Print this Article


සදහම් අරණ

දුවේ පුතේ,

ඔබගේ නිර්මාණ කෙටියෙන් නිර්මාණාත්මකව ලියා අප වෙත එවන්න. පුර අටවක පසළොස්වක, අව අටවක, අමාවක බුදුසරණ පුවත්පත්හි එම නිර්මාණ පළ කරන්නෙමු. සංස්කාරිකා සදහම් අරණ ළමා සමාජය, බුදුසරණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට ඔබගේ නිර්මාණ එවිය හැකි ය.


බෙල්ලන්විල විමලරතන හිමිසඳ

හිරු දෙවියන් මේෂ රාශිගත වන්නේ
එරබදු මල් දස අතකම දිදුලන්නේ
ගම්බිම් පියස නැවුම් බවින් බබළන්නේ
සසුනඹරෙහි ගුරු තරුවක් පායන්නේ

බුදුදහමේ චිර පැවැත්ම සිදුවෙනවා
සොයුරු දෙපල පන්සල වෙත පැමිණෙනවා
දෙදෙනා පැවිදි බිම වෙත ඇතුළත් වෙනවා
සියලු දෙනා හට ආදර්ශය දෙනවා

බෙල්ලන්විල අනු නායක හිමි වූවා
විද්‍යෝදය සරසවියෙහි වැජඹූවා
සසුන් කෙතට ආලෝකය විහිදූවා
සමිඳුන් අමා මහ නිවනින් සැනසේවා


භාවනාව හඳුනාගනිමු

භාවනාමය කුශලය වනාහි කුශලයන් අතරෙන් අග්‍ර වූ කුශලයයි. දානයෙන් ශීලයෙන් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නො ලැබිය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකි ය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගය ද භාවනාව යි. සතර සතිපට්ඨානය, පඤ්චේන්ද්‍රිය පංචබල සතර සම්‍යක් ප්‍රධානය, සතර සෘද්ධිපාද, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩීම යනු ද භාවනාවය.

සමථ භාවනාව, විදර්ශනා භාවනාව යයි භාවනාව දෙවදෑරුම් වේ. සමථ භාවනාව යනු සමාධිය දියුණු කිරීම ය. විදර්ශනා භාවනාව යනු ප්‍රඥාව දියුණු කිරීම ය. සිත නොයෙක් අරමුණු වල විසිරෙන්නට නොදී එය එක් අරමුණක පිහිටුවන්නා වූ චෛතසික ධර්මය සමාධිය යි. සමාධිය ඇති කර ගැනීම පහසු නොවේ. එය ඉතා ඕනෑකමකින් බලවත් උත්සාහයකින් කළයුතු දෙයකි. සිත අරමුණු කරා යෑම හැකිතාක් වළකාගෙන, ක්‍රමානුකූල ව භාවනාවෙහි යෙදීම සමාධියයි. සමාධිය වැඩෙත් ම සිත භාවනාරම්මණයෙහි තැබීම පහසු වේ. සමාධිය සමඟ ම සිතද, ශ්‍රද්ධා ප්‍රඥාදීහු ද වැඩෙති. සිත කිළිටි කරන්නා වූ ද දුබල කරන්නා වූ ද, නීවරණයෝ අනුක්‍රමයෙන් තුනී වෙති.

සමාධිය වැඩිදුරටත් ක්‍රමානුකූල ව දියුණුකරගත හැක වුවහොත් අභිඥා බලය ඇතිවේ. එයින් අහසින් යාම ආදී දේ කළ හැකි ය. තමාගේ චරිතයට යෝග්‍ය භාවනාවක් තෝරා ගනු පිණිස බොහෝ භාවනා බුදුදහමෙහි උගන්වා ඇත.


