Print this Article


ඉලක්ක ජයගන්නට හැකියාව හඳුනා ගනිමු

ඉලක්ක ජයගන්නට හැකියාව හඳුනා ගනිමු

බෝසත්වරු පාරමිතා පුරා බුදුබව ලබති. රහත් වීමෙන් විමුක්තිය ලැබීමට බලාපොරොත්තු වන අය අදාළ විමුක්ති මාර්ගය ආක්‍රමණය කිරීම තුළින් රහත් ඵලය ලබති. මෙය මිනිසා සතු “විභව“ ශක්තියේ ප්‍රතිඵලයකි. ‘විභව‘ යනු පුළුවන් බවයි. එනම් පුද්ගලයා සතු හැකියාවයි. ඉලක්ක. අරමුණු සපුරාගැනීමේ දී අප තුළ ඇති සැඟවුණු ශක්තිය ‘විභව‘ යනුවෙන් අපි හඳුන්වමු.

මේ විභව ශක්තිය මල්ඵල ගැන්වීම අප සතු වගකීමකි. ඒ සඳහා අවස්ථාව උදාකරගත යුතු ය. එසේ නොවුණහොත් ඒ විභව ශක්තිය යටපත් වී සැඟවුණු මට්ටමට පත්වනු ඇත. අක්‍රීයවනු ඇත. මෙලොව සිටින අනෙකුත් සියලු සත්ත්වයින්ට වඩා මිනිසා සතු විභව ශක්තිය ආශ්චර්යමත් ය. එමෙන්ම බලසම්පන්න ය. මෙයින් උපරිම ඵල නෙළා ගැනීමේ හැකියාව මිනිසා සතු ය. බුද්ධත්වය යනු මේ විභව ශක්තියේ උපරිම ප්‍රතිඵලයකි.

අනෙකුත් සත්ත්වයින්ට මෙන් නොව මිනිසාට තීරණ ගැනීමේ හැකියාව ඇත. හරි වැරැද්ද තේරුම් ගැනීමේ හැකියාව ඇත. කළයුතු නොකළ යුතු දේ වටහා ගැනීමේ හැකියාව ඇත. හැම පැතිකඩක් ම බලා යා යුතු මග තේරුම් ගැනීමේ ශක්තිය ඇත. විභව ශක්තිය ලෙස හඳුන්වන මිනිසා ලබා ඇති මේ වටිනා සම්පත මලානික වන්නට නොදී රැක ගත යුතු ය. පරවන්නට නොදිය යුතු ය. එය අන් අයට ප්‍රයෝජනවත් අයුරින් විකසිත කර ගැනීමේ ක්‍රියාවලියකට ප්‍රවිෂ්ට විය යුතු ය.

දියුණුවක් බලාපොරොත්තු වන්නා තුළ සිහිනයක් තිබිය යුතු ය. උගතෙකු වීමට, ධනවතෙකු වීමට ව්‍යාපාරිකයෙකු වීමට, දේශපාලනඥයකු වීමට වෛද්‍යවරයකු වීමට, ඉංජිනේරුවරයෙකු වීමට, වැවිලිකරුවෙකු වීමට ආදී වශයෙන් තමා තුළ මවාගත් සිහිනය යථාර්ථයක් කර ගැනීම ඉලක්කය විය යුතු ය. ප්‍රාර්ථනය විය යුතු ය.

ඔබ බලාපොරොත්තු වන ඉලක්කයට වටරවුම් මගකින් ද, සෘජු මාර්ගයකින් ද ගමන් කළ හැකි ය. තෝරාගන්නා මාර්ගය සඳහා ගුරු උපදෙස් හා මවුපිය මඟපෙන්වීම් වැදගත් වනු ඇත. මේ අනුව ක්‍රියාත්මක වීම තුළින් තමා තුළ ඇති විභව ශක්තිය ඉක්මනින්ම විකසිත කර ගැනීමේ අවස්ථාව උදාවේ. මෙහි දී අප වටා ඇති පරිසරය ඉතා වැදගත් වනු ඇත. විශේෂයෙන් සමාජ ඇසුර ගැන සිතිය යුතු ය. හොඳ, බුද්ධිමත් අවංක ඇසුර ජයකණුව කරා ඔබ ඉක්මනින් ළඟා කරවීමට මහඟු පිටුවහලක් වනු ඇත. වැරැදි ඇසුර ඔබ මොට්ට කරයි. මලානික කරයි. ඔබගේ වටිනා විභව ශක්තිය නිෂ්ක්‍රීය කරයි.

