Print this Article


හදවතින් සිනාසෙමු

හදවතින් සිනාසෙමු

ලොව බොහෝ ජාතීන් වෙති. ඔවුහු විවිධ භාෂාවන් කතා කරති. ඔවුනොවුන් පිළිපදින, ගරු කරන, අදහන ආගම්ද වෙති. මේ නිසාම ඔවුනොවුන් කරන කියන බොහෝ දේ විවිධ ය.වෙනස් ය. එහෙත් ජාති, ආගම්, කුලගොත් කුමක් වුවද එකිනෙකා දුටු විට සිනාසීම මිනිසාගේ සාමාන්‍ය ස්වභාවය වන්නේ ය.

කෙනෙකුගේ සිනහව අපට බොහෝ දේ කියයි. එය ලගන්නා සුළුනම් සිතට සතුටක් ඇතිවෙයි. කෙනෙක් අවඥාවටද, සිනාසෙයි. නැතිනම් ‘ඔහොම වෙලා මදි’ කියන්නා සේ සිනාසෙයි. ආදරය, ලෙන්ගතුබව, සුහදත්වය, මිත්‍රත්වය සඳහා ද සිනහ විය හැකි ය. තවත් පිරිසක් අවංකව ම සිය සිතේ හටගත් පී‍්‍රතිය ප්‍රකාශ කිරීමට ද, සිනාසෙති.

සිනහව බොහෝ දේ ව්‍යංගයෙන් පවසන එක් භාව්‍යමය කලාවකි. නිරන්තරයෙන් මුහුණ එල්ලාගෙන සිටිනවාට වඩා නිරන්තර සිනහවකින් සිටින තැනැත්තා බොහෝ දෙනා ඇසුරට පි‍්‍රය කරයි. ආදර ගෞරවයට පාත්‍ර කරයි. බොහෝ යහළු මිතුරන් සිටියි.

වචනයකුදු නො පවසා සිනහවෙන් අදහස් ප්‍රකාශ කළ හැකියි. කෙනෙකුගේ සිනාහව තව කෙනෙකුගේ සිතේ සොම්නස මෙන්ම දොම්නස ද ඇති කිරීමට තරම් ප්‍රබල වෙයි. කිසිදු අය කිරීමකින් තොරව තව කෙනෙකුට දිය හැකි මේ සුන්දර සිනාහව දීමට අකමැති අයද නැතුවා නොවේ. උඩින් සිනාසුන ද, හදවතින් වෛර කරන්මෝ ද ඒ අතර බොහෝ ය. එනිසා අප කිසිදු පැකිලීමකින් කිසිදු දෙයක් බලාපොරොත්තු නොවී සිනාහව දන්දිය යුතු ය.

අද අප අතරේ සිනාහව මෙන් ම මනුසත් ගුණාංග ද ගිලිහී යමින් පවතී. තමන් ගැන හොඳක් අසන්න ලැබෙනවා නම් අප කවුරුත් කැමැති ය. කවුරුහරි තමන් ගැන හොඳ කියමින් ප්‍රශංසා කළා යැයි කෙනෙක් කිව්වොත් “මොනවද කිව්වේ”? කියා නො අසන, නො සොයන කෙනෙක් සොයා ගැනීමටත් ඉතා අපහසු ය. ඔබ ගැන මෙසේ ප්‍රශංසා කළායැයි අපට අසන්නට ලැබුණොත්, ඒ ගැන සිත සිතා තනිව ම සිනාසීමට ද මේ සිත ඉතා කැමැති ය. ඒ කළ ප්‍රශංසාව බොහෝ ම තදින් සිතේ සනිටුහන් කරගෙන මුල සිට නැවත නැවත සිහිපත් කරති. නමුත් ප්‍රශංසාවට එතරම් නැමෙන මේ සිත තව කෙනෙකුගේ ගුණයක් කියන්නට නැමෙන්නේ ඉතාමත් සෙමිනි. නිතරම අප ඇගයීමක් ලබන්නට කැමැති ය. නමුත් ඇගයීමක් කරන්නට මැලිය. ප්‍රශංසා ලබන්න කැමැතිමුත් ප්‍රශංසා කරන්නට මේ සිත බොහෝ විට අකැමැති ය. ඒ වගේම සිනහව ලබන්නට කැමැති මුත් සිනහව පරිත්‍යාග කිරීමට මැලිවෙයි. මේ අප සිතේ ස්වභාව යි.

හදවතින් අපට තවකෙකු හා සිනාසිය හැකිනම්, ගුණ වර්ණනා කළ හැකිනම් ඔහු මිනිසුන් අතර මිනිසෙකි. මෛත්‍රිය, මෙන්ම මුදිතාවද ඒ සිතේ රෝපණය වී ඇති බව නො අනුමාන ය.