Print this Article


ශ්‍රද්ධාවේ බලය

ශ්‍රද්ධාවේ බලය

චූල සුභද්‍රාව අනේපිඬුසිටුතුමාගේ ආදරවන්ත දියණියකි. අනේපිඬුසිටුතුමා සිටියත් නැතත් තම නිවසට වැඩම කරන මහා සංඝරත්නය වෙනුවෙන් ඉටුකළ යුතු සියලු කාර්ය යන් වගකීමකින් නොපිරිහෙලා ඉටුකළ තැනැත්තියක් ලෙස චූලසුභද්‍රාව මහා සංඝ රත්නය ඇතුළු සෑම දෙනාගේ ම ප්‍රශංසාවට ලක්වූහ. නිතිපතා බුදුරදුන්ගෙන් බණ ඇසූ ඇය ශ්‍රද්ධාවන්ත ය. ගුණගරුක ය.

අනේපිඬු සිටුතුමාගේ යහළුවෙකු වු උග්‍ර සිටුතුමා තම මිතුරා මුණගැසීම සඳහා සමහර අවස්ථාවල අනේපිඬු සිටුතුමාගේ නිවසට පැමිණෙයි. එසේ පැමිණෙන සෑම අවස්ථාවක ම උග්‍ර සිටුතුමා ඇතුළු පිරිසට අවශ්‍ය පහසුකම් හා සංග්‍රහ කටයුතු ඉටුකරලීමේ වගකීම පවරා තිබුණේ චූලසුභද්‍රාවට ය. චූලසුභද්‍රාව ද උග්‍ර සිටුවරයා ඇතුළු පිරිසට අවශ්‍ය සියලු පහසුකම් ඉතා හොඳින් ඉටුකරයි. සංග්‍රහ කටයුතු පමණක් නොව ඇයගේ කතාබහ ඇවතුම් පැවතුම් ඇතුළු සියල්ලම පි‍්‍රයශීලී ය. සුහදශීලී ය. ඇයගේ ප්‍රසාදජනක ඇවැතුම් පැවතුම් දුටු උග්‍ර සිටුවරයාට වැදගත් අදහසක් පහළ විය. එනම් තම පුත්‍රයාට විවාහයක් සඳහා සුදුසු ලේලියක් මේ දිනවල සොයන බවත් ඒ සඳහා මේ චූලසුභද්‍රාව ගැලපෙන හොඳ සහකාරියක් වනු ඇත යන හැඟීමය. මේ ගැන තම මිත්‍ර අනේපිඬු සිටුතුමාගෙන් අසන්නට තීරණය කර හවස විවේකීව කතාබහ කරමින් සිටින විට මේ ගැනද විමසී ය.

