Print this Article


ආර්ය පර්යේෂණ සූත්‍රය: මෝහයෙන් සිත නිදහස් කර ගන්න

ආර්ය පර්යේෂණ සූත්‍රය:

මෝහයෙන් සිත නිදහස් කර ගන්න

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළහ. ‘මහණෙනි, කාමයන් සිත් හි ඇද බැඳ තබාගැනීම පිණිස හේතුවන කරුණු පහක් පවතී’ ඒවා හඳුන්වන්නේ පංචකාම ගුණ යනුවෙනි.

එම පංචකාම ගුණ පිළිබඳව මෙසේ විස්තර වේ. චක්ඛු විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇති කාම රාගයෙන් යුක්ත වූ කාම රාගයේ ඉපදීමට හේතු වූ කාරණා වූ රූපයෝ ය. එයින් අදහස් වන්නේ මේ කරුණයි. රූප පවතී. ඒ රූප කෙරෙහි අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෙකුගේ සිතෙහි ඇතිවන ආකාර පහක් ඇතිවේ. ඒවා පංචකාම ගුණ බවට පත්වේ.

එය මෙසේ විස්තර කළ හැකිය. ‘සිතේ ඇඳී තිබූ, සිත සතුටු කරන, සිත සම්පූර්ණ කරන ඉතාම ඇලෙන කාම රාගයෙන් යුක්තව ම රූපය කෙරේ මනස කරුණු ඇති කර ගන්නා වූ ආකාරයයි. එනම් රාගය ඉපදවීමට හේතුවන කරුණු ලෙසයි. මේ දීර්ඝ සංසාර ගමන සකස් වූයේ ඡන්ද රාගය, කාම රාගය හේතුවෙන් බව භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුව අප සියලු දෙනා ම තේරුම් ගෙන තිබේ.

එනම් අශ්‍රැතවත්, පෘතග්ජන ස්වභාවයේ දී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතිවිලි කෙරේ අනවබෝධයෙන් යුක්තව. පංචකාම ගුණයන්ගෙන් යුක්තව, ඇලී, බැඳී, ගැටී, තෘෂ්ණාව සම්පූර්ණ කරමින් සතර අපායේ ම බොහෝ සෙයින් ඉපිද, දුක්විඳිමින් ගමන් කරන ආකාරය මේ දහම් පෙළ ඔස්සේ අවබෝධ කරගෙන සිටිමු. භාග්‍යවතුන් වහන්සේ ඇස පිළිබඳව දේශනා කළ ආකාරයෙන් ම කන, මනස, දිව, ශරීරය, මන පිළිබඳවත් දේශනා කළ සේක.

සෝත විඤ්ඤාණයෙන් දත යුතු වූ, ඉෂ්ඨ වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇති කාම රාගයෙන් යුක්ත රාග උප්පත්තියට මූලික වන යම් ශබ්දයක් වේද? එලෙසම ඝාන විඤ්ඤාණයෙන් දත යුතු ඉෂ්ඨ වූ කාන්ත වූ මන වඩන ප්‍රිය ස්වභාව ඇති කාම රාගයෙන් යුක්ත වූ රාග උප්පත්තියට හේතු වූ ආග්‍රහණ පවතී. ජිව්හා විඤ්ඤාණයෙන් දත යුතු වූ ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇති කාමරාගයෙන් යුක්ත වූ රාග උප්පත්තියට හේතුවන රස පවතී. කාය විඤ්ඤාණයේ දත යුතු වූ ඉෂ්ඨ වූ, කමනීය වූ, මනවඩන්නා වූ, ප්‍රිය ස්වභාව ඇති කාම රාගයෙන් යුක්ත වූ රාග උප්පත්තියට හේතු වූ ස්පර්ශ පවතී. මහණෙනි, මේවා පස්කම් එනම් පංචකාම ගුණයි.

තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් අශ්‍රැතවත්, පෘතග්ජන මනසේ කාමයන් සකස් වන්නා වූ ආකාරය මෙසේ පැහැදිලි කරනු ලැබූහ. කාමය යනු කැමැත්තයි. යම් වස්තුවකට, එනම් පණ ඇති හෝ පණ නැති යම් වස්තුවකට පුද්ගල මනසේ ඇතිවන ප්‍රබල කැමැත්තයි.

