Print this Article


පාරමිතා: නිවන් අවබෝධය පිණිස...

පාරමිතා:

නිවන් අවබෝධය පිණිස...

බුදු, පසේ බුදු, මහරහත් යන තුන්තරා බෝධියට පත්වීම සඳහා “පාරමිතා” සම්පූර්ණ කළ යුතු ය.පාරමිතා යනු නො කෙලෙසුන කරුණා, ප්‍රඥා ගුණ පාදක කොට ගත් දාන, සීල ආදි කුසල් ධර්මයයි. නැතහොත් බෝධිසත්වයෙකු විසින් සපුරාලිය යුතු ගුණධර්මයි. මෙම ගුණධර්ම ප්‍රගුණ කිරීම තුළ ඕනෑම කෙනෙකුට බුදු, පසේ බුදු, මහරහතන් තත්ත්වයට පත්විය හැකි ය.

බුද්ධ කාරක ධර්ම නම් දස පාරමිතා ය. මෙහි දී සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා සම්පූර්ණ කළ යුතු ය. පසේ බුදුවරයෙකු වීම සඳහා දස පාරමිතා, දස උප පාරමිතා සම්පූර්ණ කළ යුතු ය. මහරහතන් වහන්සේ කෙනෙකු වීම සඳහා දස පාරමිතා සම්පූර්ණ කළ යුතු ය.

බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා සම්පූර්ණ කළ අතර දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේධ තාපසතුමා නියත විවිරණ ලබාගත් අවස්ථාව සඳහන් වනුයේ මෙසේ ය. “දිවකුරු බුදු හිමියන්ගේ නියත විවරණය ද, දස දහසක් දෙවිවරුන්ගේ ප්‍රීති ඝෝෂාව ද ලැබේ. නියත වශයෙන් ම බුදුවරුන්ගේ වචනය ඒකාන්ත ය. ස්ථිර ය. මම ඒකාන්තයෙන් ම බුද්ධත්වයට පත්වන්නෙමි. කෙසේදයත්, අහස උසට විසිකරන ලද ගල්කැටයක් නැවත පහළට වැටෙන්නේ යම් සේ ද, ඉපදුණා වූ සෑම මිනිසෙකුටම මරණය ඒකාන්ත වනවා සේ ම, යම් සේ රාත්‍රිය ගෙවී යන කල්හි පසු දින හිරු නැගෙනවා සේ ම, ගැබ් ගත් මවක් දරුවා ඒකාන්තයෙන් ප්‍රසුත කරනවා මෙන් ම, ඒකාන්තයෙන්ම මම බුද්ධත්වයට පත්වීම ඒකාන්තය යනුවෙනි.”මෙලෙස අප මහා බෝධි සත්වයන් පුරන ලද පාරමිතා නම් දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ඛන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රීය හා උපේක්ෂාය.

දානය යනු පරිත්‍යාගයයි. ප්‍රදානයයි. තමා සන්තක දෙයක් අන් අයට ලබාදීමයි. බෝසතාණන් වහන්සේ විසින් දාන පාරමිතාව, දාන උප පාරමිතාව, දාන පරමත්ථ පාරමිතාව ආදි වශයෙන් සම්පූර්ණ කරන ලදී. දාන පාරමිතාව යනු තමන් සන්තක දෑ පරිත්‍යාග කිරීමයි. බෝධිසත්යන් වහන්සේ විසින් පාරමී පුරන සමයේ දී තමන් වහන්සේ සන්තක ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන-වාහන, ආහාරපාන ආදිය පමණක් නොව තමා සතු ඇස්, ඉස්, මස්, ලේ දන් දෙන ලදී. එමෙන් ම තම දූවා-දරුවන් පමණක් නොව බිරිඳ ද දන් දුන් බව වෙස්සන්තර ජාතකයේ සඳහන් වේ. එමෙන් ම උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය වූ බුද්ධත්වය සඳහා තම ජීවිතය ද දන් දෙන ලදී. සීල පාරමිතාව, සීල උප පාරමිතාව, සීල පරමත්ථ පාරමිතාව යනුවෙන් සීල පාරමිතාව ද ත්‍රිවිධ වේ. දිවිපැවැත්ම උදෙසා පස් පව්, දස අකුසල් මූලික ව තමා සමාදන් වී සිටින සීලය ආරක්ෂා කර ගැනීම සීල පාරමිතාව නම් වේ. උදාහරණයක් වශයෙන් මෙලොව ජීවිතයේ සිදුකරන කටයුතුවලදී තමාගේ හා තම අඹු-දරුවන්ගේ ජීවිත රැක ගැනීම උදෙසාත්, මදුරුවන්, විසකුරු සර්පයන්, මීයන් වැනි සතුන් මැරීම වැනි පාපකර්ම පවා සිදුනොකිරීම සීල පාරමිතා නම් වේ.

