Print this Article


සම්බුදු සසුනේ චිරස්ථිතියට අමිල මෙහෙවරක් කළ ධර්ම සන්නිවේදකයාණෝ

සම්බුදු සසුනේ චිරස්ථිතියට අමිල මෙහෙවරක් කළ ධර්ම සන්නිවේදකයාණෝ

" ධර්ම දේශනා ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා ම රූපවාහිනි නාලිකාවක් ආරම්භ කරන ලද්දේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. දහම් පිපාසිත සමාජයේ දහම් පිපාසය සංසිඳුවාලීමේ අරමුණින් ඇරැඹු එම නාලිකාව මඟින් දවසේ පැය විසි හතර පුරාම ආගමික වැඩසටහන් ප්‍රචාරය කෙරේ. ධර්ම විනයධර විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලා එම මාධ්‍ය ජාලය මඟින් උතුම් ශ්‍රී සද්ධර්මය ජනතාව වෙත දේශනා කරමින් සිටිති. '

ඉතා ඈත අතීතයේ සිටම පන්සලේ ධර්ම ශාලාවේ දී දේශනා කරන ලද දහම් දෙසුම් මඟින් සැදැහැති ජනතාව ධර්ම ඤාණය වර්ධනය කර ගත්හ. තෙරුවන් කෙරෙහි ඉමහත් ප්‍රසාදයට ද එමගින් පත් වූහ. ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි චිත්ත සන්තානයන්ගෙන් ඈත් කර ගනිමින් දහමටම සිත යොමු කළේ ඒ අයුරෙනි. ගුවන් විදුලි සහ රූපවාහිනි විද්‍යුත් මාධ්‍යය සන්නිවේදනයට ප්‍රවේශවීමත් සමඟ ගුවන්විදුලියෙන් සහ රූපවාහිනියෙන් ධර්ම දේශකයන් වහන්සේලා ධර්ම දේශනා පවත්වනු ලැබූහ. ඒ බොහෝවිට පුර පසළොස්වක පොහොය දිනයට හෝ ඇතැම් විට සතර පෝදා දිනයන්හි දී පමණක් විය.

ධර්ම දේශනා ප්‍රධාන ආගමික වැඩසටහන් සඳහා ම රූපවාහිනි නාලිකාවක් ආරම්භ කරන ලද්දේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

දහම් පිපාසිත සමාජයේ දහම් පිපාසය සංසිඳුවාලීමේ අරමුණින් ඇරැඹු එම නාලිකාව මඟින් දවසේ පැය විසි හතර පුරාම ආගමික වැඩසටහන් ප්‍රචාරය කෙරේ.

ධර්ම විනයධර විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලා එම මාධ්‍ය ජාලය මඟින් උතුම් ශ්‍රී සද්ධර්මය ජනතාව වෙත දේශනා කරමින් සිටිති.

බියගම දරණාගම කරලයින් නෝනා බාලසූරිය සහ ගුණසේන කුමාරපේලි දම්පතීන්ගේ පින්බර පුත්‍ර රත්නයක් ව 1963 ජූලි 30 වනදා උපත ලද කුමරු දියණියන් දෙදෙනෙකු සහ පුතුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා විය. එම කුමරුවා 1968 දී සියඹලාපේ දරණාගම මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද වැඩිදුර අධ්‍යාපනය ලැබී ය.

හංවැල්ල ජල්තර ධම්මික යෝගාශ්‍රමාධිපතිව වැඩ විසූ කොරතොට විමලධම්ම නාහිමියන් යටතේ 1985 අප්‍රේල් 05 වනදා පැවිදි දිවියට ඇතුළත් විය. බවුන් වැඩීමට වැඩි කලක් යෙදවූ උන්වහන්සේ අනතුරුව කටුකුරුන්ද භාවනා මධ්‍යස්ථානයට වැඩමවා ශාසනික සේවා රැසක් ද සිදු කළහ.

තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද පිරිවෙනෙහි වැඩ වෙසෙමින් කැලණි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ බම්බලපිටිය වජිරාරාමයේ නේවාසික වූ අතර වජිරාරාමාධිකාරීව වැඩ විසූ පූජ්‍ය පියදස්සී නා හිමියන්ගේ ඇසුරෙහි වැඩෙමින් වජිරාරාම දහම් පාසලෙහි අභිවෘද්ධිය සඳහා උදාර මෙහෙවරක් ඉටු කළහ.

