Print this Article


පොත්පත් විත්ති

පොත්පත් විත්ති

ප්‍රායෝගික බුදු දහම

කර්තෘ - තාරක වික්‍රමසේකර
ප්‍රකාශනය - සාහිත පොත් පියස

දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් සමඟ සිළුමිණ මාධ්‍යවේදී තාරක වික්‍රමසේකර විසින් බුදුසරණ පුවත්පතට සාකච්ඡා ඇසුරෙන් සම්පාදිත ලිපි පෙළක් ඇසුරෙන් ප්‍රායෝගික බුදු දහම (සංඝායනා 3) ග්‍රන්ථය සම්පාදනය කර ඇත. සාහිත පොත් පියසේ දී පසුගිය දා එළිදැක්වුණ එම ග්‍රන්ථය ඉතාමත් සරලව පාඨකයාට බුදුදහම කෙරෙහි ශ්‍රද්ධාවක් ඇතිවන පරිදි සකසා ඇත. පන්සිල් ගැන අවබෝධයක් නැතිකම ගැටලුවක්, මිහිඳු මාහිමි දේශනා අනුගමනය කරමු, සත්‍ය මත පදනම් වූ සම්බුදු දේශනා විලාශය ආදී පරිච්ඡේද 22 ඔස්සේ ග්‍රන්ථය පෙළගස්වා ඇත.


අපි සිල් සමාදන් වෙමු

කර්තෘ - පියතිස්ස උඩගම
ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශනයකි

අපි සිල් සමාදන් වෙමු ග්‍රන්ථය කතුවරයා විසින් නිවැරැදිව සිල් සමාදන්වීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීමට උත්සාහයක් ගෙන ඇත. පමා නොවී ධාර්මික ජීවිතයක් ගෙවන තැනැත්තා ලොව ජය ගන්නා බව ඔහු කියයි. ත්‍රිපිටක පොත්වහන්සේ ඇසුරු කරගෙන ලියා ඇති මෙම ග්‍රන්ථය පාඨකයාට නැවුම් අත්දැකීමක් ලබාදී ඇත. බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ මෙන්ම පංචශීලය, අෂ්ඨාංග ශීලය, දස ශීලය, අපි සිල් පිළිපදිමු පොහොය දවසේ වැදගත්කම ආදී උපශීර්ෂ 75 ක් ඔස්සේ ග්‍රන්ථය පෙළගස්වා ඇත.


සසර කතර තරණය කර

කර්තෘ - ඉරෝෂණී දීපිකා
ප්‍රකාශනය - සාහිත පොත් පියස

දිනමිණ මාධ්‍යවේදිනී ඉරෝෂනී දීපිකා විසින් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සහ අගලවත්ත මෝල්කාව නිසල අරණ භාවනා මධ්‍යස්ථානාධිපති මිනුවන්ගොඩ බෝධිචිත්තා මෑණියන් වහන්සේ සමඟ සාකච්ඡා කොට සම්පාදනය කළ සසර කතර තරණය කර (නිවී සනහාලන සදහම් සයුරෙන් අමාදම් දිය දෝතක්) ග්‍රන්ථය මේ මස 04 වැනිදා සවස 2.00 ට මොල්කාව නිසල අරණ භාවනා මධ්‍යස්ථානයේ දී එළි දැකීමට නියමිත ය. බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්ත්වයාට දේශනා කළ ශ්‍රී සද්ධර්මය සරල භාෂාවෙන් පැහැදිලි කර දීමට කතුවරිය ග්‍රන්ථය තුළින් උත්සාහයක් ගෙන ඇත.