තමාගේ ශරීර අවයව විනාශ වී ගියේ ද සීලය ම ආරක්ෂා කිරීම සීල උප පාරමිතා නම් වේ. බෝසතාණන් වහන්සේ සීලය සමාදන්ව සිටින අවස්ථාවල ශරීර අවයව වනගත සතුන් කඩාගෙන අනුභව කරද්දී පවා තමා සීල ප්‍රතිපදාව ආරක්ෂා කළ බව සඳහන් වේ. එසේම සීලය රැක ගැනීම සඳහා තම ජීවිතය පරිත්‍යාග කිරීම සීල පරමත්ථ පාරමිතාව නම් වේ. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව යනු කාමයන්ගේ ආදීනව දැක එයින් නිදහස් වීම සඳහා කටයුතු කිරීමයි. එනම්, ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉඳුරන්ගෙන් කාමය ආශ්වාද නොකොට බුද්ධත්වය සඳහාම පාරමිතා දම් සම්පූර්ණ කිරීමයි. ප්‍රඥා පාරමිතාව යනු අවබෝධය පිණිස කටයුතු කිරීමයි. මේ බව උම්මග්ග ජාතකයේ, විදුර ජාතකයේ දී බෝසතුන්ගේ ප්‍රඥා අවබෝධය මනාව පැහැදිලි ය. වීර්ය පාරමිතාව යනු අෂ්ඨ ධර්මලෝකයට නොසැලී සම සිතින් යුක්තව මුහුණදීමයි. බෝසතාණන් වහන්සේ වීර්ය පාරමිතාව සම්පූර්ණ කළ බව වණ්ණුපථ ජාතකය වැනි ජාතික කථා තුළින් පැහැදිලි වේ.

ඛන්ති පාරමිතාව යනු වෙනස් නොවීමයි. එනම්, බෝධිසත්වයන් වහන්සේ නමක් කිසිම ලෙසකින් තමන්ට ලද දුක්පීඩා ආදීන් නිසා තම අරමුණ වෙනස් නොකරයි. සත්‍ය පාරමිතාව යනු සත්‍යවාදී වීමයි. අධිෂ්ඨාන පාරමිතාව යනු කළ යුතු දෙයක් කරමි කියාද, නොකළ යුතු දෙයක් නො කරමි කියා ද, මතු වෙනස් නො කරන ලෙස සිතීමයි. මෛත්‍රී පාරමිතාව යනු ජාති ආගම් කුල භේදයකින් තොර සියලු සත්වයන්ටම සමානව පවතින මෛත්‍රියයි. උපේක්ෂා යනු මධ්‍යස්ථභාවයයි. බෝධිසත්වයන් වහන්සේ සෑම දෙයක් පිළිබඳව ම මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තව, මැදහත්භාවයකින් යුක්තව කටයුතු කර ඇති බව ජාතක පාලියේ මනාව පැහැදිලි වේ. මේ ආකාරයට බෝධිසත්වයන් වහන්සේ දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා සම්පූර්ණ කළ බව මනාව පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් නියත විවරණ ලබාගත්තාට පසුව බෝධිසත්වයන් වහන්සේ නමක් බුදු බව ලැබෙන තුරු ම ගොලුවෙකු වී හෝ බිහිරෙකු වී, ඇස් දෙක අන්ධ වූවෙකු ලෙස හෝ උප්පත්තිය ලබන්නේ නැත. එමෙන් ම නිරය, ප්‍රේත, අසුර ලෝකවල ඉපදෙන්නේ ද නැත. මේ ආකාරයට පාරමිතා යනු පුහුණුවයි, පළපුරුද්දයි. එනම්, නිවන් අවබෝධය පිණිස කරනු ලබන පුහුූණුවයි.