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු වජිරාරාමාධිකාරී පියදස්සී නා හිමියන් සමඟ සම්බෝධි විහාරයට වැඩම කළ හ.

අනතුරුව පියදස්සී නා හිමියන්ගේ මූලිකත්වයෙන් සම්බෝධි විහාරස්ථ ඉංගී‍්‍රසි දහම් පාසල ආරම්භ කළහ. ආගමික හා සාමාජික සේවා ඉටු කරමින් පියදස්සී නා හිමියන් වෙත මහත් සහයෝගයෙන් උන්වහන්සේ කටයුතු කළ හ.

පියදස්සී නා හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව 1998 දී සම්බෝධි විහාරයේ භාරකාරත්වයට පත් වූ දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ සසුනෙහි චිරස්ථිතිය පතා සේවා රැසක් සිදු කළහ.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාරපාර්ශවයේ මහානායක ධුරන්දරව වැඩ විසූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මා හිමිපාණන් වහන්සේ යටතේ නැවතත් 2005 උපසම්පදාව ලැබූහ.

2007 දී සැමහිත සුව පිණිස තේමා කරගනිමින් බෞද්ධයා රූපවාහිනි නාලිකාවත්, 2011 දී බෞද්ධයා ගුවන්විදුලි නාලිකාවත් උන්වහන්සේ විසින් ආරම්භ කරන ලදී.

නාරංවල දෙල්ගොඩ ගුණරත්න ශ්‍රී සම්බෝධි සදහම් සෙවන, එංගලන්තයේ ලන්ඩන් හි ලාස්ටෝව්හි උන්වහන්සේගේ අධිපතිත්වයෙන් ආරම්භ කරන ලදී.

“උඩුගම ශ්‍රී බුද්ධරක්ෂිත සමාජ සංවර්ධන පදනම” ආරම්භ කළ දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ එමඟින් දුර බැහැර ප්‍රදේශවල විවිධ අවශ්‍යතා සපුරමින් උදාර සාමාජික සේවාවක් සැලසූහ.

මෙරට ඓතිහාසික පූජනීය විහාරස්ථාන කීපයක දී මෙන් ම දඹදිව බුද්ධගයාව, බරණැස ඉසිපතනාරාමය ආදී පුදබිම් තුළ දී ද සුවිශේෂී ආගමික කටයුතු රාශියක් දරණාගම කුසලධම්ම හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පසුගිය වසරවලදී සිදු කළහ. මියන්මාරය, තායිලන්තය, චීනය, ජපානය ආදී රටවල ද, උන්වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු රැසක් සිදු කළහ.

ධර්මය ලොවට ප්‍රචාරය කිරීම සඳහා ඇප කැප වී ක්‍රියා කළ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටම ආවේණික වූ සරල මිහිරි ස්වරයෙන් දහම් දෙසීමෙහි වෙහෙස වී ක්‍රියා කළහ.

සෑම පුර පසළොස්වක පෝදාකම ‘බුදුසරණ’ පුවත්පත පිළිබඳ කෙටි සටහනක් තබන්නට අඩ හෝරාවක් පමණ බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් සහ ගුවන් විදුලියෙන් ඉඩ වෙන් කර දීමෙන් දිගු කලක් එම වැඩසටහන නොමිලයේ පවත්වාගෙන ඒමට හැකි වූ බව මෙහි දී වෙසෙසින් ම කෘතවේදීව සිහිපත් කරමු.

මාස කීපයකට පෙර ගිලන් වූ දරණාගම කුසලධම්ම හාමුදුරුවෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වූහ.

සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව පසක් කරමින් පසුගිය දා උන්වහන්සේ අපවත් වී වදාළහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය සම්බෝධි විහාරයේ තැන්පත් කර තිබූ අතර මෙම මස 8 වන දා බ්‍රහස්පතින්දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් ලේක්හවුස් ආයතනය ලබාදුන් විශේෂ අනුග්‍රහය ද, කෘතඥතා පූර්වක ව සිහිපත් කරමු.

උන්වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු.