Print this Article


පින් වැඩෙන බෝධි වන්දනාව - 06: පින් වැඩෙන බෝධි වන්දනාව

පින් වැඩෙන බෝධි වන්දනාව - 06:

පින් වැඩෙන බෝධි වන්දනාව

බෝධින් වහන්සේ අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත්, පිරිනිවීමෙන් පසුවත් එකසේ ම පූජනීයත්වයට පත් වූ මහා වෘක්ෂරාජයාණෝ ය. අපට ඇතිවන බොහෝ කායික, මානසික පීඩාවලදී බෝ සෙවණේ සිට දුක කියන්නෙමු. සුවය පතා ප්‍රාර්ථනා කරන්නෙමු. එනිසා ම පින වැඩෙන ආකාරයට බෝධි වන්දනාවක් කරන ආකාරය පිළිබඳව බුදුසරණ සතර පෝදාම පළ කරමු. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ තේජානුභාවයෙන් ඔබට සෙත් වේවා.

බෝධි පූජා ශාන්තිය
මහාදයෝ මහා සත්තෝ
බෝධිමූලේ නිසීදිය
පඤ්චමාරේ පරාජෙත්වා
පත්තෝ සම්බෝධිමුත්තමං
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි මේ හෝතු සබ්බදා

මහත් වූ දයාව ඇත්තා වූ, මහ බෝධි සත්ත්වයන් වහන්සේ බෝධි මූලයේ වැඩ හිඳ පස් මරුන් පරදවා උතුම් සම්බෝධියට, බුද්ධත්වයට පැමිණි සේක. ඒ සත්‍ය වචනයේ ආනුභාවයෙන් මා සුවපත් වෙම්වා

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා
ජයං තදා නාග ගණා මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ජය ශ්‍රී මහ බෝධි මූලයේ දී මුනින්ද්‍රයන් වහන්සේට ජය අත්විය. වසවත් දේව පුත්‍රයා සහිත මාර සේනාවට පරාජය අත්විය යැයි බෝධි මණ්ඩලය තුළ ප්‍රමුදිතව එකල්හි රැස් වූ නාගරාජ සමූහයා මුනින්ද්‍රයන් වහන්සේ ට ජය ඝෝෂාව කළහ. එම සත්‍යානු බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා
සුපණ්න සංඝාපි ජයං මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ජය ශ්‍රී මහ බෝධි මූලයේ දී මුනින්ද්‍රයන් වහන්සේට ජය අත්විය. වසවත් දේව පුත්‍රයා සහිත මාර සේනාවට පරාජය අත්විය යැයි බෝධි මණ්ඩලය තුළ ප්‍රමුදිතව එකල්හි රැස් වූ සුපණ්න සමූහය මුනින්ද්‍රයන් වහන්සේට ජය ඝෝෂාව කළහ. එම සත්‍යානු බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා
ජයං තදා දේව ගණා මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ජය ශ්‍රී මහ බෝධි මූලයේ දී මුනින්ද්‍රයන් වහන්සේට ජය අත්විය. වසවත් දේව පුත්‍රයා සහිත මාර සේනාවට පරාජය අත්විය යැයි බෝධි මණ්ඩලය තුළ ප්‍රමුදිතව එකල්හි රැස් වූ දේව සමූහය මුනින්ද්‍රයන් වහන්සේට ජය ඝෝෂාව කළහ. එම සත්‍යානු බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ඝෝසයුං බෝධිමණ්ඩේ පමෝදිතා
ජයං තදා බ්‍රහ්ම ගණාපි මහේසිනෝ
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

ජය ශ්‍රී මහ බෝධි මූලයේදී මුනින්ද්‍රයන් වහන්සේට ජය අත්විය. වසවත් දේව පුත්‍රයා සහිත මාර සේනාවට පරාජය අත්විය යැයි බෝධි මණ්ඩලය තුළ ප්‍රමුදිතව එකල්හි රැස් වූ බ්‍රහ්ම සමූහය මුනින්ද්‍රයන් වහන්සේට ජය ඝෝෂාව කළහ. එම සත්‍යානු බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

ති‍්‍රවිධ රත්නය සමා කරවා ගැනීම

අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත, කය, වචනය යන තිදොරින් දැනුවත් ව හෝ නො දැනුවත් ව යම් වරදක්, යම් පමාවක්, යම් දෝෂයක්, බුද්ධ රත්නය කෙරෙහි ද, ධම්ම රත්නය කෙරෙහි ද, සංඝ රත්නය කෙරෙහි ද, මා අතින් සිදුවූයේ නම් ඒ සියලු වරද ට, ඒ සියලු පමාව න ට, ඒ සියලු දෝෂය න ට ත්‍රිවිධ රත්නයෙන් මම සමාව අයදිමි. ඒ සියලු වරදට ඒ සියලු පමාවන ට ඒ සියලු දෝෂයන ට දෙවනුව ද, මම ත්‍රිවිධ රත්නයෙන් සමාව අයදිමි. ඒ සියලු වරදට ඒ සියලු පමාවනට ඒ සියලු දෝෂනයට තෙවනුව ද මම ත්‍රිවිධ රත්නයෙන් සමාව අයදිමි. මට සමාව ලබාදෙන සේක්වා.