Print this Article


ආර්ය පර්යේෂණ සූත්‍රය:  දහම් ඇස පහළ වූ වගයි

ආර්ය පර්යේෂණ සූත්‍රය: 

දහම් ඇස පහළ වූ වගයි

" තථාගත බුදුරජාණන් වහන්සේ හා පස්වග මහණුන් වහන්සේලා අතර ඇති වූ මේ සාකච්ඡාව ඉතාම මනහරයි. කාලෝචිතයි. තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ධර්මාවබෝධයක් නො ලැබූ පිරිසකට ඒ ධර්මය අවබෝධ කර දෙන්නට උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධ උතුම් ගුණයන් ප්‍රකට කොට ගෙන කරන අවවාද පෙළ මින් අපට තේරුම් ගත හැකියි."

තථාගත බුදුරජාණන් වහන්සේ බරණැස මිගදායේ ඉසිපතනාරාමය වෙතට වැඩම කළ අවස්ථාව ආර්ය පර්යේෂණ සූත්‍ර දේශනාවෙහි මෙසේ සඳහන් කරනවා. “මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් චාරිකා කර බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වග මහණුන් වෙත එළඹියෙමි.

පස්වග මහණුන් දුරදීම මා වඩිනා බව දුටුවා. එසේ දැක ඔවුනොවුන් මෙසේ කතිකා කරගත්තා. ඇවැත්නි, ප්‍රත්‍ය බහුලකොට ඇති බවට පැමිණ, ප්‍රධන් වීර්යයෙන් පිරුහුණු, මේ ශ්‍රමණ ගෞතමයන් අප සොයාගෙන එනවා. අප වන්දනා කළ යුතු වන්නේ නැහැ. පෙර ගමන් කළ යුතු වන්නේ ද නැහැ. ඔහුගේ පාත්‍රා සිවුරු අප විසින් පිළිගනු ලැබීමත් අවශ්‍ය නැහැ. කැමැත්තේ නම් හිඳින්නට යැයි ආසනයක් පමණක් පිළියෙළ කොට තබමු. මෙසේ පස්වග මහණුන් වහන්සේලා සාකච්ඡා කරන්නට පටන් ගත්තා. කෙසේ වෙතත් මම ඔවුන්ගේ සමීපයට ටිකෙන් ටික ළංවන විට ඔවුන් කතිකා කරගත් පරිදි එසේ සිටින්නට නොහැකි වුණා. අයෙක් මගේ ඉදිරියට ගමන් කර පාත්‍රා සිවුරු පිළිගත්තා. තවත් අයෙක් ආසන පැනෙව්වා. ඇතැම්හු පා දෝවනය කරන්න දිය රැගෙන එනවා. එසේ වූවත් ඔවුන් මට ආයුශෝවාදයෙන් ආමන්ත්‍රණය කළා. එනම් වැඩිහිටි කෙනෙක් බාල කෙනෙකුට කතා කරන විලසින් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා.

මහණෙනි, ඒ අවස්ථාවෙහි මම පස්වග මහණුන්ට මෙසේ දේශනා කළා. තථාගතයන් වහන්සේට නාමයෙනුත්, ආයුශෝවාදයෙනුත් ව්‍යවහාර කරන්න එපා. තථාගතයන් වහන්සේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. කන් යොමු කරන්න මම විසින් අමෘතය අවබෝධ කරගනු ලැබුවෙමි. මම නුඹලාට දහම් දේශනා කරමි. මහණෙනි, ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණ මාර්ග බ්‍රහ්ම චරියාව අවසන්කොට ඇති නිරුත්තර වූ ඒ නිර්වාණය මේ ජීවිතයේදී ම විශිෂ්ට ඤාණයෙන් දැන ඊට පැමිණ වාසය කරන්න යැයි දේශනා කළෙමි.

මා මෙසේ සඳහන් කළ කල්හි ඒ පස්වග මහණුන් වහන්සේලා මට මෙසේ ප්‍රති උත්තර දුන් සේක. ඇවැත් ගෞතමයෙනි, නුඹ වහන්සේ ඒ දුෂ්කර වූ ඉරියව්වෙනුත්, දුෂ්කර වූ ප්‍රතිපදාවෙනුත්, දුෂ්කර වූ ක්‍රියාවන්ගෙනුත්, මිදුණු සේක. මනුෂ්‍ය ධර්මයට වැඩි වූ ආර්යභාවය ඇතිකිරීමට සමර්ථ වූ ඤාණ දර්ශන විශේෂය නොලැබූ සේක. නුඹ වහන්සේ දැන් පිරිකර බහුලකොට ඇති සේක්. ප්‍රධන් වීර්යය ගිලිහුණු සේක් වෙති.