යහළුව, ඔබේ චූල සුභද්‍රාව හරිම හොඳ දියණියක්. කතාව හරිම සිත්කළුයි. ඇවැතුම් පැවැතුම් හරිම ප්‍රසන්නයි. ආගන්තුක සත්කාර අපට සුවදායකයි. මගේ පුතාට විවාහ කර දීමට ඇය සුදුසු බව මට සිතුණා. මේ ගැන ඔබ මොකද කියන්නේ ? අනේපිඬු සිටුතුමා දුන්නෙ හරි පුදුම උත්තරයකි. “බුදුහාමුදුරුවන්ගෙන් අහලා මිසක් ,මේ ගැන දැන්න මට උත්තරයක් දෙන්නට බැහැ” විවාහ යෝජනාවේ දී දියයුතුව තිබුණේ සිටු දේවියත්, දියණියත් යන දෙදෙනාගෙන් කැමැත්ත විමසා බලා කැමැත්ත ගැනීමකි. එහෙත්, මෙහිදී සිටුවරයා කීවේ බුදුහාමුදුරුවන්ගෙන් අසා කියන්නම් කියලා. මෙබඳු උත්තරයක් දුන්නේ ඇයි? උග්‍ර සිටුතුමා ඇතුළු ඒ සියලු දෙනාම නිඝණ්ඨ ආගම අදහන පිරිසක් බව අනේපිඩු සිටුතුමා දනියි. තම දුව තුනුරුවන් කෙරේ බලවත් ශ්‍රද්ධාවෙන් යුතු තැනැත්තියක්. වැරදිලාවත් විවාහ වී ගිය පසු ආගමික පසුබිම මත ප්‍රශ්න ඇති වුවහොත් එය විවාහ දිවියට පවා ප්‍රශ්නයක් විය හැකියි. මේ නිසා මේ ගැන බුදුරදුන්ගෙන් ම අසා තීරණයක් ගත යුතු යි කියා අනේපිඬු සිටුතුමා තීරණය කරයි. පසුවදා ජේතවනාරාමයට ගිය සිටුවරයා මේ කාරණය බුදුරදුන්ට දැන්වී ය. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ කුමක් ද? සිටුවරය, ඒ යෝජනාව හොඳයි. එයට එකඟවන්න. ඒ අනුව ගෙදර අයටත් දන්වා ඒ අයගේ ද අනුමැතිය ඇතිව විවාහ මංගල්‍යය සිදුකර පිරිසත් සමඟ රජගහනුවර උග්‍ර සිටු නිවසයට ඇරලවී ය. ඒ සිටු නිවසේ දී විවාහ මංගල්‍ය උත්සවය උත්කර්ෂවත් අන්දමින් දින කිහිපයක් ම පැවැත්විණි. මේ උත්සවය අතරතුර යුග දිවියට පත් මේ දෙපළට ආශිර්වාද කිරීම පිණිස ඒ ආගමේ පූජක පිරිසක් පැමිණියහ. අපේ ආගමේ පුජක පිරිසක් පැමිණි සිටිනවා ඔබ දෙපළට ආශිර්වාද කරන්න. ඒ නිසා ඉස්සරහට එන්න කියා මාමාත් නැන්දනියත් චූල සුභද්‍රාවගෙන් ඉල්ලා සිටියහ. චූලසුභද්‍රාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ය. ඔබලාගේ ආගමේ පූජකයින් ලජ්ජා භය නැති පිරිසක්. මට ඒ අය ඉදිරියට එන්න බැහැ. නැන්දනිය කිහිප විටක්ම ඉල්ලීම කළ ද ඒ සෑම විටම අකැමැත්ත ප්‍රකාශ කළා ය.

තම අදහසට එකඟ නොවු නිසා කෝපයට පත් නැන්දණිය හොඳයි, අපේ පූජක පිරිස ලජ්ජා බය නැති පිරිසක් නම්, ඔබේ ඔය බුදුහාමුදුරුවන් හා ඒ භික්ෂූහු කෙබඳු අය ද කියා මට කියන්න. මෙයට පිළිතුරු ලෙස චූල සුභද්‍රාව පහත සඳහන් ගාථාව ඇතුළු ගාථා හතකින් භික්ෂූන් වහන්සේගේ ගුණය ප්‍රකාශ කළා ය.

සන්තින්ද්‍රියා සන්තමානසා සන්තං තෙසං ගතං ඨිතං
ඔක්ඛිත්ත චක්ඛු මිතභාණී තාදිසා, සමණා මම

මගේ ශ්‍රමණයන් වහන්සේලා සන්සුන් ඉඳුරන් ඇත්තෝය. සන්සුන් සිත් ඇත්තෝය. සන්සුන් ගමන් බිමන් ඇත්තෝය. බිමට හෙළූ නෙත් ඇත්තෝ ය. ප්‍රමාණවත්ව කථා කරන්නෝ ය. මේ ක්‍රමයට බුදුරදුන්ගේත්, මහා සංඝරත්නයේත් ගුණ ඇසූ සිටුවරයාත්, සිටුදේවියත් චූල සුභද්‍රාව කෙරෙහි පැහැදුනහ.