මුතු ඇටයක් හැදෙන්නේ කෙසේද? වැලි කැටයක් වැනි දෙයක් මුතු බෙල්ලාගේ කටුව තුළට ඇතුළුවුවහොත් කටුව තුළ තැවි තැවී කාලයක් පැවතුණහොත් වටේ ඇති කැල්සියම් නිසා ලස්සන මුතු ඇටයක් බවට පරිවර්තනය වෙයි. මේ අයුරින්ම අපේ යටිසිත තුළ පවතින සිහින සිතිවිල්ල නිරන්තර ඔපදමන විට එය ජයග්‍රාහී ඉලක්කයක් කරා යොමුවුනු ඇත.

මෙය ඕනෑම කෙනෙකුට කළ හැකි කාර්යයකි. ඒ සඳහා කළ යුතු මූලිකම දෙය යටි සිත තුළ තම අධිෂ්ඨානය තැන්පත් කරගැනීමයි. මෙම අධිෂ්ඨානය ඉටුවීම සඳහා කාලයක් ගත විය හැකි ය. අප සිතන තරම් ඉක්මණින් ප්‍රතිඵල දැක ගත නොහැකිවන්නට පුළුවන. අප තුළ ඇති අධිෂ්ඨානය වැඩෙන්නට, පෝෂණය වන්නට මෝරන්නට, කාලයක් ගතවනු ඇත. බුද්ධත්වය ප්‍රාර්ථනා කළ බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨානය, ප්‍රාර්ථනය ඉටුවන්නට මොනතරම් කාලයක් ගත වුණා ද? සමහරු බලාපොරොත්තු වන්නේ ඉක්මන් ප්‍රතිඵලයකි. අපගේ ජීවන ගමනේ යටිසිත තුළ පවතින අධිෂ්ඨානය මල්ඵල ගැන්වීම සඳහා ඊට අදාළ අනෙකුත් අවශ්‍යතා ද සමගාමීව සපුරාලිය යුතු ය. එසේ නොවුනහොත් සිහිනය සිහිනයක්ම වනු මිස යථාර්ථයක් බවට පත් නොවනු ඇත.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත. එනම් ළමා ලෝකය තුළ හොඳ අධිෂ්ඨාන පූර්වක සිතිවිලි, ඉලක්ක ඔවුන්ගේ යටිසිත තුළ තැන්පත් කරලීමයි. මෙය මවුපියන්ගේ හා ගුරුවරුන්ගේ වගකීමකි. තමා අනාගතයේ කෙබඳු ආකාරයක කෙනෙකු විය යුතු ද යන්න පිළිබඳ ව අදහස් යටි හිතේ තැන්පත් කර ඒ අරමුණු කරා ගමන් කරන දරුවෙකු ලෝකයාට දායාද කිරීම මවුපියන්ගේත්, ගුරුවරුන්ගේත් වගකීමකි. වර්තමාන සමාජය දෙස බලනවිට සදාචාරවත් ජීවිතයක් පිළිබඳව සිතීමත් මෙහිදී අත්‍යවශ්‍ය ය. මට බැහැ කියන සිතිවිල්ල අයින්කර මට පුළුවන්, හැකියාව තිබෙනවා යන හැඟීම ඇතිකරලීම වැදගත් වනු ඇත. කෙසේ වුවද දරුවාගේ හැකියාව හා කැමැත්ත තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය. යටිසිත බැටරියක් වැනි යයි සිතුවොත් එය අක්‍රීයවන්නට නොදී ක්‍රියාත්මක අයුරින් තබා ගැනීම ආලෝකවත් ගමනකට මං පෙත් විවර වීමක් වනු ඇත.

අද ලෝකය දෙස බලනවිට බොහෝ දෙනෙක් දුවන්නන් වාලේ දුවන පිරිසක් බවට පත්ව ඇත. තම හැකියාවන් හා කුසලතාවයන් ගැන සිතන පිරිස අඩු ය. ඉලක්ක ගත ව වටිනා අරමුණක් කරා දිවීමට සූදානම් චරිත අඩු ය. බොහෝ දෙනා තමන් තුළ ඇති “විභව“ ශක්තියෙන් නිසි ඵල නොලබති. මෙහි ප්‍රතිඵලය කුමක් ද? දෙලොවටම වැඩක් නැති සමාජයට වද දෙන ළමා පිරිසක්, තරුණ පිරිසක් ලොවට බිහිවීම ය.