Print this Article


මිනිසා අන්ධ කරන මානසික ආවේගය

මිනිසා අන්ධ කරන මානසික ආවේගය

" අපගේ උත්තරීතර ධර්මය වන්නේ, ජන ජීවිතයේ හදගැස්ම වන්නේ, ජීවාත්මය වන්නේ අහිංසා දර්ශනයයි. වෛරයෙන් තොර වූ ඒ හද ගැස්මට හානි වූයේ නම්, ඉන් එහාට රටක් ඉතිරි වන්නේ නැත. ජාතියක් ඉතිරි වන්නේ ද නැත. බෞද්ධ ජනතාව සේ ම අනෙකුත් සියලු ආගමික සහෝදර ජනතාව ද එය සිහියට ගත යුතු ය."

ක්‍රි.ව. 1951 දී ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර මහා ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විණි. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් ජපානය පිළිබඳව තීරණයක් ගැනීමට ය. බ්‍රිතාන්‍ය ප්‍රධාන මිත්‍ර පාර්ශ්වික රාජ්‍ය ජයග්‍රහණයෙන් උද්‍යෝගීව සිටි අවස්ථාවේ, ඔවුන් සියලු දෙනා කියා සිටියේ ජපානයේ දඩබ්බර, හිතුවක්කාර වැඩ පිළිවෙළ නිසා, ලෝක සාමයට තර්ජනයක් වූ වැඩපිළිවෙළ නිසා ජපානයට තහංචි පැනවිය යුතු බව ය. ලෝක රාජ්‍ය අතර තනි කළ යුතු බවය. මේ අවස්ථාවේ ජපානය ලෝක ප්‍රජාව ඉදිරියේ අන්ත අසරණ බවට පත්විය. එහෙත් ලංකාවෙන් මෙම සමුළුවට සහභාගී වූ ලංකාව නියෝජනය කළ ජේ.ආර්. ජයවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ මේ මොහොතේ ජයග්‍රහණය ලැබූ අය අනුකම්පාවෙන් ක්‍රියාකළ යුතු බව ය.

ලෝකයට විශිෂ්ට දර්ශනයක් ඉදිරිපත් කළ අපගේ ශාස්තෘවරයාණන් වහන්සේ තථාගත බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි, ‘නහි වේරෙන වේරානි සම්මන්තීධ කුදාචනං අවේරෙන ච සම්මන්ති එස ධම්මො සනත්තනො’ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන්නේ ය. තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සංසිදෙන්නේ කරුණාවෙන් ය. මෛත්‍රියෙන් ය. වෛරයට වෛරයෙන් පිළිතුරු දෙන්නට යාම නොසන්සිඳෙන ව්‍යසනයක් බවට පත්වන්නේ ය.

අප විසින් අනුගමනය කළ යුතු ලෝක නීතිය එයයි. ඒ අනුව එතුමා ප්‍රකාශ කළේ ජපානය දෙස බැලිය යුතු වන්නේ වෛරයෙන් නොවන බවය. කරුණාවෙන්, මෛත්‍රියෙන් ම වන බව ය. දියුණු, ප්‍රබල ආසියාවක් සඳහා ජපානය ද අත්‍යවශ්‍ය වන බව ය. ඒ ප්‍රකාශයත් සමඟ සමුළුවේ සියලු දෙනා මවිතයට පත් වූහ. ලෝකය ජපානය දෙස බැලිය යුතු වන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් බව එදින සමුළුව තීරණය කළේ ය.

එදා ලෝක ප්‍රජාවට මඟ පෙන්වූ, මෛත්‍රියේ, කරුණාවේ ප්‍රායෝගික බව පෙන් වූ ප්‍රබල දර්ශනයක් පිළිගත් රටක් බවට පත් වූයේ ලංකාව ය. වර්තමාන ජපානයේ දියුණුවට පාදක වූයේ ඒ කතාව ය. ඒ කතාව අගය කළ යුතු වන්නේ සිංහලයන්, බෞද්ධයන් ලෙස නොවේ. සකල ශ්‍රී ලාංකිකයන් ලෙස ය. එය සමස්ත ලංකාවාසීනටම අභිමානයට කරුණකි. එදා ලෝක සාමය උදෙසා මඟ පෙන්වූ සමාජයක්, වර්තමානයේ ජාතිවාදයේ ගිනි දැල්වලින් පිළිස්සීයන්නට සූදානම් වනවා නම් ලෝකය හමුවේ ඇතිවන තත්ත්වය කෙබඳුවේ ද?

අපගේ උත්තරීතර ධර්මය වන්නේ, ජන ජීවිතයේ හදහැස්ම වන්නේ, ජීවාත්මය වන්නේ අහිංසා දර්ශනයයි. වෛරයෙන් තොර වූ ඒ හද ගැස්මට හානි වූයේ නම් ඉන් එහාට රටක් ඉතිරි වන්නේ නැත. ජාතියක් ඉතිරි වන්නේ ද නැත. බෞද්ධ ජනතාව සේ ම අනෙකුත් සියලු ආගමික සහෝදර ජනතාව ද එය සිහියට ගත යුතු ය.

