UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැබෑ මිත්‍රත්වය

සැබෑ මිත්‍රත්වය

මෛත්‍රිය නම් හදවතේ මෘදු බවයි. සැබෑ මිත්‍රත්වයේ ස්වභාවයයි. ලෝකයේ වෙසෙන සියලුම සත්ත්වයන්ගේ යහපත හා සතුට අවංකව ප්‍රාර්ථනා කිරීමයි.

මවක් තම එක ම දරුවා ජීවිත පරිත්‍යාගයෙන් රැක ගන්නා ලෙසින් සියලු සත්ත්වයන් කෙරෙහි ද අප්‍රමාණ වූ මෙත් සිත වර්ධනය කළ යුතු බව අප තථාගත භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක. මවකගේ ළයෙහි තම දරුවා කෙරෙහි පවත්නා ආදරණීය බැඳීම නොව, දරුවා ගේ හිත සුව විෂයෙහි පවත්නා අව්‍යාජ වූ අපේක්ෂාව මෙහි දී අවධාරණය වේ. මෛත්‍රීය නම් සාමාන්‍ය ලෞකික ආදරය හෝ පෞද්ගලික සෙනෙහස, ආදරය නොවේ. එතැන දුක හා ශෝකය උපදී. ඒවගේ ම අප සමීපතමයන් සමඟ ඇති කරගන්නා වූ ලෙන්ගතු වූ බැඳීම, ද නොවේ. මෙත් සිත සතුරු මිතුරු වෙනසක් නොමැතිව සියලු දෙනාට එකසේ පැතිරවිය යුතු ය.

මෛත්‍රීය නම් වූ ගුණය සියලු පටු සහෝදරත්වයන් අතික්‍රමණය කරයි. එහි අරමුණ හා පරිමිතිය පුළුල් ය. පවුරු කඩඉම් ද නොමැත. එසේ ම භේද නොමැත. මුළු ලෝකයේ ම ජීවත්වන සියලුදෙනා වෙත සුහදත්වයෙන් සිතන්නට මෛත්‍රීය අප හුරු පුරුදු කරවයි. හිරු එළිය කිසිදු භේදයකින් තොරව මුළු ලොවට ම පැතිරෙන්නා සේ මෙත් සිත ද ලොකු කුඩා, දුප්පත් - පොහොසත්, උස් - පහත්, ස්ත්‍රී - පුරුෂ මනුෂ්‍ය සත්ත්ව හැම දෙනා වෙතම පැතිරෙයි.

තමන් කෙරෙහි පැහැදී ඉතා බැති සිතින් ඇප උපස්ථාන කළ අයට මෙන් ම, වෛර කරමින් වධ හිංසා කර තමා මරා දමන්නට තැත් කළ අයට ද තථාගත බුදුරජාණන් වහන්සේ සම සිතින් අසීමිතව මෛත්‍රීය පැතිර වූ සේක. සිය පුත් රාහුල කුමාරයාට මෙන් ම සතුරු වූ දේවදත්තට ද, උපස්ථායක වූ ආනන්ද හිමිට ද, තමන් වහන්සේ අගය කළ ඇත්තන්ට මෙන් ම සතුරන්ට ද සම සිතින් මෙත් සිත පැතිර වූ සේක.

මිතුරෙකු, සතුරෙකු හා මැදහත් තැනැත්තෙකු සමඟ ඔබ වනගත වූවා යැයි සිතන්න. වනයේ සිටි සොරු ඔබ අතරෙන් එක් අයකු මරා දමන්නට සැරසේ. අන් අය බේරා මා මරාදමන්න යැයි ඉදිරිපත් වන්නට සූදානම් නම් ඔබ තුළ තමාට මෙත් සිත නැත. අන් අයකු ගෙන යන්න යැයි ඔබ විසින් පැවසුවේ නම් ඒ අය වෙත ඔබ තුළ මෙත් සිත නැත. මෛත්‍රියේ ස්වභාවය එවැන්නකි. මේ සියුම් කාරණය වරදවා වටහා නොගන්න. මෛත්‍රීය වැඩීමේ දී කිසිවිටෙක තමා අමතක නොකළ යුතුය. ආත්ම පරිත්‍යාගය වෙනම වූ ගුණයකි.

මෙත්තාවෙහි විරුද්ධ වචනය වෛරයයි. මෙත්තාව හා වෛරය එකට පහළ වන්නේ නැත. ‘වෛරයෙන් වෛරය නොසංසිඳේ’ වෛරය සංසිඳෙන්නේ මෛත්‍රියෙන් යැයි අප තථාගත භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

මෛත්‍රිය වෛරය පරදවනු පමණක් ම නොව අන්‍යයන් වෙත ද්වේෂ සහගත සිතිවිලි ඇතිවීමට ද රිසි නොවෙයි. මෙත් සිත් ඇත්තා කිසියම් අවස්ථාවක දී නමුත් කිසිවකුට වෛර නොකරයි. කිසිවකුට නිග්‍රහ නොකරයි. කිසිවකු බිය ගැන්වීමෙන් ද වැළකෙයි. මැනවින් රැක නොගත්තා වූ සිත කාමය හා සම්බන්ධ විය හැකිය. මේ අදිසි සතුරා යම් වූ අයෙකුට විපතක් කිරීම පිණිස සැඟවී සිටින්නෙක් වැනි ය. ප්‍රේමයෙන් ශෝකය ඇතිවන නමුත්, මෛත්‍රියෙන් කිසිවිට එසේ සිදු නොන බව වටහා ගත යුතුය. මෙම කරුණ වරදවා වටහා නොගත යුතු වූ සියුම් කරුණකි. මවුපියන්ට හා දරුවන්ට ප්‍රේම කිරීමෙන් වැළකී සිටිය නොහැක. අඹු සැමියන්ට ද එකිනෙකාට ප්‍රේම නොකර සිටිය නොහැක. මෙබඳු ප්‍රේමයන් ස්වභාවික ය. මෙබඳු ප්‍රේමයන්ගෙන් තොරව ලෝකයට පැවතිය නොහැක. මෙහි දී පැහැදිලි කරගත යුතු එකම කාරණය නම් නිරාමිස වූ මෛත්‍රීය ප්‍රේමයට සමාන පදයක් නොවන බව පමණකි. මෙත් සිත වඩන්නා නිරතුරුව ම අන්‍යයන්ගේ අර්ථ සිද්ධිය සඳහා යමක් කිරීමට සුදානමින් සිටියි. ඔහු නිරතුරුවම හැම දෙනාගේ ම හොඳ සොයයි. නරක නොසොයයි.

 

 මැදින් පුර පසළොස්වක පෝය


 මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 01 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 ට පෝය ලබයි. 02 වන දා සිකුරාදා පූර්ව භාග 06.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 01 වන දා බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය මාර්තු 09 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 01

Second Quarterඅව අටවක

මාර්තු 09

Full Moonඅමාවක

මාර්තු 17

First Quarterපුර අටවක

මාර්තු 24


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]