UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් කෙත බැබළ වූ අම්බලම්ගොඩ සුමංගල මහා නා හිමි තෙමස් පින්කම

සසුන් කෙත බැබළ වූ අම්බලම්ගොඩ සුමංගල මහා නා හිමි තෙමස් පින්කම

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායකව වැඩ සිටි 95 වසරක් ආයු වැළඳූ අග්ගමහා පණ්ඩිත අම්බලම්ගොඩ සුමංගල මහා යතීන්ද්‍රයන් වහන්සේ අපවත්ව 2018.03.03 දිනට තෙමසකි. ගල්කිස්ස තෙලවල පාර ශ්‍රී ස්වර්ණමාලි විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී දේවානන්ද ධම්මකුසල වංශාලංකාර චන්ද්‍රකීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය පණ්ඩිත ශාස්ත්‍රවේදී අග්ගමහා පණ්ඩිතලාභී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුන් කෙතෙහි රෝපණය වූ සැබෑ ආදර්ශමත් පැවිදි නායකයෙකි.

අපේ මහානාහිමියෝ බහුශ්‍රැතයහ. විශාරදය.ව්‍යක්තය. ධර්මධරය. විනීතය අවංකය. නිකැළැල් ය. මේ සියලු ගුණ එකට කැටි වූ ගුණයේ ප්‍රතිමූර්තියක් යයි කීම නිවැරැදි ය. එහෙයින් ම උන්වහන්සේගේ පරලොව ජීවිතය සුගතියක් ම වූ බව ද නිසැක ය. මේ සෑම ගුණයක් ම අපි ඇසුරෙන් දුටුවා වෙමු. ඒ උන්වහන්සේ අපත් සමග ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ 12 වසරක් කළ සේවාව තුළින් ය.

උන්වහන්සේගේ තෙමස් පින්කම් මෙම මාසයේ පෙබරවාරි 24 වනදායින් ආරම්භව මාර්තු 02 දින දක්වා සත් දිනක් පුරා ධර්ම දේශනා මාලාවක් පැවැත්වීමෙන් ද මාර්තු 03 වන දින අර්ධ ශතාධික මහ සඟරුවන විෂයයෙහි අෂ්ටපරිෂ්කාර හා සෙසු පිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පවත්වා පුණ්‍යානුමෝදනා කිරීමට කටයුතු සංවිධානය කර ඇත්තේ තෙලවල ස්වර්ණමාලී විහාරයේ අභිනව විහාරාධිපති අප මහානාහිමිගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වූ ශාසන කීර්ති ශ්‍රී අසරණ සරණ වූ පරෝපාකාරී පල්ලේවෙල චන්දානන්ද ස්වාමීන් වහන්සේ විසින් හා විහාරස්ථ දායක සභාවේ අනුග්‍රහයෙනි.

ධර්ම දේශනා හා දාන පින්කම් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා ස්වාමීන්ද්‍රයෝ, පානදුර රන්කොත් විහාරාධිපති මහාචාර්ය කහපොල සුගතරතන අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ, විද්‍යෝදය පරිවේනාධිපති දර්ශනපති, ත්‍රිපිටක වාගීශ්වර ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සභාපති බලන්ගොඩ සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත, තිරිකුණාමලයේ ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද සහභාගීත්වය ඇතිව සිදු කෙරේ. අපේ මහානාහිමිගේ විහාරය වටා සිටි සුපින්වත් දායකයෝ ද උන්වහන්සේ කෙරෙහි තිබූ පැහැදීම මත රෝගීව සිටි කාලයේ දී කළ ඇප උපස්ථාන සිහිපත් කර ඔවුනට කෘතවේදීත්වය පළ කිරීමද මෙහි දී සිදුකෙරේ. මෙම සියලු පින්කම් වෙනුවෙන් නා හිමිගේ සමීපතම ඥාතියකු වන වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ද සහභාගි වීම තවත් විශේෂ භාග්‍යයකි.

අප මහානාහිමියනට උන්වහන්සේ කර ගත් කුසල් බලයෙන් හා මෙ පින් බලෙන් ද ආසන්න භවයකදී ම නිවන් සුව අත්වේවායි පතමු.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]