Print this Article


ස්වර්ණමාලී සෑ රදුන් අභියස බුදුසරණ පුවත්පත් බෙදාදීමේ පින්කමක්

ස්වර්ණමාලී සෑ රදුන් අභියස බුදුසරණ පුවත්පත් බෙදාදීමේ පින්කමක්

‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’

සියලු දානයන් අතර උතුම් දානය ධර්ම දානයයි. අපගේ ශාස්තෘන් වහන්සේ, තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශිත ඒ උතුම් දහම් මඟ යමින් වෙසෙසින් පුර පසළොස්වක පොහෝ දිනයන් හි ලක්දිව පුරා වෙහෙර විහාරස්ථානයන්හි ධර්ම දානමය පින්කම් මහත් ඉහළින්, ගෞරව පූර්වක ව සිදු කෙරේ.

ඒ ධර්ම දානය, ප්‍රඥාව ලැබීම පිණිස ද සෝවාන් ආදී මගඵල ලබා ගැනීම පිණිස ද හේතුවන්නේ ම ය. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල පිරුණු අදවන් මැදින් පුර පසළොස්වක පොහෝ දිනෙක අනුරාධපුර ස්වර්ණමාලී සෑ රදුන් අභියස දී බුදුසරණ පුවත්පත් දෙදහසක් බෙදාදීමේ වෙසෙස් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට කොහුවල එස්. ඩී. එස්. ජයසිංහ මාවතේ පදිංචි රේණුකා දන්තනාරායන මහත්මිය කටයුතු සූදානම් කොට ඇත.

මහින්ද යහතුගොඩ, අභාවප්‍රාප්ත සිය සැමියාණන්ට, ආදරණීය මවුපියන්ට පින් පැමිණවීම පිණිස දූ දරුවන්, නෑදෑ හිතමිතුරන් ඒකරාශී කර ගනිමින් මේ දානමය පුණ්‍ය කර්මය සිදු කෙරෙනු ඇත. ස්වර්ණමාලී සෑ රදුන් වන්දනා මාන කිරීමෙන් අනතුරුව සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන් වෙනුවෙන් දවල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව බුදුසරණ පුවත්පත් බෙදා දීම සිදු කෙරේ. දහම් කරුණු සොයමින් ධර්ම ඥානය වැඩි දියුණු කරගන්නට කැමැති උවසු උවැසියන්ගේ පහසුව පිණිස, ඔවුන්ගේ දහම් පිපාසය සංසිඳුවා ගැනීම පිණිස වියත් ධර්ම දේශකයාණන් වහන්සේ සම්බන්ධ කරගනිමින් චතුරාර්ය සත්‍ය ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය ආදී උතුම් ධර්ම කරුණු, ධම්ම පද කතා, ජාතක කතා , බණ කතා ආදී බොහෝ දහම් කරුණුවලින් පිරිපුන්, කියවා තේරුම්ගත හැකි ලෙස සංස්කරණය කෙරෙන ‘බුදුසරණ’ වැනි පුවත්පතක් මෙලෙස දානමය පුණ්‍ය කර්මයක් ලෙස බෙදා දීමට හැකි වීම ඔවුන් ලද උතුම් භාග්‍යයක් වනබව ‍ද රේණුකා මහත්මිය බුදුසරණට පැවසී ය.