UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලෝසතට වැඩ සදන ලෝවැඩ සඟරාව - අංක 15: මිසදිටුවීමේ බිහිසුණුකම

ලෝසතට වැඩ සදන ලෝවැඩ සඟරාව - අංක 15:

මිසදිටුවීමේ බිහිසුණුකම

බලකොටුවන් තර මෙ සසර නුව රේ
මුලැසටුවන් දලුලන පව් පඳු රේ
විසකටුවන් සගමොක් මග අතු රේ
මිසදිටුවන් අයටත් පින් නොපි රේ

මිථ්‍යා දෘෂ්ටියේ බලවත්කම ඉහත සඳහන් කවියෙන් පෙන්නුම් කොට ඇත. ‘බලකොටුවන් තර මෙසසර නුවරේ’ යන්නෙන් සොර සතුරන්ගෙන් එන උපද්‍රව වළක්වා ගැනීමට නගරයකට බලකොටුවක් ආධාර වන බවත්, සංසාරය නගරයට උපමා කළ කල්හි එය දීර්ඝ කාලයක් ආරක්ෂා කර ගැනීමට හෙවත් සසර දිගු කලක් සැරි සැරීමට බලකොටුව නමැති මිථ්‍යා දෘෂ්ඨිය හේතු වන බව පෙන්වා දී ඇත.

මුලැසටුවන් දලුලන පව් අඳුරේ යන්නෙන් මිථ්‍යා දෘෂ්ටිය ගත් අය පවට කිසිදු බියක් නො මැතිව පව්කම් හි ඇලී ගැලී වාසය කරන බැවින් පාපය පඳුරකට උපමා කරන කල්හි මිථ්‍යා දෘෂ්ටිය ඒ පඳුරෙහි දලු දමන්නා වූ ඇසටු මුලකට සමාන කොට දක්වා ඇත. මිථ්‍යා දෘෂ්ටිය ස්වර්ග මෝක්ෂ සම්පත් ලබාදීමට බාධා කරන බැවින්, එය නිර්වාණ මාර්ගයෙහි අතුරන ලද විස කටුවලට සමාන බව විස කටුවන් සග මොක් මග අතුරේ යන කවි පාදයෙන් පෙන්නුම් කොට ඇත. කවියෙහි අවසාන පාදයෙන් පැවසෙන්නේ මිථ්‍යා දෘෂ්ටිය ගත් අයට කිසිදු පිනක් හිමි නො වන බවයි.

සමාජයේ ජීවත්වන සමහර අය යහපත් දේ අයහපත් කොට සලකති. එසේම යහපත් දේ වැඩක් නැතැයි අත්හැර දමති. සාමාන්‍යයෙන් සැලකු විට එවැනි හැඟීම් ද මිථ්‍යා දෘෂ්ටි ගණයට අයත් වෙයි. දිනපතා පන්සිල් ගැනීම අවශ්‍ය නො වන බවත් ජීවිතයට එක් දවසක් පන්සිල් ගැනීම ප්‍රමාණවත් බවත් සමහරු පවසති. දන්දීම, සිල්රැකීම වැනි දේ අවශ්‍ය නැති බවත් වැරැදි වැඩ නො කොට ජීවත්වීම ප්‍රමාණවත් බවත් තවත් අය පවසති. බුද්ධ පූජා කිරීම දානාදී පින්කම් කිරීම නිෂ්ඵල කාර්යන් බව පවසන්නෝ ද වෙති. මෙවැනි අදහස් දරන අය මිථ්‍යා දෘෂ්ටි ගණයෙහිලා සැලකිය යුතුය. මිථ්‍යා දෘෂ්ටිය බරපතලම අකුසලයකි. මෙය ඇතිතාක් කල් කිසිවෙකුට සුගතිගාමී වීමට පිනක් රැස්කර ගත නො හැකි ෙවි. නිර්වාණාවබෝධය කවර ලෙසකින් හෝ අයත් කර ගත නොහැකි ය.

