Print this Article


ආර්ය පර්යේෂණ සූත්‍රය: නිශ්චල වු සිතක් ලැබුවෙමි

ආර්ය පර්යේෂණ සූත්‍රය:

නිශ්චල වු සිතක් ලැබුවෙමි

තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණීම පිළිබඳව දීර්ඝ ලෙස පස්වග මහණුන්ට පැහැදිලි කළහ. “බොහෝ පැහැදිලි කිරීම් කළ පසු සම්මා සම්බුද්ධත්වයට පැමිණීම පිළිබඳව පස්වග මහණුන්ට අවබෝධ ගන්වන්නට හැකිවීමි”.

“අවබෝධයට ගත් තැන සිට මම භික්ෂූන් දෙනමකට අවවාද කළෙමි, භික්ෂූන් තෙනමක් පිඬු පිණිස හැසිරීමට යැවුවෙමි. එම භික්ෂූන් වහන්සේ තුන්නම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත් ද? එයින් සය දෙනෙක් වූ අපි යැපෙමු. මහණෙනි, මම භික්ෂූන් තුන්නමකට අවවාද කරමි. භික්ෂූන් දෙනමක් පිඬු පිණිස හැසිරෙත් භික්ෂූන් දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත් ද? එයින් අපි හය දෙනක් යැපුණෙමු”.

තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා, තුන්ලොවක් කෙරේ මහා කරුණාවෙන් අනුගමනය කරන්නා වූ මගෙහි පළමු කාලය මෙසේ ඉතාමත් කරුණාවෙන් යුතුව, පසුකලෙක පැහැදිලි කරන ආකාරය මේ දහම් කතාවෙන් පැහැදිලි වේ.

මහණෙනි, මෙසේ මම විසින් අවවාද කරනු ලබුවා වූ අනුශාසනා කරනු ලැබූවා වූ පස්වග මහණුන් ඉපදීම ස්වභාවකොට ඇති ජාති ධර්මයේ ආදීනව දැන, ඉපදීමක් නොවන නිරුත්තර වූ, යෝගක්ෂේම වූ නිවන අවබෝධ කළහ.”

ආර්ය පර්යේෂණ සූත්‍රයට අනුව තථාගත බුදුරජාණන් වහන්සේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙහි ඇති භයානක බව, දුක් සහගත ආදීනවයන් උන්වහන්සේ තමන් වහන්සේ විසින් ම පර්යේෂණ කරමින් අවබෝධ කර ගනු ලැබූහ. ඒ අවබෝධයේ කෙළවර, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාටත් මෙසේ අවබෝධ කරවූ සේක.

උන් වහන්සේ මේ ආකාරයෙන් නැවතත් දේශනා කළ සේක. “මහණෙනි, තමා ජරාවට යෑම හෙවත් දිරාගෙන යෑම ස්වභාවකොට ඇත්තා වූ ජරා ධර්මයේ ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නා හු ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළෙමි. ව්‍යාධිය ස්වභාවකොට ඇත්තා වූ ව්‍යාධි ස්වභාවයේ දොස් දැන ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළෙමි. මරණ ස්වභාවය ඇත්තා හු මරණයේ ආදීනව දැන මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සෙවුවෙමි. මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළෙමි.

ශෝකය ස්වභාව කොට ඇත්තා වූ, ශෝකයේ ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නා හු ශෝක රහිත වූ නිරුත්තර යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළෙමි. තමන් කෙලෙසීම ස්වභාවකොට ඇත්තා හු ඒ කෙලෙස් ධර්මයේ ආදීනව දැන නොකිලිටි වූ, නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළෙමි. ඔවුන්ට අපගේ චිත්ත විමුක්තිය නිශ්චල ය. මේ අන්තිම ජාතිය යි. පුනර්භවයක් නැතැයි ඥාන දර්ශනය ද පහළ විය. අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයන්ගේ සිත්වල පවතින චිත්ත පීඩා, පසුතැවිලි, කෙලෙසුන්ගේ ආවේග නිසා ඇතිවන දහනය එනම්, පිළිස්සෙන ස්වභාවය බැහැරකොට නිශ්චල වූ සිතක් මම ලැබූවෙමි. මගේ සිත දැන් කෙලෙස්වලින් නිදහස් ය. මේ මගේ අන්තිම උපතයි. නැවත පුනර්භවයක් නැතැයි නම් වූ ඥාන දර්ශනය මට පහළ විය.”

භාග්‍යවතුන් වහන්සේ සාරා අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස පරිලාහයන් හි ඇති ආදීනවය මැනවින් දැන, එය තේරුම් නොගැනීම නිසා තමන් ද ඇතුළු සියලු සත්වයෝ අනන්ත සසර දුක්විඳිමින් ඇවිදි බවත් අවබෝධ කොටගත්හ. මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී ධර්මවල ඇති ආදීනවය අවබෝධයෙන් යුතුව පස්වග මහණුන් වහන්සේලාටත් භාග්‍යවතුන් වහන්සේ විසින් පැහැදිලි කරනු ලැබුහ.