දස කුසල ධර්මයට වැඩි වූ ආර්යභාවය සිදුකිරීමට සමර්ථ වූ ඤාණය, ඤාණ විශේෂය නුඹ වහන්සේ සඳහන් කළ අයුරින් ලැබූ සේක් ද? පස්වග මහණුන් මෙසේ කී කල්හි මම මෙසේ දේශනා කළෙමි. තථාගතයාණන් වහන්සේ බොහෝ පිරිකර පරිහරණය කරන්නෙක් නොවේ. ප්‍රධන් වීර්යයෙන් බැහැර වූයේත් නැහැ. බොහෝ කටයුතු සිදු කරමින් මාර්ගයෙන් ඉවත්වූයේත් නැහැ. තථාගතයාණන් වහන්සේ රහත් ය. සම්‍යක් සම්බුද්ධය. එසේ හෙයින් කන් යොමු කරන්න. අමෘතය මා විසින් ලබන ලදී.

මම නුඹලාට අනුශාසනා කරමි. දහම් දේශනා කරමි. අනුශාසනාව යම් සේ ද? ඒ අනුශාසනාවට අනුව පිළිපදිනා නුඹලා නොබෝ කලකින් ම යම් අරහත්වයක් පිණිස කුල පුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් ද? නිරුත්තර වූ බ්‍රහ්ම චරියාව කෙළවර කොට ඇත්තා වූ ඒ අරහත්වය, තමාම විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නාහුය යනුවෙනුයි.

තථාගත බුදුරජාණන් වහන්සේ හා පස්වග මහණුන් වහන්සේලා අතර ඇති වූ මේ සාකච්ඡාව ඉතාම මනහරයි. කාලෝචිතයි. තථාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ධර්මාවබෝධයක් නො ලැබූ පිරිසකට ඒ ධර්මය අවබෝධ කර දෙන්නට උන්වහන්සේ ගේ සම්මා සම්බුද්ධ උතුම් ගුණයන් ප්‍රකට කොට ගෙන කරන අවවාද පෙළ මින් අපට තේරුම් ගත හැකියි.

භාග්‍යවතුන් වහන්සේට අවශ්‍යව තිබුණේ නම් මේ තරම් ඔවුන් සමඟ සාකච්ඡා නොකොට මුල් අවස්ථාවේ දී ම යමා මහ පෙළහර පෑම වැනි ඉර්ධි ප්‍රාතිහාර්යක් පාන්නට තිබුණා. ලෞකික, විශ්මය දනවන බොහෝ දේ සිදුකොට පස්වග මහණුන් දමනය කොට ඇහුම්කන් දෙන්නට අවස්ථාවක් සලසාගන්නට තිබුණා. එහෙත් ලොව්තුරා බුදු උතුමෙක් ලෝකයේ පහළ වන්නේ අධ්‍යාත්මික ගුණයන් මුල්කොට ගත් ලෞකික ආශාවන් සපුරා ගන්නට නොවේ. මේ නිසා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා ගුණයෙන් යුතුව පස්වග මහණුන් වහන්සේලා හා සමගින් කළ සාකච්ඡාව වර්තමාන සමාජ පරිසරයේ හැම කෙනෙකුට ම ඉතා යහපත් ම ආදර්ශයකි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරති. මහණෙනි, දෙවනුව ද පස්වග මහණුන් මට මෙසේ පැවසී ය. “ඇවැත්, ‘ගෞතමයෙනි, නුඹ වහන්සේ ඉරියව්වෙන්, ප්‍රතිපදාවෙන්, දුෂ්කර ක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩි ආර්යභාවය සිදුකිරීමට සමත් වූ ඤාණ දර්ශන විශේෂයක් අවබෝධ නොකළ සේක් ද, කුමක් ද? නුඹ වහන්සේ දැන් ප්‍රත්‍ය බහුලකොට ඇතිසේක් ද, ප්‍රධන් වීර්යයෙන් ගිලිහුණු සේක් ද, මනුෂ්‍ය ධර්මයට වැඩි වූ ආර්යභාවය සිදු කිරීමට සමත් වූ ඤාණ දර්ශනය අවබෝධ කළ සේක් ද?

පස්වග මහණුන් සිතා සිටින්නේ ශරීරයට බහුල සේ දුක්දීමෙන් තොරව ආර්ය මාර්ගයේ නිවන නම් වූ දුකින් නිදහස් වීමක් දැකිය නොහැකි බවයි. එලෙස ම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පෙර සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ සේක. ඒ සමයේ මේ පස්වග මහණුන් වහන්සේලා උන්වහන්සේට ඇප උපස්ථාන කළහ. ඒ අදහස තුළින් ම පස්වග මහණුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම ගැන මේ ආකාරයෙන් සැක කිරීම ආරම්භ කළහ.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කළ සේක. මහණෙනි, දෙවනුව ද පස්වග මහණුන්ට මෙසේ පැවසීමි. ‘තථාගත තෙමේ, බොහෝ කටයුතුවලින් යුක්ත වූයේ නොවේ. ප්‍රධන් වීර්යයෙන් ගිලිහුණු වූයේ නොවෙයි. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුනේ නොවේ. එනම් ආහාරපාන වස්ත්‍ර ආදිය ලබන්නට සිත යොමු කළේ නොවේ.

මහණෙනි, තථාගත තෙමේ රහත්ය. සම්‍යක් සම්බුද්ධය. එසේ හෙයින් කන් යොමු කරන්න. මම නිවන් අවබෝධ කරගත්තෙමි. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම් සේ ද? එසේ පිළිපදින්නා වූ නුඹලා තව නොබෝ කලකින් යම් අරහත්වයක් පිණිස කුල පුත්‍රයෝ මැනවින් ම ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් ද? නිරුත්තර වූ බ්‍රහ්ම චරියාව කෙළවර කොට ඇති ඒ අරහත්වය මේ ජීවිතයේ ම අභිජානයෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නාහු ය.

තුන්වෙනි වරටත් පස්වග මහණුන් වහන්සේලා, මට මෙසේ පවසන්නට වූහ. ‘ගෞතමයෙනි, නුඹ වහන්සේ ඒ ඉරියව්වෙන්, ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කර ක්‍රියාවෙන් මිනිස් දහමට වැඩි ආර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඤාණ දර්ශන විශේෂයක් අවබෝධ නොකළ සේක් ද, නුඹ වහන්සේ දැන් ප්‍රත්‍ය බහුලකොට ඇති සේක් ද, ප්‍රධන් වීර්යයෙන් ගිලිහුණු සේක් ද, ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුනු සේක් ද, මිනිස් දහමට වැඩි ආර්යභාවය සිදු කිරීමට සමත් වූ ඤාණ දර්ශනය අවබෝධ කළ සේක ද? යනුවෙනි.

මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙසේ සඳහන් කළෙමි. නුඹලාට මම මෙයට පෙර මෙබඳු රහත් වූ බවත් සම්‍යක් සම්බුද්ධ වූ බවත් යනුවෙන් කීමක් පිළිබඳ දන්නාහු ද? භාග්‍යවතුන් වහන්ස එය එසේ වුණේ නැහැ. තථාගත තෙමේ ප්‍රත්‍ය බොහෝ සේ ලැබීමට වසඟ වූයේ නොවේ. ප්‍රධන් වීර්යයෙන් ගිලිහුනේ නොවේ. තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. එසේ හෙයින් මහණෙනි, කන් යොමු කරන්න. මා විසින් නිවන් අවබෝධ කරන ලද්දෙමි. මම නුඹලාට අනුශාසනා කරමි. දහම් දෙසමි.

අනුශාසනාව යම් සේ ද, එසේ පිළිපදින්නා වූ නුඹලා නොබෝ කලකින් ම යම් අරහත්වයක් පිණිස කුල පුත්‍රයෝ මනා කොට ම ගිහිගෙයින් නික්ම මේ ආර්ය ශාසනයට පැමිණෙත් ද, නිරුත්තර වූ බ්‍රහ්ම චරියාව කෙළවර කොට ඇති රහත් බව මේ ජීවිතයේ ම තමා විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නාහු ය.