Print this Article


පිරිත් දේශනාව - 08: පිරිත් ධර්ම ශ්‍රවණයට සූදානම් වීම

පිරිත් ධර්ම ශ්‍රවණයට සූදානම් වීම

පළමුවෙනි බණ වර

අකුරු තිස් දෙකක් ගාථාවකි. ගාථා දෙසිය පනහක් එනම් අකුරු අටදාහක් බණවරකි. මේ අනුව චතුභාණ වාර පාලියේ හෙවත් පිරිත් පොත් වහන්සේ තුළ බණවර සතරක් අන්තර්ගත වේ. ඒ අනුව අකුරු තිස්දෙදහසක් අන්තර්ගත වේ. මෙසේ සකස් කරන ලද පිරිත් පොත් වහන්සේතුළ ක්‍රමානුකූල සැකැස්මක් හඳුනාගත හැකි ය.

සරණාගමනය

බුද්ධ දේශනාව අනුව යමෙකු බෞද්ධයෙකු වන්නේ තෙරුවන් සරණ යාමෙනි. මෙහි දී තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාවකින් උපාසක උපාසිකාවන් කටයුතු කරයි. එය ආධ්‍යාත්මික ව චිත්ත සංවර්ධනයක් ගොඩනගාගෙන ජීවිතයට අවශ්‍ය ආශිර්වාදය ලබා ගැනීම සඳහා පදනම සකස් කරයි.

දස සික්ඛාපද

පුද්ගලයාගේ කායික වාචසික හික්මීම ඇති කිරීම තුළින් විරති හා සමාදාන යන දෙ අංශයෙහි සම්පූර්ණ කිරීමක් සිදු කරයි. උසස් මානසික දියුණුවක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගනී.

සාමණේර පඤ්හ

මෙහි දී බුදුරදුන් විමසූ ප්‍රශ්න දහයක් සඳහා සෝපාක හිමියන් විසින් ලබාදෙන ලද පිළිතුරු අන්තර්ගත වේ. එහි ආරම්භයේ දී ම ඒකනාමකිං යන ප්‍රශ්නය විමසා ඇත. එයට ලැබී ඇති පිළිතුර වන්නේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන බව ප්‍රකාශ කරයි.

කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඤ්ඤාණ ආහාර යනුවෙන් ආහාර හතර වර්ගයක් ගැන කිය වේ. පුද්ගලයාගේ පැවැත් ම සිදුවන්නේ මෙම ආහාර නිසා ය.

එසේ සාමණේර භික්ෂූන්ගේ බුද්ධිය විමසා බලා අවසානයේ දී දස නාමකිං යන ප්‍රශ්නය විමසයි. එයට ලැබෙන උත්තරය වන්නේ දස හංගේහි සමන්නාගතෝ අරහාති වුච්චතීති, යන්නෙන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, සම්මා ඤාණ, සම්මා විමුක්ති යන අංග දහයෙන් සපිරුණු තැනැත්තා අරහත් (රහතන් වහන්සේ) යනුවෙන් හඳුන්වයි. මෙහි දී ශ්‍රාවකයින්ගේ මනස බුද්ධිමය විපර්යාසයකට හසු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරයි.

ද්වත්තිංසකාරය

විදර්ශනාවෙන් අරමුණු කරන්නේ අරමුණුවල යථා ස්වභාවය හඳුනා ගැනීමයි. චක්ඛු, සෝත, ඝාන යනාදි ඉන්ද්‍රියයන්ට ගෝචරවන රූප, ශබ්ද, ගන්ධ යනාදී අරමුණුවල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම මින් අපේක්ෂා කරයි.

පිරිත් දේශනාව ආරම්භක කොටසේ දී ම පුද්ගලයාගේ ශරීරයේ ඇති කෙස් ලොම් ආදි තිස් දෙකක් වූ කුනප කොටස් පිළිබඳ ව මෙනෙහි කිරීමක් සිදු කරයි. මෙම කොටස් තිස් දෙක මෙනෙහි කරන විට ශරීරයේ ප්‍රකෘති ස්වභාවය පිළිබඳ ව මනා අවධානයක් ගොඩ නැගේ. එවිට ශරීරයේ සාර වශයෙන් ගතයුතු යමක් නැති බව හඳුනා ගනී. එතුළින් ජීවිතයේ නිවැරදි තතු දැනගෙන ජීවිතාවබෝධය උපදවා ගනී.

පුද්ගලයා රාග, දෝස, මෝහ ආදි අකුසලයන්ට බරවෙන්නේ ජීවිතයේ සැබෑ තතු නොදත් හෙයිනි. ඒ නිසා පිරිත් දේශනාව ආරම්භයේ දී ම කෙලෙස් බරිත සිතුවිලි සමූහමයකට හසුවීමට පුද්ගල මනසෙහි ඇති යොමුවීම අවම කර උසස් සිතුවිලි ධාරාවකින් මනස පොහොසත් කර වඩාත් සුපිරිසුදු මමෝභාවයන්ගෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණයට මෙමගින් පුද්ගලයා යොමු කරයි.