Print this Article


බුද්ධ චරිතය නිවැරැදිව හදාරමු

බුද්ධ චරිතය නිවැරැදිව හදාරමු

සිදුහත් කුමරු සියලු සැප සම්පත් ඉවත දමා ලෝකය හා ජීවිතය පිළිබඳ විප්ලවීය පරිවර්තනයක් ඇති කිරීම උදෙසා අභිනිෂ්ක්‍රමණය කළ අවස්ථාව මහා දැවැන්ත පරිත්‍යාගයක් කළ අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි ය.

නව යොවුන් තරුණ වයසේ දී සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සත්‍ය ගවේෂණය කිරීම සඳහා අභිනික්මන් කළ බව බෞද්ධයන් වශයෙන් අප අමතක නොකළ යුතු කාරණාවකි.

අභිනිෂ්ක්‍රමණය සත්‍ය ගවේෂණයේ ආරම්භක අවධියයි. සිදුහත් කුමරා ගතානුගතික සම්ප්‍රදාය තුළ රැඳවීමට සියලු උත්සාහයන් ගනිමින් සාම්ප්‍රදායික හණමිටි අදහස් තුළ කොටු කරමින් තවදුරටත් රජ සැප විඳිමින් රාජකීය කාමභෝගී ජීවිතයක රැඳවීමට පෙළඹවීමේ ප්‍රයත්නයක නියැලුණ ද, ගතානුගතික සම්ප්‍රදායික අදහස් රුචි නො කළ නිදහස් තරුණ චින්තනයක් අගය කළ උත්තමයෙක් ම විය. ජවසම්පන්න නව යොවුන් තරුණයෙකු ලෙස අභීතව සියල්ල අතහැර සත්‍ය සොයා ගියා මිස දේපල, වස්තුව, කීර්තිය, නම්බුනාම සොයා පටු පරමාර්ථ සාධනය සඳහා පියමං කළ ගමනක් නොවේ. නව යොවුන් තරුණ වයසක තරුණයෙකු ගෙදරින් එළියට බැසීම පවා මවුපියන් හඬාවැටෙන කාලයක් වුවද, ලෝකයට සෙතක් ශාන්තියක් උදාකිරීමේ අදහසින් ගතානුගතික මතවලින් මිනිසුන් බේරාගැනීමට අසහාය කැපකිරීමක් කළ තරුණයෙකු ලෙස හඳුනාගත හැකි ය. උන්වහන්සේ වයස අවුරුදු තිස්පහේ දී සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. මුල් අවධියේ සිටම උන්වහන්සේ වටා ඒකරාශී වුණ ශ්‍රාවක සමාජය පිළිබඳ ව විමසිලිමත් වීමේ දී විශේෂ කාරණා රැසක් පැහැදිලි වේ. භද්දවග්ගිය කුමාරවරු, යසකුල පුත්‍රයා ඇතුළු පිරිස, පංච වග්ගිය භික්ෂු සමාජය යන නව යොවුන් වයසේ පසුවූ තරුණ කණ්ඩායම් සම්ප්‍රදායික ක්‍රම අදහස් පිළිබඳ කළකිරීමෙන් සිටි, ගතානුගතික මිථ්‍යා විශ්වාස රුචි නොකළ, සත්‍යගවේෂණය කළ ජවසම්පන්න යෝධ තරුණ ශ්‍රාවක සංවිධානයක් බුදුපියාණන් වහන්සේ වටා ඒකරාශී වූ බව පැහැදිලි ය. භික්ෂු සංවිධානය ආරම්භයේ දී සිටම බහුතර පිරිස නව යොවුන් තරුණ පිරිසක් වීම ම විශේෂත්වයක් විය. නිදහස අගය කළ ගතානුගතිකත්වයට අකමැති, මිථ්‍යා විශ්වාස පිටුදකින, එහි නිස්සාරත්වය දැක්ක, යථාර්ථය දැකීමට සත්‍ය සොයා යන බුද්ධිමත් ශික්ෂිත පිරිසක් විය.

බුද්ධ චරිතය පිළිබඳ සිතා, බුද්ධ චරිතය නිවැරදිව හදාරා එය ආදර්ශයට ගන්නේ නම්, බුද්ධ චරිතයෙන් වඩාත් නිවැරැදි වූ කාලීන ආදර්ශයක් වර්තමාන තරුණ පෙළට ලබාගත හැකි ය.

උන්වහන්සේගේ ශ්‍රාවක සමාජයෙන් ද, එබඳුම ආදර්ශයක් ලබාගත හැකි ය. බුදුදහම අප රටට දායාද කළ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවට වැඩම කරමින් ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇත්තේ ද, තරුණ වයසේ දී ය. මේ අනුව තරුණ සමාජයට හොඳ මඟ පෙන්වීමක් ලබාගත හැකි ආකාරයට විශාල තරුණ විප්ලවයක් ශ්‍රාවක සමාජයෙන් ද ලබාගත හැකි ය.

ගතානුගතිකත්වය පිටුදකිමින්, විප්ලවීය චින්තනයක් ඔස්සේ ගමන් කළ ධර්මයක් බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ඒ පිළිබඳව උපමා සූත්‍ර දේශනාවල සඳහන්ව ඇත. එක්තරා පුද්ගලයන් දෙදෙනෙකු හණ මිටි දෙකක් රැගෙන ව්‍යාපාරික කටයුතු සඳහා පිටත් විය. ටික දුරක් ගමන් කළ ඔවුන්ට හොඳට තලන ලද නිෂ්පාදන තත්ත්වයෙන් උසස් හණ මිටියක් ලැබුණ අතර ඉන් එක් පුද්ගලයෙකු පරණ හණ මිටිය ඉවත දමා එයට වඩා දියුණු හණ මිටිය කරතබාගෙන නැවත ගමන ආරම්භ කළ ද, අනෙක් පුද්ගලයා එයට අකමැතිව පරණ හණ මිටියම යහපත් බවට සිතමින් එම හණ මිටියම කරතබාගෙන ගමන් කළේ ය. තවදුරටත් ඉදිරියට ගමන් කළ ඔවුන් දෙදෙනාට හණ නූල් ද ලැබිණි. එවිට පෙර පරිදි දෙවන පුද්ගලයා අලුත් හණ නූල් කරතබාගත්තද, පළමු පුද්ගලයා එම අදහස ඉවත දමමින් පරණ හණ මිටියම කරතබා ගනිමින් පෙර ලෙස ගමන් කළ අතර තවදුරක් යන විට හණ රෙදි ද හමුවිය. සැම විටම අලුත් දෙය බාරගැනීමට පුරුදුව සිටි පුද්ගලයා හණ රෙදි ලබාගත්ත ද, පළමු පුද්ගලයා පරණ හණ මිටියම කරතබාගෙන ගමන් කළ අතර සංචාරය අවසානයේ නිතර අලුත් දේ බාරගැනීමට පුරුදුව සිටි පුද්ගලයා පොහොසත් වූ අතර අනෙක් පුද්ගලයා පරණ හණ මිටියම කරතබාගෙන ආපසු ගමට පැමිණ ඇත.

අලුත්වූත්, වඩාත් ඵලදායකවූත්, නිවැරැදි වූත්, විද්‍යාත්මක වූත්, යථාර්ථයට සමීපවූත්, යථාර්ථවාදී වූත්, සත්‍යවාදී වූත් තරුණයන් සැම විට අලුත් දෙයට නැඹුරු විය යුතු ය.