Print this Article


දිවියම සුවඳවත් කර ගන්නේ කෙසේ ද?

2015 පෙබරවාරි 03 වන දා බුදුසරණ පුවත්පතේ පළ වූ මෙම ලිපිය අපවත්වී වදාළ දරණාගම කුසලධම්ම හිමියන්ට උපහාර පිණිස නැවත පළ කිරීමකි:

දිවියම සුවඳවත් කර ගන්නේ කෙසේ ද?

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් ස්වකීය අනුගාමික පිරිසට නිරතුරුව තම ජීවිත සාර්ථකත්වය පිණිස අනුගමනය කරනු වස් අනුදැන වදාළ ‘පංචශීලය” නම් අප විසින් අවබෝධයෙන්ම සුරැකිය යුතු නිත්‍යශීලයයි. මෙහිදී ඉතාම පහසුවෙන් ආරක්ෂා කොටගත හැකි වූ ද, බෞද්ධයන්ටම පමණක් සීමා නොවිය යුතු ඕනෑම ජනවර්ගයක සාමාජිකයකුට වුවද පොදුවූ සරල තාර්කික ඉගැන්වීමක් මෙන්ම ප්‍රතිපදාවක් වන” පංචශීල ප්‍රතිපදාව“ මානව සංහතියේ ප්‍රවර්ධනයට මෙන්ම සකලවිද ජන සමාජයන්ගේ ම සංහිඳියාවට හා යහපැවැත්මට මහෝපකාරි වන්නේ ය.

මිනිසකුගේ වටිනාකම ඔහුගේ ජාති කුල ගෝත්‍රයට වඩා ඔහු විසින් රකින්නා වූ පංචශීලය තුළින් විදහා දැක්වෙන බව පැවසීමට අපගේ ශාස්තෘන්වහන්සේ විසින් දේශනා කරන ලද දීඝ නිකායේ එන ‘සෝණදණ්ඩ’ සූත්‍රය පිළිබඳව අවධානය යොමුකරනු වටී.

එක් කලෙක අප භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේ දඹදිව ‘අංග‘ ජනපදයෙහි මහජනයා අතර සැරිසරමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුණි. උන්වහන්සේගේ පැවිදි පිරිවර පන්සිය නමක් විය. ඒ ජනපදයෙහි පිහිටි “චම්පා” නම් වූ නුවර ‘ගග්ගරා’ නමින් පොකුණක් ද තිබුණි. එම පොකුණ ආසන්නයේ තම පිරිවර පන්සියයක් දෙනා වහන්සේ ද සමඟ වැඩ උන් බුදුන් වහන්සේගේ ගුණ පිළිබඳව එනුවර වැසි ජනයා නිරන්තරයෙන් කථා කරන්නට වුණි. හැම දෙනාම සමූහ වශයෙන් දිවා රෑ දෙකෙහිම බුදුපියාණන් වහන්සේ දැක වැඳපුදාගෙන දහම් අසන්නට එම පොකුණු තෙරට පැමිණෙන්නට විණි.

එකල්හි මේ නුවර වාසි ‘සෝණදණ්ඩ” නම් එක්තරා ප්‍රභූ බමුණෙක් තම නිවසේ උඩුමහලේ නිදහසේ කල්ගෙවමින් ඉන්නා කල මෙලෙස සමූහ වශයෙන් මහමග යනු දැක තම සේවකයකු කැඳවා ඒ කව්රුන් කොහේ යන්නේ දැයි විමසා සිටියේ ය. එම සේවකයා’ස්වාමීනි,මේ නුවරවැස්සන් ගෞතමයන් වහන්සේ දකින්නට යන්නේය ‘යි කී කල එසේනම් අපිත් යමු. අප එනතෙක් ඔවුනට ඉන්නට කියන්න’ යැයි පැවසී ය. එසේ පවසා ‘සෝණදණ්ඩ බමුණා ද” බුදුන් දැකීමට පිටත් විණි.