අපේ ධර්ම ග්‍රන්ථයන්හි මිථ්‍යා දෘෂ්ටිය දස ආකාරයකට දක්වා ඇත.නත්ථි දින්නං යන්නෙන් දෙන ලද දෙයෙහි විපාක නැතැයි සැලකීම, නත්ථි යිට්ඨං යන්නෙන් මහත් පූජාවන්හි විපාක නැතැයි සැලකීම, නත්ති හුතං යන්නෙන් තමා වෙතට කැඳවා දෙන දෙවෙනි විපාක නැතැයි සැලකීම නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵං විපාකො යන්නෙන් යමෙකු කරන ලද හොඳ – නරක ක්‍රියාවන්හි සැප දුක් විපාක නැතැයි සැලකීම නත්ථි අයං ලොකො යන්නෙන් මෙලොවක් නැතැයි සැලකීම, නත්ථි පරො ලොකො යන්නෙන් මතු උපතක් ලබන පරලොවක් නැතැයි සැලකීම, නත්ථි පරො ලොකො යන්නෙන් මතු උපතක් ලබන පරලොවක් නැතැයි සැලකීම, නත්ථි මාතා මව කියා කෙනෙක් නැතැයි සැලකීම, නත්ථි පිතා පියා යැයි කෙනෙකු නැති බව සැලකීම, නත්ථි සත්තා ඔපපාතිකා,ඕපපාතිකව උපදින සත්වයෝ නැතැයි සැලකීම, නත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා තමාගේ උසස් ඥානයෙන් මෙලොවත්, පරලොවත් මැනවින් අවබෝධ කොට ගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයේ නැතැයි සැලකීම යනුවෙන් දස වැදෑරුම් මිථ්‍යා දෘෂ්ටිය දක්වා ඇත. මේවායින් එකක් හෝ පැවතීම බලවත් වරදකි.

බුද්ධ කාලයෙහි ජීවත්වූ ෂඩ් ශාස්තෘවරු අතුරෙන් අකිරිය වාදය ඉදිරිපත් කළ පූර්ණකස්සප කුසල හෝ අකුසල කර්මවලින් කවර ආකාරයක හෝ විපාකයක් නො ලැබෙන බව ප්‍රකාශ කළේය. අහේතු වාදය ඉදිරිපත් කළ මක්ඛලිගෝසාල සත්ත්වයන්ගේ පිරිසිදුවීමට හෝ කිලිටිවීමට කිසිම හේතුවක් බල නො පාන බව පැවසී ය. ෂඩ් ශාස්තෘවරුන්ගෙන් තවත් කෙනෙකු වූ අජිත කේශකම්බල නාස්්තික වාදය ඉදිරිපත් කරමින් කුසල් අකුසල්වලින් කිසිදු විපාකයක් නො ලැබෙන බවත්, මියගිය පසු නැවත උපතක් නො ලැබෙන බවත් පෙන්වා දුන්නේ ය. ශාස්තෘ මියගිය පසු නැවත උපතක් නො ලැබෙන බවත් පෙන්වා දුන්නේය. ශාස්තෘ නාමයෙන් හැඳින්වු මේ අය දරුණුූ ලෙස මිථ්‍යා දෘෂ්ටික මත ඉදිරිපත් කළහ. එසේම ඔවුන්ගේ මිථ්‍යා අදහස් පිළිගත් බොහෝ අය එකල සමාජයේ වූහ.

බුදුරදුන් ලෝකයේ පහළ වන විට උගතුන් යැයි සමාජය විසින් පිළිගන්නා ලද බොහෝ අය මිථ්‍යා දෘෂ්ටික අදහස් ඉදිරිපත් කළහ. එයින් සමහර අය බුදුරදුන් හමුවෙහි තම අදහස්වල ඇති නිරවද්‍යතාව පෙන්වා සාකච්ඡා කළ නමුත් අවසානයෙහි බුදුරදුන්ගේ මතයන්හි ඇති පැහැදිලි වූත්, නිරවද්‍ය වූත් තත්ත්වය වටහා ගත්හ. සච්චක නමැති නිගණ්ඨ ශ්‍රාවකයා ද අම්බට්ඨ මානවකයා ද පොක්ඛරසාති, සෝණදණ්ඩ, කූඨදන්ත, යන බ්‍රාහ්මණයන්ද එසේ සාකච්ඡා කළ අයගෙන් කිහිප දෙනෙකි. දස අකුසලයන්ගෙන් සිත මුල්කොට පවතින මේ මිථ්‍යා දෘෂ්ටිය කුසල් රැස්කිරීමට බලගතු ලෙස අවහිර කරයි.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]