බුදුසරණ පුවත්පත

සම්බුදු දහම් කඳ
වචනවලට කැටි කොට
සතර පොහොය දිනවල
නිකුත්වෙයි බුදුසරණ

නිමල දහම අපට කියන
බොදු අපගේ දම්මිණි පහන
සඟරුවන හමුවන
බොදු පුවත්පතකි බුදුසරණ


අසිරිමත් බෝසත් උපත

ලුම්බිණි සල් උයනේ දී
උතුම් වෙසක් පෝය දා
උපත ලද සිද්ධාර්ථ කුමරු
නෙළුම් පියුම් හතක් මත
පියවර තබා
මදක් දකුණු අත ඔසවා
මේ මාගේ අවසන් උපතයි
සිහනාද කළහ
මේ අසිරිමත් බෝසත් උපතයි.


නො පෙනෙන දුර වෙසෙන අයට

නො පෙනෙන දුර වෙසෙන සියලු සත්ත්වයන්ට එක්ව මෙත් සිත පැතිරවීම කළ නොහැකි නිසා කොටස් කර ගනිමු. ගුරුවරු, ඥාතිවරු, මිතුරන්, ගම්වාසීන්, පළාත්වාසීන්, ලෝකවාසීන්, වශයෙන් හෝ දිසා වශයෙන් හෝ කොටස්කර දෙයාකාරයට ම මෙත් සිත වැඩිය හැක. අප සමීපයේ නැති කලාතුරකින් හෝ හමුවන අය සිටිති. ගුරුවරු, ඥාති, මිත්‍රයින් වෙයි. මේ කිසිවෙකුට ජාති, ආගම්, කුල, ආදී භේදයක් නො දැක්විය යුතු ය. ඒ අය අරමුණු කොට මෙත් වඩන්නේ මෙසේ ය. සියලු දෙනාම එක මවකගේ දරුවන් මෙන් සැලකිය යුතු බව කරණීය මෙත්ත සූත්‍රයෙන් පෙන්වා දෙයි. තමාට මඟ පෙන්වීමක් කළ කෙනෙක් වේ ද, ඒ මඟ පෙන්වා දුන්, මට දැනුම ලබා දුන්, ගුරුවරු සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගි වේවා, වෛර නැත්තෝ වේවා, බිය උවදුරු නැති වේවා, අවමන් නො කෙරේවා, නො රවටත්වා ආදී වශයෙන් මෙත් සිත පතුරුවන්න. කිසිවෙකුත් විශේෂ කොට නො දකින්න. තම කටයුතු සඵල කර ගැනීමට උදව් උපකාර කළ, ලෙඩට, දුකට පිහිට වූ, මිතුරු දම් පැවැත් වූ සියලු ඥාති මිත්‍රාදීන්ට කළගුණ සිහිකොට මෙත් සිත් වඩන්න. ඔබේ සිත රිද වූ මිතුරෙක්, ඥාතියෙක් වේ නම් ඒ අය ඔබ හා හොඳින් සිටි කාලයේ පැවති ගුණ සිහිකර මෙත් සිත වඩන්න.

උපුටා ගැනීම – ගුණ දකින මෛත්‍රී භාවනාව


නිදහසේ හැත්තෑවක්

නිදහස ලබා හැත්තෑ වසරක් ගෙවුණා
ලංකා මවගේ නම ලෝ තුළ පතල වුණා
ලක් පුතණුවන් ගැන හැමදෙන සතුටු වුණා
ඒ නිදහසට විරුවන් සම්බන්ධ වුණා

දම්පල් සමිඳු වැනි අය ඒ දවස්වල
පැවසුවේ ලක් මවගේ ගුණ කඳ ලියවිල්ල
ඒ පින්වතුන් අරගෙන දුන් සැනසිල්ල
අප යුතුකම වේය එය නිති සුරැකිල්ල

සුන්දර රටක වාසය කරනා අපට
අන් දෙය අවැසි නැත රට හැර තව දුරට
අප හැම එක රටකි එක මිනිසෙකි හෙටට
එය සිහි කරමු නිදහස් දිනයේ සැමට

නිදහස ලැබීමේ සතුටයි ගෙවෙන්නේ
සැමදා අපි හැම එක්වයි වෙසෙන්නේ
නැත කිසිදාක මෙරටට පිටුපා යන්නේ
සැමවිට එකතු වී අප රට රැක ගන්නේ


සත්ව කරුණාව