එකල, විවිධ කටයුතු කරණා වෙනුවෙන් මෙනුවරට පැමිණි බ්‍රාහ්මණයන් පන්සියයක් පමණ ‘චම්පා’ නුවර නවාතැන්ගෙන සිටි අතර, ‘සෝණදණ්ඩ බමුණා” බුදුන් දැකීමට යන බැව් අසා ඔහු නවතාලන්නට බොහෝ මහන්සි ගත්හ. බුදුන්ගේ නුගුණ ඇතැයි කියා සිටියා හ. නමුත් ඒ කිසිවකට කන්නොදුන් ‘සෝණදණ්ඩ බමුණා බුදුගුණ ප්‍රකාශ කරමින් නොනැවතී බුදුන් වහන්සේ වෙත යනු දුටු සෙසු බමුණූු පිරිසද තම අදහස් වෙනස් කරගනෙ “එසේනම් අපිත් බුදුන් දක්නට යමු “ යැයි කියා මේ ගමනට එක්වූහ. එසේ ගිය බමුණානන්ට මෙවැනි සිතිවිල්ලක් පහළ වුණි.

මා විසින් ගෞතම බුදුපියාණන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවොත්, “බමුණ, නුඹ ප්‍රශ්නය ඇසු හැටි වැරැදියි. එය මෙසේ ඇසිය යුතුයි” බුදුන් වහන්සේ කියුවොත්, අපේ අනෙක් බමුණු පිරිස”අපොයි, මේ බමුණා බාලයෙකි, අව්‍යක්තයෙකි, ගෞතමයන්ගෙන් නිසිපරිදි ප්‍රශ්න අසන්නට ඔහුට නොහැකිය” යනුවෙන් මා හට පරිභව කරනු ඇත. යම් හෙයකින් උන්වහන්සේ මා අතින් ප්‍රශ්නයක් විමසා මා දෙන පිළිතුර අසා උන්වහන්සේ ‘බමුණා, ප්‍රශ්නයට පිළිතුර එය නොවේ. එහි ගැළපීමක් නැත. යනුවෙන් කීවොත්ද” අපොයි, මේ බමුණා අව්‍යක්ත,අදක්ෂයෙකු යයි අවමන් කොට ගෞතමයන්ගේ පැනවලට විසඳුම් දිය නොහැකි යැයි පවසා මා හට පරිභව කරනු ඇත. මෙතැනට පැමිණ සැඟවී සිටියහොත් එයද පරිභවයකට කරුණකි’යි සිතා කැලඹුණු සිතින් යුතුව සිටියේය. තවද බුදුරදුන් මාගෙන් පහසු ප්‍රශ්නයක් ඇසුවේ නම් මාහට පිළිතුරු දීමට පිළිවනැයි බලාපොරොත්තු සහගතව සිටියේ ය.

බුදුන් වහන්සේ තම පරචිත්ත විජානන ඤාණයෙන් බමුණාගේ යටි සිත දැක ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසී ය. බමුණ අංග කීයකින් යුක්ත පුද්ගලයා බමුණකු ලෙස පවසයි ද? “ අංග කීයකින් යුත් පුද්ගලයා “මම බමුණෙක්මි” යි. සිතන්නේ දැයි විමසීය. එය නම් සෝණදණ්ඩ බමුණානන්ට පහසුවෙන් පිළිතුරු දියහැකි ප්‍රශ්නයක් විය.

