Print this Article


බුදුපිළිමයේ උපත - 97: කේශ ධාතුන් වහන්සේ වැඩ සිටින ගිරිහඬු දාගැබ

බුදුපිළිමයේ උපත - 97:

කේශ ධාතුන් වහන්සේ වැඩ සිටින ගිරිහඬු දාගැබ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

එකල බුදුහු ඒ පාත්‍රයෙන් මී පිඬු පිළිගෙන පළමු වන භෝජනය වළඳා ඒ වෙළෙඳ දෙබෑයන්ට අනුමෙවෙනි බණ වදාරා බුදුසරණ, දහම් සරණ, පිහිටුවා ඔවුන් බුදු සස්නෙහි ද්විවාචික නම් උපාසක කළ සේක. ඒ වෙළඳ දෙබෑයෝ ස්වාමීනි! නිති අප වැඳ පුදා ගන්නා නියායෙන් වස්තුවක් දුන මැනවැයි කීහ. ස්වාමිදරුවෝ බුදුරජාණන් වහන්සේ ශී‍්‍ර හස්තයෙන් සිරස පිරිමැද කේශ ධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔවුන් රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන රථයෙහි තබා සියනුවර ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගලපිට තබා බත්පිස කා යන කල දා කරඬුව තිබූ පළින් සොලවා ගත නොහී මේ උත්තම ස්ථානයක් වනැයි දැන පාෂාණ ගොඩකින් වසා ගඳ දුම් මල් පුදා ගියහ. පසුව එතෙන ගිරිහඬු නම් වෙහෙරක් විය.

(පූජාවලිය – මයුරපාද පරිවෙනාධිපති පූජ්‍ය බුද්ධපුත්‍ර හිමි පි. 206 සංස්කරණය - කීර්ති නාරම්පනාව බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල -2012)

මේ පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා තපස්සු භල්ලුක යන නාමයන් දෙක ක්‍රි.ව. අටවැනි සියවස ට අයත් සංස්කෘත භාෂාවෙන් ලියන ලද, පිහිටි ගලෙහි දක්නට ලැබෙන ශිලා ලේඛනයක දක්නට ලැබෙන බව ද සඳහන් කරයි.

මේ පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ ද සඳහන් කරයි.

ක්‍රිස්තු පූර්ව මුල් සියවස් කීපය තුළදී මෙම ස්ථානයෙහි භික්ෂූන් වහන්සේලා වාසය කර ඇති බව එහි ඇති එක් ගල් ලෙනක කටාරමට යටින් කොටා ඇති පාඨයකින් ඔප්පු වේ. පැරැණි ශිලා ලේඛන ශාස්ත්‍රය අනුව අට වැනි සියවස ට අයත් යැයි කිව හැකි ලේඛනයක් අනුව මෙම කන්ද මුදුණේ ඇති සිද්ධස්ථානය “ගිරිකණ්ඩි” චෛත්‍යය යනුවෙන් හැඳින්වේ. ත්‍රපුෂ හා භල්ලික යන දෙදෙනා නමින් හැඳින්වුණු එසේ නැතහොත් ඒ දෙදෙනාගේ නායකත්වය යටතේ වු කිසියම් වෙළෙඳ සමාගමක් (ගණයක්) මගින් මෙම චෛත්‍යය ඉදි කරවනු ලැබ ඇති බව මෙම සංස්කෘත සෙල්ලිපියෙන් හෙළිවේ. ත්‍රපුෂ හා භල්ලික (පාලියෙන් තපස්සු හා භල්ලුක) යන දෙදෙනා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට එළඹුණු පසු උන්වහන්සේට ප්‍රථම දානය පූජා කළ අය බව ත්, වැඳුම් පිදුම් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ඔවුන්ට කේශ ධාතු කීපයක් දුන් බවත් බෞද්ධ පොතපතෙහි සඳහන් වේ.

මේ වෙළෙඳුන් දෙදෙනා එම කේශ ධාතු කරඬුවක තැන්පත් කරගෙන තමන් යන යන තැන ගෙන යන බවත්, එක් වෙළෙඳ ගමනක දී ඔවුන් ලංකාවේ කිසියම් වෙරළබඩ ස්ථානයකට ගොඩබට බවත් පුජාවලියෙහි සඳහන් කර තිබේ.ආහාර පිසීම අවශ්‍ය වූයෙන් තමන් ආරක්ෂා සහිත යැයි සිතූ තැනෙක ගලක් මත ධාතු කරඬුව තබා ඔවුහු දරට ගිය හ. ආහාර පිස වළඳා අවසන්වූ පසු තම වෙළෙඳ කටයුතු සඳහා මුහුදු ගමන ඇරඹීමට නැවට යනු පිණිස ඔව්හු ධාතු කරඬුව තමන් මොහොතකට යැයි කියා තැබු ස්ථානයෙන් ගැනීමට ගිය හ. එහෙත් සිදුවුයේ ප්‍රාතිහාර්යයකි. කෙතරම් වෙහෙස දැරුව ද ධාතු කරඬුව තිබු තැනින් ඉවත් කිරීමට නොහැකි විය. මේ ප්‍රාතිහාර්යයේ අරමුණ වෙළෙඳුන්ට අවබෝධ විය. ඔවුහු බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබුණු කරඬුව පිහිටි තැන තමන්ට හැකි තරමින් කුඩා ස්තූපයක් ඉදි කරවා පිටත්ව ගියහ. කේශ ධාතු ස්තූපයේ නිධන් විය. ඉහත කී ප්‍රාතිහාර්ය සිදුවූයේ ගිරිහඬු නමැති ස්ථානයේ බව පූජාවලිය පවසයි. ගිරිහඬු යන්න ශබ්ද ශාස්ත්‍රානුකූලව විකෘති වී ‘ගිරිකණ්ඩි’ යනුවෙන් පෙරළිය හැකි ය. ඒ නිසා සංස්කෘත ශිලා ලේඛනයේ සඳහන් පුදබිම මෙය විය හැකි ය. තිරියාය කඳු මුදුණේ ඇති ස්තුපය පූජාවලියේම සඳහන් ස්තූපයම විය යුතු යැයි සැලකීම සාධාරණ ය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධාතුන් වහන්සේ මෙම ස්තූපයේ නිදන් කර ඇති බව ක්‍රි.ව. සත්වන සියවසේ දී ලංකාවේ නැගෙනහිර පළාතේ බෞද්ධයන් ද ඇදහූ බව පෙනේ.

