Print this Article


භේද නැති සසර දුක

භේද නැති සසර දුක

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

" සුඛො බුද්ධානං උප්පාදො- සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපො සුඛා
(ධම්මපදය –බුද්ධ වග්ගය) "

බුදුවරුන්ගේ උපත සැපයකි. ධර්ම දේශනය සැපයකි. සංඝයාගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටිය දී එක්දිනක් පන්සියයක් භික්ෂූහු උවටැන් ශාලාවේ වැඩ සිටිද්දී ඇවැත්නි, මෙලොව සැපනම් කුමක්දැයි කථාවක් ඇති කළහ. කෙනෙක් රාජ්‍ය සැප සමාන සුවයක් නැතැයි කීහ. කෙනෙක් කාමසුව ආදිය සමාන සුවයක් නැතැයි පැවසූහ. බුදුහු ඒ භික්ෂූන් සිටි තැනට වැඩම කර පළමුව සිදුවූ කථාව පිළිබඳ ව විමසා දැන් කුමක් පවසම් ද, මේ සියලු සැප සසර දුකට පිළිපන් ඒවා ය. බුද්ධෝත්පාදය , ධර්මය ඇසීම සංඝ සමගිය, සතුටු සාමීචි බව සැප යැයි වදාරා ඉහත ගාථා දෙසූහ.

බුදුරජාණන් වහන්සේ පහළ වන විට මහජනතාව රාග කාන්තාරයෙන් එතෙර කරති. මේ නිසා බුදු උපත සැපයක්මයි! ධර්ම දේශනය, ජාති,ජරා, මරණාදී දුක්ඛයන්ගෙන් මිදීමට හේතුවේ. එහෙයින් දම් දෙසුම සුවයක් වේ. සාමග්ගි යනු සම චිත්තයයි. සමඟි වූවන්ගේ එකඟ වු සමාහිත වූ සිත නිසා බුද්ධ වචනය ඉගෙනීමට ධූතංග දැරීමට ශ්‍රමණ ධර්ම කිරීමට හැකිවේ. එහෙයින්, සමගි සංඝයාගේ තපස සැපයක් යැයි වදාළහ.

ඒ නිසා ම බුදුරජාණන් වහන්සේ විසින් යම් සේ භික්ෂූන් සමගිව රැස්වේ ද, සමගිව විසිරයේ ද? සංඝකරණීය කරන්නේ ද වැඩි දියුණුවක් ම ඇතිවේ. පරිහානියක් ඇති නොවේ යැයි ද වදාළහ.

සමවායෝ ඒව සාධු (සමගිය ම යහපති) සමග්ගා හොථ මා විවදථ (සමගිවන්න. විවාද නොකරන්න) යනුවෙන් බුදුරජාණන් වහන්සේ උපදෙස්දී ඇත. අසමගියේ ආදීනව මෙන් ම සමගියේ ආනිශංස ද බොහෝ දේශනාවල බෞද්ධ කථාවල උගන්වා ඇත. සමගියෙන් හා සතුටින් විවාද නොකර කිරි සහ ජලයේමෙන් පෑහී එකමුතුව එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් ජීවත්වීම බුදුරජාණන් වහන්සේ අගය කර තිබේ.

බෞද්ධ ඉගැන්වීම් අනුව එබඳු සාමයක්, සමගියක්, සහජීවනයක් ඇතිවීමට නම් හානිකර ආකල්ප බැහැර කර, යහපත් ආකල්පයන් දියුණු කරගත යුතු ය.

ආගම,ජාතිය. කුලය වැනි කරුණු මුල්කොට එකිනෙකා වෛරයෙන්, නොසතුටින් බැලීම සුදුසු නැත. බුදුහු තමන් වෙත පැමිණි වෙනත් මත දැරුවන් සුහදව පිළිගෙන දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ඔවුන්ගේ මතවල අඩුපාඩු පෙන්වා දුන් මුත් සුහදත්වය නැතිකර නො ගත්හ. අන්‍ය ආගමික ආරාමවලට පවා වැඩම කොට සුහදව සාකච්ඡා කළහ.

බුදුදහම අනුව සසර දුකට ජාතියක්, ආගමක් හෝ කුලයක් නැත. සියලුම සත්ත්වයෝ උපදිති. ලෙඩ රෝගවලින් පීඩා විඳිති. මහලුවී මිය යති.

චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය,හේතුඵල ධර්මය සියලුදෙනාටම පොදුය. පංච දුෂ්චරිතය කවර ජාතියකට,ආගමකට හෝ මිනිසුන්ට අවැඩක් පිණිසම පවතී. බුදුදහම උගන්වන දානය, පි‍්‍රයවචන කථා කිරීම,අර්ථ චර්යාව, සමානාත්මතාව ජාතික ,ආගමික ,සමගිය සහජීවනය ගොඩනඟා ගැනීමට හේතුවේ. ශ්‍රී ලාංකේය බෞද්ධයෝ අන්‍යාගමිකයෝ අන්‍ය ජාතිකයන් සමඟ සුහදව ම ජීවත්වූහ. අපිදු මේ පෝදා සහජීවනය සඳහා කටයුතු කිරීමට අදිටන් කර ගනිමු.