“ස්වාමීනි, භාග්‍යවත් ගෞතමයන් වහන්ස අපගේ ආචාර්ය වංශයට අනුව අංග පහකින් යුත් පුද්ගලයා බමුණකු ලෙස සලකනු ලබයි. එහි ජාතිය එක් අංගයකි. වේද හැදෑරීම එක් අංගයකි. රූ සපුව එක් අංගයකි. ශීලය එක් අංගයකි. ප්‍රඥාව එක් අංගයකි. එකි පංචාංගයන්ගෙන් සමන්විත පුද්ගලයා බ්‍රාහ්මණයකු වේ” යනුවෙන් පැවසී ය. එවන් වු පුද්ගලයෙක් මම බමුණෙකැයි කියයි. නම් එය බොරුවක් නොවේ ස්වාමීනි” යැයි තවදුරටත් පැවසී ය. එය ඇසු බුදුන් වහන්සේ බමුණ, ඔබ ඔය කියූ පංචාංගයන්ගෙන් එකක් හැර දමා කෙනෙකුට බමුණකු යැයි කිව හැකිද ? විමසූහ. ඒ ඇසු “සෝණදණ්ඩ’ බමුණා, රූසපුව නැති වුවත් ඉතිරි අංග හතර ඇත්නම් එයද බ්‍රාහ්මණත්වයට ප්‍රමාණවත් වේි’ යැයි පැවසීය. ඉන් පසු බුදුපියාණන් වහන්සේ බමුණ ඉතිරි අංග හතරිනුත් එකත් හැර දමා අංග තුනකින් බ්‍රාහ්මණත්වය පනවා ලිය හැකිද? විචාළහ. ඒ ඇසු බමුණා, වේදාංගය නැතද ඉතිරි අංග තුන ඇත්නම් එයද බ්‍රාහ්මණත්වයට ප්‍රමාණවත් වේ ‘ යැයි පැවසී ය. ඉක්බිතිව බුදුන් වහන්සේ ‘බමුණ, ඉතිරි අංග තුනෙනුත් එකක් හැර දමා අංග දෙකකින් බ්‍රාහ්මණත්වයට පනවා ලිය හැකිද? යි විචාළ කල්හි ‘එසේය. අංග තුනෙනුත් ජාත්‍යංගය නැතත් අන්‍ය අංග දෙක ඇත්නම්, එයද බ්‍රාහ්මණත්වයට ප්‍රමාණවත් යැයි පැවසී ය. ‘සෝණදණ්ඩ” බමුණා මෙසේ පිළිතුරු සපයන කල්හි අනෙක් බමුණෝ කලබල වී ඔහුට විරුද්ධව නැඟී සිටියහ. මේ සෝණ දණ්ඩයෝ වර්ණ සෞන්දර්යය බැහැර කරති. වේදයන් බැහැර ලති. ජාතිය බැහැර ලති. මෙසේ ගොසින් අවසානයේ ගෞතමයන්ගේ මතයම පිළිගනිති’යි අප්‍රසාදය පළකොට උද්ඝෝෂණ කරන්නට වූහ.

එකල බුදුන් වහන්සේ ‘බ්‍රාහ්මණයෙනි” ඉතින් ඔබ මේ සෝණදණ්ඩ බමුණා අල්පශ්‍රැත, අඥාන එමෙන්ම අප වෙතින් ප්‍රශ්න අසන්නට දෝ අප අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට නෙදෙන්නෙකු සිතයි නම් , ඔහුව නවතා ඔබ කව්රුන් හෝ ඉදිරිපත් වන්න. නොඑසේ නම් සෝණදණ්ඩ බමුණාට අප හා සාකච්ඡා කරාවි” යයි පැවසූහ.

මෙය ඇසු සෝණදණ්ඩ බමුණා” ගෞතමයන් වහන්ස, නුඹවහන්සේ නිහඬවන සේක්වා.මම මේ බමුණු පිරිසට කාරණා සහිතව පිළිතුරු පහදා දෙමි” යයි පැවසීය. “මිත්‍රවරුනි” මා වර්ණ සෞන්දර්ය බැහැරලතියි හෝ වේද මන්ත්‍ර බැහැරලතියි හෝ ජාතිය බැහැරලතියි හෝ චෝදනා නොකරන්න” යැයි පවසා තම බෑණනුවන් වු”අංගක් නම් මානවකයා (තරුණයා) කැඳවා , මිත්‍රවරුනි, මේ අංගක මානවකයා ඉතා ලස්සන වෙයි. දර්ශනීය වෙයි. ප්‍රසාද එළවන සුළු වෙයි. පරම වර්ණ සෞන්දර්යයෙන් යුතුවෙයි. මේ සභාවේ ගෞතමයන් වහන්සේ හැර ඔහුට සමකළ හැක්කේ නොවෙයි. අංගක මානවකයා වේද හදාරන්නෙකි. වේද මන්ත්‍ර දරන්නෙකි. නිඝණ්ඩු කෙටුභශාස්ත්‍ර හා අක්ෂර ප්‍රභේද සහිත ත්‍රිවේදයෙහි පාරප්‍රාප්තයෙකැයි, පදපාඨ හා ව්‍යාකරණ විධි දන්නෙකි. ලෝකායත ශාස්ත්‍රයෙහිද මහා පුරුෂ ලක්ෂණ විද්‍යායෙහිද දක්ෂයෙකි. වේද මන්ත්‍රයෙහි ඔහුට ආචාර්ය වූයේ මමය. අංගක මානවකයා මව්පිය දෙපසින් ම සුජාතය. සත්වන මී මුත්තන් දක්වා පිරිසුදු මව්කුස ඇත්තෙකි. ජාති වශයෙන් හෙළා දැක්මක් නැත. මම මොහුගේ මව්පියන් දනිමි. මෙසේ මේ මානවකයා වර්ණ සෞන්දර්යයෙන්ද,වේද ඥානයෙන්ද ජාතිමත්භාවයෙන්ද අග්‍රවෙයි. අද්විතීය වෙයි. මිත්‍රවරුනි, මෙසේ ශරීර වර්ණයෙන්ද මන්ත්‍ර ඥානසම්පත්තියෙන්ද, ජාති සම්පත්තියෙන්ද අග්‍රස්ථානයෙහි සිටින මේ මානවකයා පර පණ නසන්නේනම්, අනුන්ගේ දේ සොරසිතින් ගනියි නම්, පරඅඹුවන් කරා යයි නම්, බොරු කියයි නම්, සුරාපානය කරයි නම් රූසපුවෙන් මත්වේ නම් ඥානයෙන්වත්,ජාති සම්පත්තියෙනුත් ඇති ඵලයක් නැත. ශරීර වර්ණය කුමක් කරයිද? වේද ඥානය කුමක් කරයිද? ජාතිය කුමකටද? එයින් බ්‍රාහ්මණත්වය රැකෙයිද ? නැත බ්‍රහ්මණත්වය ඇතිකරන්නට මේ කරුණු තුනම හේතු නොවෙයි” යයි පැහැදිලි කර දුන්නේය.