පරිසරයේ දී ඔබ බොහෝ විටක මෙවැනි අවස්ථාවක දී සඳහන් කරන්නේ. ‘මගේ සිත බැඳුණා. තදින් ම බැඳුණා. මට එය සිතින් ඉවත්කරගත නොහැකියි.” යනුවෙනි. යම් විටක කායික වාචසික සංවරයෙන් බැහැරව මනුෂ්‍යත්වයට නොගැළපෙන, බොහෝ ආරම්මණයන් සමඟ සකස් වන්නේ මේ පංචකාම ගුණයන්ගේ ඇති ප්‍රබල බව අනුවයි. තවදුරටත් සරලව සඳහන් කරන්නේ නම්, දැඩි ආශාවන් ඇති අය දකින, අහන හැම වස්තුවක් කෙරෙහි ම ඇලී බැඳී අතෘප්තිකර ආශාවන්ගෙන් යුක්තව ජීවිතය පවත්වා ගන්නා බවයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රිය පහෙන් ම අභාවිත සිතක ඒවා පිළිබඳව දැඩි ආශාවක්, ඇල්මක් ඇති වෙන්නට පටන් ගනී. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කාමයට, රාගයට, තෘෂ්ණාවට හේතුවන කාම ගුණ මුළුමනින් ම තමන් වහන්සේ විසින් බැහැර කරනු ලැබූ බවයි. එයට හේතුව භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍ර දේශනාවේ සඳහන් නොකළත්, ධර්ම කතාව අනුව අපට එය පැහැදිලි කරගත හැකිය.

ඇස ද, රූපය ද, චක්ඛු විඤ්ඤාණය ද, ස්පර්ශය ද සැප දුක් මධ්‍යස්ථ යන සියලු විඳීම් ත්‍රිලක්ෂණයට යටත් ය. එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණයට යටත් ය. ඇස, රූපය ආදී ප්‍රකට ධාතු හා රූප පඨවි, ආපෝ, තේජෝ, වායෝ නම් වූ සතර මහා ධාතූන්ගෙන් සමන්නාගතයි. ඒ සතර මහා ධාතූන්ගෙන් සමන්නාගත යම් වස්තුවක් වේ ද? එය නිත්‍ය වන්නේ නැත. එනම් දුක් සහගත ය. සෑම මොහොතක් මොහොතක් පාසා ම වෙනස්වීමකට ගොදුරු වන්නේ ය. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් මේවායෙහි ඇති ආදීනවය නුවණින් මෙනෙහිකොට සිතින් ඒවා දැඩිව ගැනීම නම් වූ උපාදානයන් බැහැර කිරීමට වෙර වීර්යය දරයි. මෙය ප්‍රධන් වීර්යයෙන් ආරම්භකොට කුසල ධර්ම වැඩීම නම් වූ භාවනාවෙන් ම අවසන් කරගත හැකියි. වාඩි වී සිටින ඉරියව්වෙන් පමණක් ම, එනම් පර්යංඛ ඉරියව්වෙන් පමණක් ම කළ යුතු දෙයක් නොවේ. ඇවිදින විට, සිටගෙන සිටින විට, හිඳගෙන සිටින විට ආදී සතර ඉරියව්වේ දී ම මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ කය, අනිත්‍ය දුක්ඛ, අනාත් ම ත්‍රිලක්ෂණයට යටත් කොට දකින්නට පුරුදු කොට තිබීම අවශ්‍යයයි.

ඔබ ලෞකික ලෝකය තුළ මතුපිටින් මොනතරම් කාර්යය බහුල වූවත්, විඤ්ඤාණයෙන් සතු වූ ඉටුවඩන, මන වඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ත්‍රිලක්ෂණයට යටත් කොට සිත පුරුදු කරන්න. වැඩකටයුතු දහසක් තිබුණේ නමුත් ඇලීම්, ගැටීම්, මෝහයෙන් සිත නිදහස් කර ගන්න. නො ඇලී, නො ගැටී මාර්ග බ්‍රහ්මචර්යාවේ හසුරුවන්නට තරම් ශක්තියක් සලසා ගන්න. සසර සදන, භවය සකසන තෘෂ්ණාව නම් වූ ඒ කාම ගුණයන් මා මුළුමනින් ම බැහැර කළ බවට භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන්ට දේශනා කළ සේක.