මියන්මාර්හි (බුරුමයේ) රැන්ගුන්පුරයේ ස්වෙදගොන් චෛත්‍යය පිළිබඳ බුරුම බෞද්ධයින්ගේ විශේෂ ශ්‍රද්ධාව ඇත්තේ මෙවැනි ම හේතුවක් නිසා ය. වර්තමානයේ අවසානයේ (ඇෆ්ගනිස්ථානයේ) බල්ක් සහ බාමියන් යන ස්ථාන අතර පිහිටි ස්තූපයක් ත්‍රපුෂ සහ භල්ලික යන දෙදෙනා විසින් බුදුරජාණන් වහන්සේ අතින් ලැබූ ධාතු නිදන් කිරීම සඳහා සාදවන ලද්දක් බව එම ප්‍රදේශයේ සැලකූ අන්දම චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වු හියුංෂාං හිමියෝ සිය ගමන් විස්තරයේ සඳහන් කරති. දොළොස්වන සියවස ගෙවී මද කලක් ගිය පසු මෙරට බෞද්ධයන් නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයෙන් ඉවත්ව ගිය විට පුරාණ ගිරිඛන්ඩ චෛත්‍යයත්, ඊට සම්බන්ධ විහාරාරාම පද්ධතියත් ක්‍රමයෙන් ගරා වැටී අන්තිමේ භාවිතයෙන් අමතක වී යන්නට ඇත. එහෙත් මුහුදින් ඈත ගම්වල වාසය කළ සිංහලයින් මෙම පුදබිම ඉතා පුජනීය බව සලකා වැඳුම් පිදුම් කර ඇත. ඊට හේතුව ලංකාවේ බෞද්ධ විහාරස්ථාන නාමාවලියක් වශයෙන් මහනුවර යුගයේ දී ලියන ලද නම්පොත නම් ග්‍රන්ථයේ මෙම පුදබිම නිතුපත්පැන යනුවෙන් සඳහන් කිරීම ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පළමුවෙන් ම තිරියායට (ගිරිහඬු වෙහෙර) ගියේ 1930 වර්ෂයේ දී ය.ඒ වර්ෂයේ දී ම මේ පුදබිම පුරා විද්‍යා ආරක්ෂිත භූමියක් ලෙසට ප්‍රකාශ කර ලේඛනගත කර ඇත.

පුරාවිද්‍යා පර්යේෂණ – මහාචාර්ය සෙනරත් පරණවිතාන

පි. 208-209 විසිදුණුූ ප්‍රකාශනයකි. 2001)

ගිරිහඬු සෑය නැගෙනහිර පළාතේ පිහිටි පැරැණි බෞද්ධ සිද්ධස්ථානයකි. කඳුගැටයක් මත පිහිටි මෙම දාගැබ ගිරිහඬු සෑය නමින් ද ප්‍රකට ය. මෙම පුදබිම කඳුගැටයට නැගීම පිණිස දකුණු පැත්තේ පඩි පෙළකි. පසු කලෙක එම දාගැබ විශාල කර නිර්මාණය කර ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ අදහස ය. එම දාගැබ ක්‍රිස්තු වර්ෂ අට වැනි සියවසේ දි පමණ වටදාගෙයක් සාදා ඇත. තිරියායේ ගිරිසෑයේ වටදා ගෙය ද ඉතා ප්‍රසිද්ධ වු වටදාගෙයකි. වෘත්තාකාර වේදිකාවක් මත මෙම වටදා ගෙය නිර්මාණය කර ඇත. දාගැබ වටා ගල් ටැම්පේළි දෙකක අවශේස අද පවා දක්නට ඇත. දාගැබ පිහිටි මළුව කෙළවරෙහි ගලෙන් නිම කළ අඩි 5 ක් පමණ උස්වන බිත්තියක් වටේට බැඳ ඇත. එම බිත්ති මත තැනින් තැන ලී කණු සවි කිරීමට සාදන ලද කුහර ද දැකිය හැකි ය. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය – සිරිසමන් විජේතුංග පි. 249 .දයාවංශ ජයකොඩි සහ සමාගම – 2003)


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 96: රාම ග්‍රාමයේ සර්වඥ ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ නිධන් කළ වගයි