වරින්වර ඇවිළෙන්නට උත්සාහ දරන වර්ගවාදී, ජනවර්ගවාදී, අසහනකාරී තත්ත්වයට ප්‍රධානම හේතුව අන්‍යෝන්‍ය සමඟිය බිඳෙන, යම් යම් සමාජ විරෝධි උපාය උපක්‍රමයන් ය. ඒ තත්ත්වය සම්පූර්ණව මඟ හැරෙන්නට නම් රටේ නීතිය සාධාරණව ඉටුවිය යුතු ය. ‘සිංහල අපට නීතිය, සාධාරණව ක්‍රියාත්මක වෙන්නේ නෑ’ යනුවෙන් සිංහල මිනිසුන් අතර අදහසක් ඇත. මුස්ලිම් ජනතාව අතර ද ඇත්තේ ‘මුස්ලිම් අපට නීතිය සාධාරණව ක්‍රියාත්මක වන්නේ නෑ’ යන අදහසය. හින්දු, ක්‍රිස්තියානි ආගම් වශයෙන් ගත්ත ද? ජාතීන් වශයෙන් ගත්තද තිබෙන්නේ මෙවැනි යම්කිසි සැකමුසු හැඟීමකි.

නීතිමය වශයෙන් වන යම් යම් අඩුපාඩු, පුද්ගල දුර්වලකම් ඊට හේතුවිය හැකි ය. මේ තත්ත්වය අදාළ අංශවල වගකිව යුතු පින්වත් නිලධාරීන් මැනවින් වටහා ගත යුතුව තිබේ. යම් සිදුවීමක දී සෘජුව ම, නීතියේ ප්‍රාකාරව ම වැඩ කටයුතු සිදු වෙනවා නම්, පුද්ගලයන්ගේ ඕනෑ එපාකම් අනුව ඒ ඒ අවස්ථාවන් හි තීන්දු තීරණ නො ගන්නවා නම් කා තුළත් විශ්වාසයක් ඇති වේ. බෞද්ධයන් වෙත මේ තත්ත්වය පුන පුනා කිව යුතුව තිබේ. හේතුව බෞද්ධයන් ලෙස අප කිසිදු විශේෂ වරප්‍රසාදයක් බලාපොරොත්තු විය යුතු නොවේ. පොදු සමාජ සාධාරණත්වය මිස වෙන කිසිවක් බෞද්ධයන් ලෙස බලාපොරොත්තු විය නොහැකි ය.

ලොව බොහෝ අය සිතන්නේ ලංකාවේ පවා බෞද්ධ නොවන පිරිස් සිතන්නේ බෞද්ධයන් විශේෂ වරප්‍රසාද ලබන පිරිසක් ලෙසටය. බෞද්ධයන් ලෙස අප ද සිතන්නට ඕනෑ විශේෂ වරප්‍රසාද කිසිවක් අනවශ්‍ය බවය. සාධාරණ මානව අයිතිවාසිකම් හැර වෙන කිසිවක් අවශ්‍ය නොවන බවය. තමන්ට වැඩිපුර ඕනෑ යැයි සිතන සෑම විටෙකම අනික් කෙනෙකුට අසාධාරණයක් සිදුවේ. එතැන දී තව කෙනෙකුගේ සිත පෑරේ. කළකිරීමට පත් වේ. සාමය කඩ වෙන්නේ, භීෂණය ඇති වන්නේ එවිට ය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විශේෂයෙන් ම සඳහන් වන්නේ,

ධම්මං චරෙ සුචරිතං
නතං දුෂ්චරිතං චරේ

ධර්මානුකූලව ම යමක් ලැබිය යුතු බව ය. ධර්මානුකූලව ම ක්‍රියාකළ යුතු බව ය. ධර්මයෙන් අප ආරක්ෂා වන්නේ එවිට ය.

ලොවට සාමයේ පණිවුඩය ගෙන දුන් උදාරතර මිනිස් වර්ගයක් ලෙස, ජපානයේ අභිමානයට, ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික අප ඉදිරියටත් ඒ ගරුත්වය, අභිමානය රැකගෙන ක්‍රියාත්මක වන්නට අධිෂ්ඨාන කර ගත යුතු ය.

