෙහි ද වාසය කරන විවිධ සත්ත්ව කොට්ඨාශයන්ගේ උපත අණ්ඩජව (බිජු ඇට) උපදින බව පෙනේ.

මත්ස්‍ය වර්ගයාගේ උපත සිදුවන්නේ ජලාබුජව වුවත්, අණ්ඩජව උපන්න අවස්ථා ගැන සඳහන් වේ. බුද්ධ කාලයේ වැඩ සිටි කොන්ත පුත්ත තෙරුන් වහන්සේ මෙසේ අණ්ඩජව( බිජුවකින්) උපන් බව සඳහන්වේ . මේ ආකාරයට බිජුවටින් උපදින විවිධ සත්ත්ව කොට්ඨාශයන් ලෝකයේ දැකිය හැකිය හැකි ය.