එය අසා සිටි බුදුපියාණන් වහන්සේ “බමුණ, ඉතිරි අංග දෙකක් ඇත. එයිනුත් එකක් අතහැර බ්‍රාහ්මණත්වය පැනවිය හැකිදැයි විචාළහ. “ගෞතමයන් වහන්ස, නොහැකි ය. ශීලය හා ප්‍රඥාව අත්‍යවශ්‍ය වෙයි, යනුවෙන් පිළිතුරු දුන්නේය.” බුදුන් වහන්සේ බමුණාගේ නිගමනය අනුමත කළහ.

ඉහත කථාවෙන් හෙළිවන සත්‍යයක් ඇත. එනම් යමෙකුට අවම තරමින් පංචශීලය නොමැතිනම්, ඔහුගේ වර්ණ සෞන්දර්යයෙන් හෝ ශාස්ත්‍රඥානයෙන් හෝ ජාතිමද්භාවයෙන් ඵලයක් නැත.

කොතෙකුත් දහම්පාසල් පැවැත්වුවද බෞද්ධ ශිෂ්ටාචාරයෙහි නැඟීමක් නොමැත්තේ, වැඩිහිටි පිරිස ධර්මානුකූල දිනචර්යාවක නොපිහිටි නිසා යැයි සිතේ. පන්සිල් නොරැකීම නිසා යැයි සිතේ.

වෛද්‍ය ග්‍රන්ථ කටපාඩම් කිරීමෙන් හෝ බෙහෙත් කෂාය පාඩම් කිරීමෙන් රෝග සමනය නොවේ. රෝග සමනය කිරිමට නම් කෂාය පානය කළ යුතු ය. අවශ්‍ය ඖෂධ ගැල්විය යුතුය. උගත් බණ දහම් පිළිපදිනා විට එලෙසින්ම බෞද්ධ ශිෂ්ටාචාරය උදාවෙයි. එසේ නොමැතිව පන්සිල් කටපාඩම් කිරීමෙන් පමණක් බෞද්ධකම නොරැකේ. මේ අමිල නිමල ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයා කෙරෙහි පරම අනුකම්පාවෙන් එළිපෙහෙළි කොට අපහට දේශනා කොට වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට කරනු ලබන උතුම්ම ගෞරවය නම් පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීමයි. එයින් ශාස්තෘ ගෞරවය ඇතිවනවා මෙන්ම මුළු මහත් ලෝකයම ප්‍රශ්න ගැටලුවලින් විනිර්මුක්ත වු සුන්දර සාමකාමී සහජීවනයෙන් සපිරි තැනක් බවටද පත් වේ. ඒ නිසා පන්සිල් රකින සැබෑ යථාර්ථවාදී බෞද්ධයන් වන්නට තුනුුරුවන්ගේ අනන්ත මහා ගුණ බලයෙන් හැකි වේවායි අපි ආශිර්වාද කරමු.