Print this Article


යමක වග්ගය 07-08 :

දෙව්දත් තෙරුන්ගේ කතාව

අනික්කසාවො කාසාවං - යො වත්ථං පරිදහෙස්සති
අපෙතො දමසච්චෙන - න සො කාසාවමරහති

දුරු කර නැති කෙනෙක් කසල - පොරවන මුත් කසාවතක්
සත්‍යය, දමනය නැති ඔහු - නො ගැලපේය කසාවතට

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයේ දෙව්දත් තෙරුන් අරභයා පහත ගාථා යුග්මය දේශනා කළහ.

අග්‍ර ශ්‍රාවක දෙනම පන්සියයක් බැගින් භික්ෂූන් වහන්සේලා ද කැටුව බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන ජේතවන විහාරයේ සිට රජගහනුවර බලා පිටත් වූහ. උන්වහන්සේලාගේ වැඩමවීමෙන් ඉතාමත් පී‍්‍රිතියට පත් රජගහනුවර වැසියෝ පෙර සිරිත පරිදි තනි තනිව හෝ කීපදෙනා එක්ව දානාමානාදියෙන් උපස්ථාන කළ හ.

එක් දිනක දන් වළඳා අවසානයේ දී භුක්තානුමෝදනාව සැරියුත් මහ රහතන්වහන්සේ “පින්වතුනි යම් කිසි පුද්ගලයෙක් තමන් දන් දෙයි. එහෙත් අන් අය දීමට උනන්දු නො කරයි. එනිසා දන් දුන් පිනෙන් බොහෝ සැප සම්පත් ලබයි. එනමුත් පරිවාර සම්පත්තිය නො ලබයි. තවත් පුද්ගලයෙක් තම ඤාති, මිත්‍ර අසල්වාසි ජනයා දන් දීමෙහිලා පොළඹවයි. එහෙත් ඔහු දන් නො දෙයි. එනිසා මතු භවයෙහි පරිවාර සම්පත්තිය ලබයි. තවත් පුද්ගලයෙක් දන් නො දෙයි. අන්‍යයන ද දීමට යොමු නො කරයි. හෙතෙම පින් මඳ නිසා මතු භවයන්හි දී කුස පුරා ආහාරයක් නො ලබයි. දුගී වෙයි. දුප්පත් වෙයි. අසරණ වෙයි. එමෙන් ම පිරිවර සම්පත්තියක් ද නො ලබා තනිවෙයි. තවත් තැනැත්තෙක්, දන් දෙයි. අන්‍යයන් ද දීමට පොළඹවයි. හෙතෙම මතු සසර, සිය ගණන් ආත්ම භාවයන්හි යස ඉසුරෙන් ද, පිරිවර සම්පත්තිය ද ලබා සතුටුවෙයි.” යනුවෙන් ධර්මදේශනා කළ සේක. දේශනාව අවසානයේ දී එක් උපාසකයෙක්” ස්වාමීනි හෙට මගේ දානය පිළිගත මැනවි” යි ආරාධනා කළේ ය. තවත් සැදැහැවතියෙක් ඉදිරිපත්ව ලක්ෂයක් වටිනා සළුවක් පරිත්‍යාග කරමින් “ හෙට පැවැත්වෙන දානයට කමක් හෝ දෙයක් වුවමනා වුණොත් ගැනීමට මේ සළුව විකුණා මුදල් ගෙන එය පිරිමසා ගන්න. එසේ අවශ්‍ය නො වුණොත් වස්ත්‍රය කුමන හෝ හිමිනමකට පූජා කරන්න”යි පැවැසී ය. දානය සඳහා කිසිදු අඩුපාඩුවක් නොවූයෙන් වස්ත්‍රය කාට පූජා කළ යුතු දැයි ප්‍රශ්නයක් ඇති විය.

“සැරියුත් මුගලන් දෙනම සිටියා වුවද උන්වහන්සේලා නිතර මෙහි නොරැඳෙති. දේවදත්ත හිමියෝ රජගහනුවර නිත්‍යවාසීහු වෙති. වස්ත්‍රය උන්වහන්සේ උදෙසා පුජා කරමු’යි යෝජනා විය. මේ සම්බන්ධයෙන් දායකයන් තුළ කසුකුසුවක් පැතිරිණ. සැරියුත් හිමියන්ට පිරිනමන්නට බොහෝ අය කැමැති වුවද කලාතුරකින් වඩිනා සැරියුත් හිමියෝ මෙන් නොව අපේ දනට, බණට, උත්සව දවසට මෙන්ම උත්සව නැති දිනයටද අප සමඟ මෙහි සිටින්නේ දේවදත්ත ස්ථවිරයෝ පින්තාලියක් මෙන් ප්‍රයෝජනවත් ය. තවත් කොටසක් කීහ. දෙපිරිසක් වූ නිසා ඡන්දයත් විමසී ය. එහි දී දේවදත්ත හිමියන්ගේ පිරිසට වැඩි ඡන්ද හතරක් ලැබුන නිසා වස්ත්‍රය දෙව්දත් තෙරුන්ට හිමිවිය. ඒ හිමියෝ එම රෙද්ද කප්පවා, මස්සවා, පඬු පොවා, සිවුරක් සහ අඳනයක් සකස් කරවා ගෙන ගමනක් වඩින විට එය පොරවාගෙන ගියහ. එය දුටු භික්ෂූහු මේ සිවුර දෙව්දත් තෙරුන්ට නො වටී. එය ගැලපෙන්නේ සාරිපුත්ත හිමියන්ට ය. මේ තෙරුන් තමාට නො ගැලපෙන සිවුරක් ඇඳගෙන ගමන් කිරීම නො හොබී” කතිකා කළහ. එය ඇසුණ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි දේවදත්ත තමන්ට නො ගැලපෙන වස්ත්‍රයක් පරිහරණය කළේ දැන් පමණක් නොවේ. අතීතයේ ද එසේ කළේය යැයි වදාරමින් අතීත කතාව විස්තර කළහ.

අනික්කසාවො – කෙලෙස් කහට දුරු නොකළ

දස සෙච්චෙන – ඉන්ද්‍රිය දමනයෙන් හා සත්‍යවාදිත්වයෙන්

අපෙතො – තොර වූ,

යො – යම් පුද්ගලයෙක්,

කාසාවං වත්තං – කහවන් වස්ත්‍රයක්, පරිදහෙස්සති,– හඳින්නේ නම්,

සො - හෙතෙම,

කාසාවං කහවතට,

න අරහති! නුසුදුසු වෙයි.

(ඉතිරි කොටස පුර අටවක කලාපයේ)