Print this Article


ක්‍රියාවට අනුව ම විපාකය

සුගති ගමන - 13

ක්‍රියාවට අනුව ම විපාකය

සාමාන්‍ය මනුෂ්‍යයන්ට මේ ලොව තේරුම් ගන්න පුළුවන් ලෙස බුදුරජාණන් වහන්සේ කර්ම විපාක, විෂයය කොටස් කීපයකට බෙදා පෙන්වා වදාළා. ඒ අතර රැස් කර ගන්නා සමහර කර්ම මෙලොව ජීවිතයේ මතුවී විපාක දෙන කොටසක් වෙයි. ඒවා හඳුන්වන්නේ දිට්ඨ ධම්ම වේදනීය විපාක වශයෙනි. සමහර කර්ම බොහොම බලවත්. ඒවා මෙලොව මතු වන්නේ ම නැහැ. එහි විපාක ලැබෙන්නේ ඊළඟ ජීවිතයේ දී පමණ යි. මේවා හඳුන්වන්නේ උපපජ්ජ වේදනීය විපාක වශයෙනි.

ආනන්තරීය අකුසල් සඳහන් කළොත් බලවත් ම අකුසල් කීපයක් තිබෙනවා. තමන්ගේ මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, බුදු කෙනෙකුගේ සිරුරෙන් ලේ සෙලවීම, රහතන් වහන්සේගේ ජීවිත ඝාතනය ආදී පංච ආනන්තරීය අකුසල් කරගත් අය ඇතැම්විට මිය යන තෙක් ම ලැබූ ජීවිතයේ හොඳින් වැජඹී සිටියි. නමුත් එය මරණින් මතු කල්ප ගණන් අපායට වැටෙන බලවත් අකුසලයක්. මේවා ධර්මයේ හඳුන්වන්නේ ගරුක කර්ම යනුවෙනි. එනම්, එය මරණ මංචකයේ බලවත් ව ඊළඟ ජීවිතයේ විපාක ලැබීම යි. ඒ විපාකය කිසිම ක්‍රමයකින් යටපත් කළ නො හැකි යි.

අජාසත්ත රජතුමා තම පියාණන් මරා ආනන්තරීය අකුසලයක් කරගත්තා. අකුසලයේ විපාක රජතුමාට පසුව තේරුණා. ඒ නිසා ම රජතුමා නිබඳව ම බුදුන් වහන්සේ හමුවට පැමිණියා. සිත සකසාගන්න උපදෙස් පැතුවා. අඬා දොඩා වැළපෙමින් පසු තැවුණා. හැබැයි, අකුසලය කර අවසන්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පුවත ඇසූ අජාසත්ත රජතුමා තුන් වතාවක් ම සිහිසුන් වුණා. ඒ නිසා අජාසත්ත රජතුමා බෙහෙත් ඔරු තුනක බැස්සුවා. එසේනම්, අපමණ ශ්‍රද්ධාවක් අජාසත්ත රජතුමාට අවසන් කාලයේ තිබුණා.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ පුවත දැනගන්නා විට ද, අජාසත්ත රජතුමා සිහිසුන් වුණා. තුන් වතාවක් ම බෙහෙත් ඔරුවල ගිල්වා රජතුමා බේරා ගත්තා. එසේ ම, පළමු ධර්ම සංගායනාව එනම්, අදටත් අප බණ කථා කරන්නේ, දහම් පොත පත , ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කෙරුණේ, බුදුන් වහන්සේ පිරිනිවන් පා තෙමසක් ගත වෙද්දී පන්සියයක් මහ රහතන් වහන්සේ සප්ත පර්ණි ගුහාවේ සිටිය දී ලැබූ ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස යි.

මේ සංගායනාවට ම අනුග්‍රහය ලබා දුන්නේ පීතෘ ඝාතක අජාසත්ත රජතුමායි. එසේ ම, බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේගෙන් එක ද්‍රෝණයක් අජාසත්ත රජතුමාටත් ලැබුණා. රජතුමාට ලැබුණු ධාතූන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන්, බුදු ගුණ සිහි කරමින් කුසිනාරාවේ සිට රජගහනුවරට වඩමවන අසිරිය දැක සක්‍ර දෙවියන් පවා පුදුම වුණා. එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉදිරියේ පෙනී සිටි ශක්‍ර දෙවියන් මෙලෙස පැවසුවා. ‘ස්වාමීනි, මේ ලෝකයේ පෘතග්ජනයන් අතර අජාසත්ත රජතුමා තරම් ශ්‍රද්ධාවන්ත කෙනෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ. නමුත්, මාර්ග ඵලයකට එන්නට බැහැ. අකුසලය එතරම් ම බලවත්. එනම්, ගරුක කර්මය යි. පෘතග්ජනයන් අතර අජාසත්ත රජතුමා තරම් ශ්‍රද්ධාවන්ත උත්තමයෙක් දෙවියන් ඒ වනවිට දිවැසින් දුටුවේ නැහැ. ඒතරම් ම අජාසත්ත රජතුමා ශ්‍රද්ධාවන්ත යි.

බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර රජගහනුවර ධාතූන් වහන්සේ තැන්පත් කොට චෛත්‍ය ඉදි කළා. උදේ, දවල්, සවස වන්දනා කර චෛත්‍ය ඉදිරියේ පින් රැස් කර ගත්තා. නමුත් ඒ කවර තරම් පින් බලවත් ව රැස් කළත්, ඒවායේ විපාක නැති වන්නේ නැහැ. ඊළඟ ජීවිතයේ ඒකාන්තයෙන් බලවත් වන්නේ කරපු පිනට වඩා ගරුක කර්මය යි. ඒ නිසා අජාසත්ත රජතුමා අදටත් අපායේ. කල්පයක් ම අපායේ. එහි දුක් විඳලා ආනන්තරීය පාප කර්මය අවසන් වන තැන පින බලවත් වෙනවා. ඒ නිසා ඊළඟ ජීවිතයේ ඒකාන්තයෙන් විපාක දෙන කර්මය ආනන්තරීය අකුසලය යි. ඒවා ගරුක කර්ම හැටියට හඳුන්වනවා.

තවත් කර්ම කොටසක් අමාමෑණී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා, මේවායේ විපාක විෂයය අචින්ත්‍යය යි. එනම්, සාමාන්‍ය කෙනෙකුට කෙසේද එහෙම වන්නේ? ඇයි, එයාට එහෙම වුණේ? එලෙස තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. බුදුන් වහන්සේ වදාළේ, නිවන් දකින තුරා විපාක දෙන කර්ම තිබෙන බව යි. සමහර රැස් කරගන්නා කර්ම එක ආත්මයෙන් දෙකෙන් ආත්ම කීපයකින් ආත්ම පනහකින්, සියයකින් අවසන් වන්නේ නැහැ. කල්ප ගණන් විපාක දිදී, පිරිනිවන් පාන ආත්මයෙත් එහි විපාක කොටසක් ලැබෙනවා. එවිට කර්මය ගැන මෙලෙස සිහි කරනවා නම්, බොහෝ වේලාවට අකුසලයෙන් වළකින්නට පුළුවනි.