මේ මොහොතේ අපේ ජනතාව නිරන්තරයෙන් සිහිපත් කළ යුතු ජාතක කතාවක් තිබේ. ඒ දද්දභ ජාතකයයි. ගසක් මුල නිදාගෙන සිටිය දී තල් අත්තක් උඩට වැටුණු බෙලි ගෙඩියක හඬින් තිගැස්සුණු හාවා දිවි එපා කියමින් දිව ගියේ අහස කඩාගෙන වැටෙනවා කියමිනි. හාවා ගේ කියමන ඇසූ මහ කැලෑවේ සත්තු රංචු පිටින් දිව ගියේ වචනාර්ථය මිස යථාර්ථය නො විමසමිනි. ඔවුන්ට සත්‍ය පහදා දී සිදු වන්නට ගිය විනාශය වළක්වා ගත්තේ සිංහයා ය. විවිධ අනර්ථකාරී සිදුවීම් හමුවේ සිංහයාගේ ක්‍රියාවලිය අප අමතක කරන්නට හොඳ නැත. බෞද්ධ, බුද්ධිමත් අප සැම දෙනාත් මෙවැනි මෝහ මූලික සිදුවීම්වලට නොරැවටිය යුතු වේ. එවැනි තත්ත්වයකදී වන අන්ධානුකරණය මොනතරම් ව්‍යසනයක් ගෙන දෙනවාදැයි තේරුම් ගත යුතු වේ. යම් ජන කොටසකින් තවත් ජන කොටසකට අසාධාරණයක් වෙනවා නම් ගහ බැණ ගැනීමෙන් ඒ අසාධාරණය දිනා ගන්නට නොහැකි ය. යම් ප්‍රශ්නයකට පිළිතුරු සෙවිය යුතු ඇඟපතේ ශක්තියෙන්, ආවේගශීලීව, හැඟීම්බරව, බාහු බලයෙන් නොවේ. ආයුධ මඟින් හෝ වෙනත් බාහිර දේ මඟින් නොවේ. පිළිතුරු සෙවිය යුතු වන්නේ බුද්ධියෙන්ම ය. තැන්පත් නුවණින් ය. එකඟ සිතින්ම ය.

‘කුද්දෝ අත්තං න ජානාති’

කිපුණු විට නිසි තත්ත්වය නොපෙනේ. යම් පුද්ගලයෙක් කෝපයෙන්, වෛරයෙන් දැවෙන විට ඇත්ත, නැත්ත නොවැටහේ. ප්‍රශ්නයක යථා ස්වභාවය නොවැටහේ. නොවැටහීම් ඇති කරන ‘කුද්දෝ’ කිපීම, වෛරය කියන්නේ බරපතල මානසික ආවේගයකි. ඒ ආවේගයත් සමඟ පුද්ගලයා අන්ධ වේ. දෙනෙත් අඳ වීම වැනි සාමාන්‍ය අන්ධවීමක් නොවේ. බුද්ධියෙන් අන්ධ වීමය. අන්ධ පුද්ගලයාට මඟ හසර නොපෙනේ. ආලෝකය නොපෙනේ. ඒ නිසාම ගල් මුල්වල හැපේ. හානි සිදුවේ. ක්‍රෝධය, වෛරය, තරහව, කෝපය කියන්නේ සිත අන්ධ කරවන, මුළා කරවන තිමිර පටලයකි. යම් කෙනෙක් වෛරය, ක්‍රෝධය මුල් කරගෙන යමක් කරනවා නම් එය අතිශයින් ම අසාර්ථක ය. බොක්සිං ක්‍රීඩාවේ මුහුණට මුහුණ කරන ද්වන්ධ සටනක දී උගන්වන්නේ තරහ නොගන්නා ලෙසට ය. තරහ වූයේ නම් හිමිවන්නේ පරාජයම ය.

යම් ප්‍රශ්නයක දී පොලු මුගුරුවලින්, අත්බෝම්බවලින් පිළිතුරු සොයනවා නම් එය අතිශයින් ම මෝහ මූලික ය. අසාර්ථක ය. අත්වන්නේ පරාජයමය. ගැටලුවක් තිබෙනවා නම් එය විසඳාගත යුතු වන්නේ ම ධර්මය පදනම් කොටගත් බුද්ධිමය ආකල්පයෙන්ම ය.

මේ කරුණු ගැන බෞද්ධ සංවිධාන, සිංහල සංවිධාන මෙන් ම අනෙකුත් සෑම සංවිධානයක් ම සිතට ගත යුතු වේ. කෙනිත්තීමට, නියවීමට, පහර දීමට, ලේ හැලීමට පෙළඹෙන්නේ ඒ අවබෝධය නොවන තැන ය. එයින් සිදු වන්නේ රටක්, ජාතියක් ලෙස පරිහානියට පත්වීම ය.

ආගම් අතර, ජාතීන් අතර වන ප්‍රශ්න විසඳාලීමේ එක් විසඳුමක් අපි ඉදිරිපත් කරමු. දේශපාලන සහභාගීත්වයකින් තොරව, එහෙත් රජයේ අනුග්‍රහයෙන් නිතර රැස්වෙන ආගමික බුද්ධි මණ්ඩලයක් තිබිය යුතු වේ. බෞද්ධ, හින්දු, ඉස්ලාමීය, ක්‍රිස්තියානි ප්‍රධාන ආගම් නියෝජිතයන් ඊට සහභාගි විය යුතු වේ. ඒ බුද්ධි මණ්ඩලය විවෘතව කරුණු සාකච්ඡා කිරීම තුළින්, අන්‍යෝන්‍ය ප්‍රශ්න සාකච්ඡා කිරීම තුළින් ආවේගශීලී නොවී ස්ථාවර තීන්දු තීරණ ගන්නට අවස්ථාව උදා වේ. එවිට සුළු ප්‍රශ්න පවා දුරදිග යාම වළක්වා ගැනීම අපහසු නොවේ.