ඔබගේ ඔය ශ්‍රමණයන් වහන්සේලා අපට දැකගන්නට අවශ්‍යයි. පුළුවන්නම් හෙට මේ සිටුමාලිගයට වැඩම කරවන්න. අප දානය සූදානම් කරවන්නම්. චූල සුභද්‍රාව මේ අභියෝගයට මුහුණ දුන්නා ය. පිච්චමල් අට මිටක් කඩා ගෙන සිටුමාලිගයේ උඩුමහල් තලයට ගොස් බුදුරදුන් වැඩ සිටින දිසාවට හැරී පසඟ පිහිුටා වැඳ අත් දෙක නළලෙහි තබාගෙන බුදුරදුන් සිහිකොට “අනේ බුදුහාමුදුරුවනේ මා ඔබ වහන්සේගෙන් ඉතා ශ්‍රද්ධාවෙන් බණ ඇසු කෙනෙක්. ඒ බණ පිළිපැද්ද කෙනෙක්. මේ අත්දෙකෙන් ඔබ වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට නිතිපතා දන් බෙදූ කෙනෙක්. අවශ්‍ය සත්කාර කළ කෙනෙක්. මගේ මේ ඉල්ලීමට ඔබ වහන්සේගේ කාරුණික බැල්ම යොමුවන සේක්වා යි තම ඉල්ලීම ප්‍රකාශකොට පිච්චමල් අට මිට උඩට විසි වීසි කළ බවත් ඒ පිච්චමල් අට මිට ජේතවනාරාමයෙහි බුදුරදුන් බණ දෙසමින් වැඩ සිටි ආසනය උඩින් වියනක් සේ සැකසුන බවත් අටුවාවන්හි සඳහන් ය.

මේ අවස්ථාවෙහි බුදුරදුන් ඉදිරිපිට බණ අසමින් සිටි අනේපිඬු සිටුතුමා බණ අවසන් වූ පසු බුදුරදුන් වෙත සමීපව “හෙට අපගේ නිවසට දානය සඳහා වඩින සේක්වා’යි ආරාධනා කළේ ය. සිටුවරය, හෙට දානය සඳහා ආරාධනාවක් මා විසින් බාරගෙන ඇත’ යනුවෙන් ප්‍රකාශ කළ විට කවුද ස්වාමීනි ආරාධනා කළේ, කිසිවෙකු ආරාධනා කරනු මම නො දුටුවෙමියි සිටුවරයා කී විට මට මේ ආරාධනාව කළේ ඔබගේ දුවණිය චූල සුභද්‍රාවයි කියා බුදුරදහු ප්‍රකාශ කළ හ. ඒකවෙන්න බැහැ බුදුහාමුදුරුවනේ, ඇය මේ දවස්වල රජගහනවුර ඇයගේ විවාහ මංගල උත්සවයේ යෙදිලයි ඉන්නෙ. එම කලබල අතර ඇය ඔබ වහන්සේට ආරාධනා කළේ කෙසේ ද? මේ අවස්ථාවේ බුදුරදහු පහත දැක්වෙන ගාථාව දේශනා කළහ.

දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝ’ව පබ්බතො
අසන්තෙන්ථ න දිස්සන්ති රත්තීං ඛිත්තා යථා සරා

සත්පුරුෂයා දුර සිටියත්, හිමාලය පර්වතය මෙන් මා ඉදිරිපිට සිටින්නාක් මෙන් ප්‍රකටව පෙනේ. රාත්‍රියෙහි විදින ලද ඊතලයක් මෙන් අසත්පුරුෂයා ළඟ සිටියත් නො පෙනෙනු ඇත.

පසුදින බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය උග්‍ර සිටුමැදුරේ දනට වැඩියහ. බුදුරදුන් දෙසු දහම් අසා සිටුතුමා ඇතුළු බොහෝ දෙනා තෙරුවන් සරණ ගියහ. චූලසුභද්‍රාව නැදිමයිලන් සතුටු කිරීම සඳහා සිය ආගම වෙනස් නො කර සිටුපවුල ඇතුළු සැම දෙනාටම සෙතක් සැලසීමට සමත් සැදැහැවත් බෞද්ධ උපාසිකාවක ලෙස කටයුතු කිරීම අපට මහඟු ආදර්ශයක් වනු ඇත.